ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බිරිඳ කෲර ලිංගික හිංසනයකට ලක් කිරීමෙන් පසු ඇප ලබා පැමිණි නාවික සෙබළෙක් ඇය ඝාතනය කර සිරුරට ගිනි තැබූ සිද්ධියක්
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
තම බිරිඳ "ලිංගික හිංසනයට ලක් කර කෲර වධහිංසා පැමිණ වීමේ" චෝදනාවට රක්ෂිත බන්ධනාගාරව සිට ඇප ලබා පැමිණ දින කිහිපයකට පසු ඇය ඝාතනය කළ නාවික හමුදා සෙබළෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය පරසන්ගස්වැව පොලිසියට අවසර ලබා දුන්නේ ය.
සැකකරු අධිකරණය සහ පොලිසිය මගහැර පලා ගොස් දින 11ක් සැඟව සිට අධිකරණයට භාර වීමෙන් අනතුරුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී.එල්. සමරසිංහ අඟහරුවාදා (පෙබ. 24) මෙම නියෝගය නිකුත් කළා ය.
සිදුවීම කුමක් ද?
සැකකාර නාවික හමුදා සෙබළා තම බිරිඳ "ගසක බැඳ, මිරිස් කුඩු ගසා, පොල් මලක් යොදාගෙන ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාවට" අත්අඩංගුවට ගෙන මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව පසුවූ බව අධිකරණයේදී අනාවරණය වී තිබිණි.
ඉකුත් 9 වන දා සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර" ඇප ලබා සිටි කාලය තුළ ඔහු තම බිරිඳගේ ගෙළ සිර කර ඝාතනය කර, සිරුරට ගිනි තබා පළා ගොස් සිට ඇත.
එලෙස ඝාතනයට ලක්ව තිබුණේ, 41 හැවිරිදි කාන්තාවකි.
දින 11ක කාලයක් සැකකරු සැඟවී සිට ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ නාවික හමුදා පොලිසිය එක්ව මෙහෙයුමක් සිදු කරමින් සිටි අතරවාරයේ නීතීඥවරයෙකු මාර්ගයෙන් ඔහු පරසන්ගස්වැව පොලිසියට භාර වී තිබිණි
සැකකාර නාවික හමුදා සෙබළා සැඟව සිටි කාලය තුළ අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබ තිබිණි.
රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
පරසන්ගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත නඩු කටයුතු මෙහෙයුම් නිලධාරීවරයා වැඩිදුර වාර්තාවක් මගින් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් සැකකාර 39 හැවිරිදි නාවික හමුදා සෙබළා දින 48ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නේ ය.
සැකකරු මැදවච්චිය - පූනෑව නාවික හමුදා කඳවුරේ සේවයේ නිරත සෙබළෙකි.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණගේ උපදෙස් මත පරසන්ගස්වැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.