සීනි සමාගමේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය තනතුරු හැර ගියේ දේශපාලන බලපෑම් නිසා ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

වත්මන් රජය පත්වීමෙන් පසු ලංකා සීනි පුද්ගලික සමාගම සඳහා පත් කළ දෙවන සභාපතිනිය වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන ලද රුක්ෂාන් ගුණතිලක ද කෙටි කලකින් එම ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඔහු එම ධූරයට පත් කරන ලද්දේ ද, වර්තමාන ආණ්ඩුව විසිනි.

විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත වහා ම සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්කර පෙබරවාරි 17 වන දා ලිඛිතව දන්වා තිබේ.

ඉල්ලා අස්වීමෙන් දන්වා ඇති කරුණු මොනවා ද?

පාඩු ලබන, රාජ්‍ය හිමිකාරීත්වය දරන ලංකා සීනි සමාගම දැඩි පාලනය සහ මූල්‍ය නියාමනය යටතේ පාලනය වන බැවින් වගවීම සහ පාලනය සහතික කිරීම අවශ්‍ය බැවින් බාහිර ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට අනිවාර්ය සීමා පනවා ඇති බවත් අමාත්‍යවරයා වෙත නීතිඥවරිය යවන ලද ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වේ.

සිය සේවා කාලය තුළ අදාළ සීමා, චක්‍රලේඛ, රෙගුලාසි සහ නීතිමය ක්‍රියා පටිපාටිය උල්ලංඝනය වන ඉල්ලීම් රැසක් ලැබුණ බව දන්වා ඇති නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්කර, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම තමන් ද අදාළ නීතිමය බැඳීම්වලට තදින් ම බැඳී සිටි බැවින් එම ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වූ බවත් පෙන්වා දී තිබේ.

තමන් ඇතුළු ආයතන ප්‍රධානීන් දරන ලද එම ස්ථාවරය ඇතැම් දේශපාලඥනයන් සමග ගැටුම් ඇති කර ගැනීමට හේතුවක් වූ බව අවධාරණය කර ඇති හිටපු සභාපතිනිය, එම පුද්ගලයන්ට ආයතනයේ නීති රාමුව පැහැදිලි කිරීමට දරන ලද උත්සාහයන් අසාර්ථක වූ බව ද සිය ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා ඇත.

'මගේ රාජකාරී ඉටු කිරීම දුෂ්කර වී ඇත'

"නීතිය, රෙගුලාසි සහ චක්‍රලේඛවලට පටහැනිව කටයුතු කිරීමට ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් ලැබෙන අඛණ්ඩ පීඩනය හේතුවෙන්, යහපාලනය සහ ආයතනික නීතියට අනුකූලව මගේ රාජකාරී ඉටු කිරීම දුෂ්කර වී ඇත."

එම තත්ත්වය යටතේ ආයතනයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අපහසුවීම හේතුවෙන් වෘත්තීය ආචාර ධර්මවලට අනුකූලව තනතුරෙන් ඉල්ලා අස්වන බව නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්කර, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත යවන ලද සේවයෙන් ඉවත් වීමේ ලිපියේ සටහන් කර තිබේ.

ප්‍රධාන විධායක නිලධාරිනියත් ඉල්ලා අස්වෙයි

ලංකා සීනි සමාගමේ මතුව තිබෙන තත්ත්වය පිළිබඳව සිය අනන්‍යතාව හෙළි නොකර ලෙස ඉල්ලමින්, සමාගමේ ඉහළ පෙළේ නිලධාරියෙකු බීබීසී සිංහල වෙත කියා සිටියේ, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ දීපිකා ගුණතිලක ද සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ය.

මුදල් අමාත්‍යංශය ලබා දී තිබූ මාර්ගෝපදේශ සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව කටයුතු කරමින් හිටපු සභාපතිනියට සහ හිටපු විධායක නිලධාරිනියට සීනි සමාගම පියවර කිහිපයක් ඔසවා තැබීමට හැකි වූ බව ද එම ප්‍රකාශකයා කියා සිටියේ ය.

'නීති රාමුව ඇතුළේ කරන්න බැරි දේවල් ඉල්ලුවා'

"රජයේ නීති රාමුව ඇතුළේ කරන්න බැරි දේවල් ඉල්ලුවා. ඒක කළොත් අධ්‍යක්ෂ මණ්ඩලයට යි, ඉහළ නිලධාරීන්ට යි තමයි ප්‍රශ්න එන්නේ," යැයි ආයතනයට පිටස්තර ප්‍රාදේශීය දේශපාලඥනයින්ගෙන් එල්ල වන බලපෑම් සම්බන්ධව එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

එල්ල වන බලපෑම් සම්බන්ධව නිරන්තරයෙන් විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති දැනුවත් කළ බවත් සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ සීනි සමාගමේ අදාළ නිලධාරියා පැවසීය.

එම දැනුවත් කිරීම්වලට අමාත්‍යවරයාගෙන් ලැබුණ ප්‍රතිචාර සහ ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධව බීබීසී සිංහල විමසීමක් කළ අතර ප්‍රකාශකයා ඊට පිළිතුරු දිය නොහැකි බව පැවසීය.

දේශපාලන බලපෑම් ගැන 'මම දැනුවත් වෙලා නැහැ' ඇමති කියයි

දේශපාලන බලපෑම් හේතුවෙන් ලංකා සීනි සමගමේ සභාපතිනිය ඉල්ලා අස්වූ බවට වන ප්‍රකාශ සම්බන්ධව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

"එහෙම නම් එකක් නැහැ. අපි ආයතන ගණනාවක ම සභාපති ධූර වෙනස්කම් කීපයක් කරනවා, රාජ්‍ය ව්‍යවසායන්වල. එහෙම සිද්ධ කරපු වෙනස්කමක් තමයි," අමාත්‍යවරයා පිළිතුරු ලෙස සඳහන් කළේ ය.

සභාපතිනිය ඇතුළු පිරිසට එල්ල වී තිබෙන දේශපාලන බලපෑම් සම්බන්ධව දැනුවත් කර තිබේ දැයි අප අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා, "මම දැනුවත් වෙලා නැහැ," යි කියා සිටියේ ය.

නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්ක ලංකා සීනි සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණ බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති බීබීසි සිංහල වෙත පැවසීය.

රජයේ ආයතනවල සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සහ ප්‍රධානීන් ඇතුළු තනතුරු ගණනාවක වෙනස්කම් ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට රජය අදහස් කරන බවත් ඊට අදාළ වෙනස්කම් ඉදිරියේදී දැනුම් දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙබරවාරි 10 වන දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය.