අනුරාධපුර රෝහලේ සිදුවීම: සැකකරු ගල්නෑවේදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක ඇමති කියයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ ය.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, "මීට සුළු මොහොතකට පෙර සැකකරු ගල්නෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.

මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක් කර තිබුණේ, මාර්තු 10 වන දින රාත්‍රියේදී ය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබිණි.

'සැකකරු හඳුනාගෙන තිබෙනවා'

වෛද්‍යවරිය ලිංගික අපරාධයකට ලක් කළ සැකකරු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ සම්බන්ධයෙන් පොලිසිය මැදිහත් වෙලා විමර්ශන ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට සැකකරු හඳුනාගෙන තිබෙනවා. ඔහු හමුදාවෙන් පළා ගිය පුද්ගලයෙක්. ඔහු පදිංචි ප්‍රදේශය, දැන් රැඳී ඉන්න ප්‍රදේශ මොනවා ද කියලා හඳුනාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් පහක් යොදවලා තියෙනවා," මහජන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී පැවසීය.

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (මාර්තු 12) දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගිය සඳුදා (මාර්තු 10) රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධියට විරෝධතාව පළ කිරීමේ අරමුණිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව අද දින පෙරවරු 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව එම සංගමය නිවේදනය කරයි.

'රෝහල් තුළ ආරක්ෂාව සම්බන්ධ අර්බුදයක් තියෙනවා'

වෛද්‍යවරිය මෙලෙස ලිංගික අපරාධයකට ලක් ව ඇත්තේ, ඇය රාජකාරියේ යෙදී සිටියදී බව වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ය.

"ඩියුටි හිටපු වෛද්‍යවරියක් ක්වාටස් එකේ ඔන්කෝල් රූම් එකේ ඉන්නකොට තමයි මෙහෙම බරපතළ ලිංගික හිංසනයකට ලක් වෙලා තියෙන්නේ. අනුරාධපුර වගේ බොහෝ පුද්ගලයන් ගැවසෙන ප්‍රධාන රෝහලක් ඇතුළේ තමයි මෙහෙම පිහියක් පෙන්වලා වෛද්‍යවරියකට ලිංගික හිංසන කරලා තියෙන්නේ," ඔහු පැවසුවේ ය.

රෝහල් තුළ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

"රෝහල් තුළ කාලයක පටන් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි බරපතළ සිදුවීමක් මෑතකදී වාර්තා වුණු පළමු අවස්ථාව මේක වුණත් උතුරු පළාතේ රෝහල්වල වෛද්‍යවරුන්ට විවිධ බාහිර බලපෑම් ඇති වුණා," ඔහු පවසයි.

"මේ නිසා රෝහල්වල ආරක්ෂාව යම් වගකිවයුතු ක්‍රමයකට සකස් කළ යුතුයි කියලා අපි කාලයක පටන් කියලා තියෙනවා."

"මෙතෙක් සැකකරු අත්අඩංගුවට අරගත්තා කියලා අපිට දැනගන්න ලැබිලා නෑ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියා සිටිනවා මේ සම්බන්ධයෙන් වහා ම ක්‍රියාත්මක වෙන්න කියලා."

මේ සම්බන්ධයෙන් විමසීමට බීබීසී සිංහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද මෙම ලිපිය පළ කෙරෙන මොහොත දක්වා ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

කාන්තා හිංසන පැමිණිලි

මාර්තු 05 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පැවසුවේ, 2023 වසරේ වාර්තා වී ඇති කාන්තා හිංසන සංඛ්‍යාව 2,252ක් බවත්, 2024 වසරේදී වාර්තා වූ කාන්තා හිංසන පැමිණිලි 2,785ක් බවත් ය.

ස්ත්‍රී දූෂණයකදී දැනුම් දෙන්න

ස්ත්‍රී දූෂණයක්, කාන්තා හෝ ළමා හිංසනයක් පිළිබඳව දැනුම් දීම සඳහා ගාස්තු රහිත ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා තිබේ.

එම අංක මෙසේ ය.

109 - පොලිස් ළමා හා කාන්තා කාර්යංශය

1929 - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

1938 - කාන්තා කටයුතු අමාත්‍යංශය