ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරය: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
පාස්කු ප්‍රහාර සඳහා "ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන්" රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බීබීසී සිංහල කළ විමසීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව තහවුරු කළේ ය.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔහු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව ය.
චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් "දේශපාලන බලය ලබා ගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළා ද?" යන ප්‍රශ්නය මතු කරමින් 2023 වසරේ සැප්තැම්බර් මස පළ කෙරුණු චැනල් 4 වාර්තාවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ පිළිබඳව සඳහන් විය.
පිල්ලෙයාන් හෙවත් සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානා මෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදා ගෙන තිබිණි.
එහිදී නැගූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයට පෙර හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රහාරය සිදු කළ ඉස්ලාමීය අන්තවාදීන් රහසිගතව හමුවුණා ද? යන්න ය.
2018 වසරේ ජනවාරි මාසයේදී අන්තවාදී කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කරන ලෙස එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් තමන්ට උපදෙස් දුන් බව අසාද් මවුලානා චැනල් 4 වෙත පවසා තිබිණි.
ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් විසින් තමන් වෙත කරන ලද දැනුම් දීමකට අනුව සයීන් මවුලවී ඇතුළු පුද්ගලයින් පිරිසකට ඇප ලබාදු න් බවත්, පසුව එම පුද්ගල කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධාන කළ බවත් අසාද් මවුලානා එහිදී පැවසීය.
එම හමුව සඳහා පුත්තලම, කරඩිපුවල් (Karadipuval) නැමති ප්‍රදේශයට අදාළ කණ්ඩායමට පැමිණෙන ලෙස තමා දැනුම් දුන් ඔහු එහි සඳහන් කළේ ය.
තමා එම ස්ථානයට යන විට සුරේෂ් සලේ පැමිණ සිටි බවත් පසුව සුදු පැහැති වෑන් රථයකින් සයීන් මවුලවී සහ ඔහුගේ සහෝදරයා වන සහරාන් ඇතුලු 6 දෙනෙකු පැමිණි බවත්, එම සාකච්ඡාව දීර්ඝ වේලාවක් පැවතුණු බවත් ඔහු එහිදී තව දුරටත් පවසනු නිරීක්ෂණය විය.
"ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කරන්න රාජපක්ෂලට අවශ්‍යයි. ඒක තමා ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම මග යැයි", එම සාකච්ඡාවෙන් පසු සුරේෂ් සලේ තමාට පැවසූ බව අසාද් මවුලානා චැනල් 4 වෙත වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
තම අනන්‍යතාව හෙළි නොකරන රාජ්‍ය නිලධාරියෙකු ද එම වීඩියෝවේ අදහස් දක්වන අතර ඔහු පවසන්නේ, සුරේෂ් සලේ මෙහෙයවන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව ය.
චෝදනා ප්‍රතික්ෂේප කරයි
චැනල් 4 වීඩියෝව නිර්මාණය කර ප්‍රසිද්ධි කිරීමට පෙර එහි නිෂ්පාදන සමාගම වන 'බේස්මන්ට් ෆිල්ම්ස්' විසින් 2023 අගෝස්තු 7 වන දින ලිපියක් යොමු කර තිබූ අතර, එමගින් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේගෙන් චෝදනා 4ක් පිළිබඳ නිල ප්‍රතිචාරයක් ඉල්ලා තිබිණි.
ඊට ප්‍රතිචාර දක්වමින් සුරේෂ් සලේ සාක්ෂිකරුවන් විසින් අදාළ හමුවීම් සිදුවීම් වූ බව කියන කාල වකවානුව තුළ තමන් මෙරටින් බැහැරව සිටි බව සහ පාස්කු ඉරුදින ප්‍රහාරයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහිදී අවධාරණය කරනු ලැබ තිබිණි.
එම කාලවකවානුව තුළ තමන් මලයාසියානු තානාපති කාර්යාලයේ අමාත්‍ය කවුන්සිලවරයා ලෙස කටයුතු කළ බවත්, 2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් අවසානය දක්වා ඉන්දියානු ආරක්ෂක විද්‍යාලයේ පුහුණු වැඩසටහනක් සඳහා සහභාගි වී සිටි බවත්; ඒ බව සනාථ කිරීමට මලයාසියානු සහ ඉන්දියානු බලධාරීන්ගෙන් සොයා බැලීමට වුව ද හැකියාව ඇති බවත් ඔහු එහි සඳහන් කර තිබිණි.
සුරේෂ් සලේ යනු කවුද?
මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ 1987 මාර්තු 16 වන දින ශ්‍රී ලංකා හමුදාවට බැඳුණු අතර ඔහුගේ මූලික හමුදා පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු පාබල හා සංඥා රෙජිමේන්තුවල සේවය කළේ ය.
පසුව "භාෂා කිහිපයක් පිළිබඳ දැනුම සහ ඔහුගේ කාර්ය සාධනයේ කුසලතා හේතුවෙන්", ඔහු 1993 වසරේදී හමුදා බුද්ධි අංශයට තෝරා ගැනිණි.
සුරේෂ් සලේ 2006 සිට 2009 දක්වා පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත.
නැවත පැමිණීමෙන් පසු, ඔහු 2012 ඔක්තෝබර් මාසයේදී හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත් කරන තෙක් ආරක්ෂක අමාත්‍යංශයේ විදේශ බුද්ධි සම්බන්ධීකාරක ලෙස සේවය කළේ ය.
පසුව, ඔහු 2016 සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස සේවය කළේ ය.
ඉන්පසුව, 2019 ජනවාරි සිට එම නොවැම්බර් දක්වා ඔහු දිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජාතික ආරක්ෂක අධ්‍යයන එන්ෆීල්ඩ් පාඨමාලාව හැදෑරූ බව ඔහුගේ නීතිඥ පසන් වීරසිංහ බේස්මන්ට් ෆිල්ම්ස් වෙත යොමු කළ ලිපියක සඳහන් වෙයි.
2019 දෙසැම්බර් මාසයේ සිට ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේ ය.
2024 වර්ෂයේ අගදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ධූරයෙන් ඉවත් කෙරුණි.
පාස්කු ප්‍රහාර
2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා විදේශිකයින් බහුලව ගැවසෙන කොළඹ ප්‍රමුඛ හෝටල් ඉලක් කර ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අතර ඉන් දිවි අහිමිවූ පිරිස 260කට අධික ය.
ඒ අතරින් 45 දෙනෙක් විදේශිකයෝ වූහ. ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස 500කට අධික වේ.
මේ දක්වා සිදුවූයේ කුමක් ද සහ විමර්ශනවල ප්‍රගතිය කුමක් ද?
ඉකුත් වසරේ නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය 'පිල්ලෙයාන්' හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනීමත් සමග ජාතික ජන බලවේගය යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නව දිශානතියකට ගමන් කරමින් ඇති බව නිරීක්ෂණය විය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව 'පිල්ලෙයාන්' අත්අඩංගුවට ගැණිනි.
එහෙත්, ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යවරයා එම වසරේදී පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.
මීට පෙර පැවති රජයන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ විමර්ශන ගැන කතෝලික සභාව එතරම් සෑහීමකට පත් නොවිණි.
ඔවුන් දිගින් දිගට ම අනාවරණය කළේ, මෙම ප්‍රහාරයේ මහමොළකරු කවුදැයි අනාවරණය කරන ලෙස ය.
මෙම විමර්ශනවල අඩුලුහුඬුකම් සහ විමර්ශකයින් අවධානය යොමු කළ යුතු කරනු ගැන කතෝලික සභාව මෙන් ම සිවිල් සංවිධාන ද වසර කිහිපයක් පුරා විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින් දිගින් දිගට ම ප්‍රශ්න කර තිබිණි.