රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලපෑම් සිදු වනවා ද?: සීනි සමාගමේ සභාපතිනියගේ ඉල්ලා අස් වීම මැද ප්‍රා.ලේ. සංගමයෙනුත් චෝදනාවක්

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය පෞද්ගලික ලේකම් යනුවෙන් අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් නිකුත් කරන උපදෙස් ඇතුළත් ලිපි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබේ.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන බව කියන එන්. ටී. රුක්මල් ජයවීර අවස්ථා කිහිපයකදී ඉඩම් රාජකාරීවලදී ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත විවිධ බලපෑම් එල්ල කරමින් ලිපි ඉදිරිපත් කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව එම සංගමය පවසයි.

'ඉඩම් කොමසාරිස් ජනරාල් දීලා තියෙන තීරණත් මෙයා වෙනස් කරලා යවන්න කියනවා'

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල්ගෙන් විමසීමක් සිදු කරන ලදී.

"නියෝජ්‍ය ඇමතිතුමාගේ ලේකම් කියලා කෙනෙක් රුක්මල් කියන මහත්තයාගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලියුම් එනවා විවිධ නියෝග කරලා. රජයේ යාන්ත්‍රණයක් තියෙනව නේ. ඒකට පිටින් ගිහිල්ලා නියෝජ්‍ය ඇමතිතුමාගේ ලේකම් තමයි ලියුම් එවන්නේ. දැනට ප්‍රාදේශීය ලේකම්වරුන් 10කට 15කට විතර යවලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා," ඔහු පැවසුවේ ය.

එහිදී බීබීසී සිංහල විමසා සිටියේ එම ලිපිවල සඳහන් වන්නේ මොනවා ද? යන්න ය.

"වාර්තා ඉල්ලනවා, සමහර දේවල්වලට තීන්දු තීරණ දෙන්න කියනවා. සමහර වෙලාවට ඉඩම් කොමසාරිස් ජනරාල් දීලා තියෙන තීරණත් මෙයා වෙනස් කරලා යවන්න කියනවා," සභාපතිවරයා පවසයි.

'රජයේ යාන්ත්‍රණයක් තිබියදී පෞද්ගලික ලේකම් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි?'

"උදාහරණයක් විදිහට ඔබටත් මටත් ඉඩම් ආරවුලක් තියෙනවා නම්, ලියුමක් දීලා තියෙනවා මට, ඔබට ලියුමක් දීලා නෑ. ප්‍රාදේශීය ලේකම් ගාවට දෙන්නා ම ප්‍රශ්නේ විසඳගන්න ගියා ම එක් කෙනෙක් ගාව මේ දීපු ලියුමක් තියෙනවා. ඊට පස්සේ අනිත් පාර්ශවය අපට බනිනවා ඉඩම් රාජකාරී දේශපාලනීකරණය කරලා තියෙනවා කියලා," ආර්. සෙන්තිල් ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

"මෙයාගේ ලියුම් නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් හරි අමාරුවෙන් තමයි ඉඩම් රාජකාරි කරගෙන යන්නේ. ඒක අපට පේනවා බලපෑමක් කියලා. අනිත් එක අපි දන්නේ නෑ මේ රුක්මල් කියලා කෙනෙක් ඇත්තට ම පෞද්ගලික ලේකම් ද කියලා," ඔහු පවසයි.

"බලපෑම් වෙන්න බෑනේ. යාන්ත්‍රණයක් තියෙනවා. ඉඩම් කොමසාරිස් ජනරාල් කෙනෙක් ඉන්නවා. අමාත්‍යංශයේ ඇමතිතුමා ඉන්නවා, අමාත්‍යංශයේ ලේකම් ඉන්නවා. පෞද්ගලික ලේකම්ලා අපට උපදෙස් දෙන්න ආවොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ."

'ලියුම් ඇතුළේ මොනවා හරි නීතිවිරෝධී යමක් තියෙනවා නම් වැරදියි. ඒ වැරැද්ද අපි පිළිගන්නවා'

ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් එල්ල වන එම චෝදනාව සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්ගෙන් විමසීමක් සිදු කරන ලදී.

"අපි මහජන නියෝජිතයෝ නේ, අපි දේශපාලඥයෝ නේ. මන්ත්‍රීවරු ඇමතිවරුන්ගේ ළඟට ජනතාව ආවට පස්සේ ඒ ජනතාවගේ ප්‍රශ්නේ තමයි අපි ඒ ආයතනවලට යොමු කරන්නේ," ඔහු පවසයි.

කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එලෙස ලිපි යැවීම සම්බන්ධයෙන් මේ වන විට නැවත සලකා බලන බව ය.

"යවපු ලියුම් ඇතුළේ මොනවා හරි නීතිවිරෝධී යමක් තියෙනවා නම් වැරදි යි. ඒ වැරැද්ද අපි පිළිගන්නවා. ඒ වැරැද්ද නිවැරදි කරන්නත් අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නවා ලිපි දාන්න එපා කියලා," ඔහු පැවසුවේ ය.

"පොදුවේ මහජනතාවගෙන් ඉදිරිපත් වෙන ලිපි ආයතනවලට යවන්න වෙන එකට විරෝධතා දක්වනවා නම් අපට කල්පනා කරන්න වෙනවා මොකක් ද කරන්නේ කියලා. ඒක අපේ වගකීමක්, අපි ලියුම් ඉදිරිපත් කරනවා. ඒකට විසඳුමක් දෙන නොදෙන එක නිලධාරීන්ගේ වැඩක්. මොක ද ඉඩම් ගැටලු කියන එක සරල නෑ."

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයා හරහා බලපෑම් සිදුවන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ මෙවැන්නකි.

"ආණ්ඩුව යි රාජ්‍යය යි කියන දෙක ම එකට යන්න ඕනේ. මොකක් හරි බලපෑමක් කියන අර්ථයෙන් නම් අපි ඒක වෙනස් කර ගන්න සූදානම්. සම්බන්ධීකරණ ලේකම් කියන්නේ, ලේකම් කියන්නේ එයා ලේඛනවල වැඩ නේ කරන්නේ. එයා ලිපි යවනවා, එයාට ලැබෙන ලිපිවලට නැවත පිළිතුරු යවනවා, ඒවා මට යොමු කරනවා."

"අපි මේ වගේ ගැටලු ආයතනවලට 4,000ක් විතර යොමු කරලා තියෙනවා, ඒ අතරේ මේ වගේ ලිපි දෙකක් තුනක් තමයි ගිහිල්ලා තියෙන්නේ, මම හොයලා බැලුවා. ඒ සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තියෙනවා, අපි කනගාටුව පල කළා. ඒ නිසා අපි ඒවා නිවැරදි කර ගන්න සූදානම්."

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ චෝදනාව වන නිසි ක්‍රමවේදය යටතේ ලිපි යැවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කළේ, මෙවැනි අදහසකි.

"ඒක අපි සොයා බලමින් සාකච්ඡා කරමින් ඉන්නවා. යම් ප්‍රමාණයකට උත්සහ කරනවා ඒ යන ක්‍රමවේදයේ ම යන්න. නමුත් තියෙන ක්‍රමවේදය ගත්තට පස්සේ, ඉතිහාසය පුරා මේ ගැටලු ප්‍රමාද වෙලා තියෙන්නෙත් ඒ ක්‍රමවේදයෙන් ම තමයි. ඒ ක්‍රමවේදය මම විශ්වාස කරන්නේ නෑ තවදුරටත් අපට යන්න පුළුවන් කියලා."

"අපි කනගාටු වෙනවා, අපහසුතාවට පත් වුණා නම් කවුරු හරි නිලධාරියෙක්, අපි ඇත්තට ම කනගාටු වෙනවා. අපි සූදානම් ඒක නිවැරදි කරගන්න," ඔහු පැවසුවේ ය.

සීනි සමාගමේ සභාපතිනිය තනතුරෙන් ඉල්ලා අස්වීම

මේ අතර, වත්මන් රජය පත්වීමෙන් පසු ලංකා සීනි පෞද්ගලික සමාගම සඳහා පත් කළ දෙවන සභාපතිනිය වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන ලද රුක්ෂාන් ගුණතිලක ද කෙටි කලකින් එම ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඔහු එම ධූරයට පත් කරන ලද්දේ ද, වර්තමාන ආණ්ඩුව විසිනි.

විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත වහා ම සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්කර පෙබරවාරි 17 වන දා ලිඛිතව දන්වා තිබිණි.

පාඩු ලබන, රාජ්‍ය හිමිකාරීත්වය දරන ලංකා සීනි සමාගම දැඩි පාලනය සහ මූල්‍ය නියාමනය යටතේ පාලනය වන බැවින් වගවීම සහ පාලනය සහතික කිරීම අවශ්‍ය බැවින් බාහිර ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට අනිවාර්ය සීමා පනවා ඇති බවත් අමාත්‍යවරයා වෙත නීතිඥවරිය යවන ලද ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වේ.

සිය සේවා කාලය තුළ අදාළ සීමා, චක්‍රලේඛ, රෙගුලාසි සහ නීතිමය ක්‍රියා පටිපාටිය උල්ලංඝනය වන ඉල්ලීම් රැසක් ලැබුණ බව දන්වා ඇති නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්කර, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම තමන් ද අදාළ නීතිමය බැඳීම්වලට තදින් ම බැඳී සිටි බැවින් එම ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වූ බවත් පෙන්වා දී තිබේ.

තමන් ඇතුළු ආයතන ප්‍රධානීන් දරන ලද එම ස්ථාවරය ඇතැම් දේශපාලඥනයන් සමග ගැටුම් ඇති කර ගැනීමට හේතුවක් වූ බව අවධාරණය කර ඇති හිටපු සභාපතිනිය, එම පුද්ගලයන්ට ආයතනයේ නීති රාමුව පැහැදිලි කිරීමට දරන ලද උත්සාහයන් අසාර්ථක වූ බව ද සිය ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා ඇත.

දේශපාලන බලපෑම් හේතුවෙන් ලංකා සීනි සමගමේ සභාපතිනිය ඉල්ලා අස්වූ බවට වන ප්‍රකාශ සම්බන්ධව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

"එහෙම නම් එකක් නැහැ. අපි ආයතන ගණනාවක ම සභාපති ධූර වෙනස්කම් කීපයක් කරනවා, රාජ්‍ය ව්‍යවසායන්වල. එහෙම සිද්ධ කරපු වෙනස්කමක් තමයි," අමාත්‍යවරයා පිළිතුරු ලෙස සඳහන් කළේ ය.