ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔන්ලයින් පනත, FCID, අර්ජුන් මහේන්ද්‍රන් ගැන මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල කියන්නේ කුමක් ද?
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට කිසිදු දේශපාලනික අදහසක් නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, දේශපාලන ක්‍රියාකාරීන්, විරුද්ධ පාක්ෂික ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට එම අණපනත් යොදා ගැනීමට ජාතික ජන බලවේගය රජයේ කිසිදු සූදානමක් නොමැති බව ය.
'කිසි ම දේශපාලන අදහසක් නැහැ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වාගෙන යන්න'
එමෙන් ම රජය කටයුතු කරන්නේ, එක් එක් දේශපාලන කණ්ඩායම් ඉලක්ක කර ගත්ත ගමනක් නොවන බව ද ඔහු අවධාරණය කළේ ය.
ඔන්ලයින් ආරක්ෂණ පනතට නව සංශෝධන
ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත අණපනත් හා සංශෝධන පිළිබඳවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.
අල්ලස, වංචාව, දූෂණය සම්බන්ධයෙන් වූ පනත් කිහිපයක් සහ දැනට සම්මත කර ඇති ඔන්ලයින් ආරක්ෂණ පනත තවත් සති කිහිපයකින් සංශෝධනය කර පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියේ ය.
සමාජ මාධ්‍ය හරහා තවත් කෙනෙකුට අපහාසයක් හෝ අගතියකට පත්වන අවස්ථාවක ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම එහි අරමුණ බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
මෙය සමාජ මාධ්‍ය නියාමනය කිරීම හෝ වැට බැඳීමක් නොවන බව ද ඔහු සඳහන් කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ලිපිගොනු 29000ක්
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ගොනු 29000කට අධික සංඛ්‍යායක් ගොඩගැසී ඇති බව ය.
ඒ අනුව, මහා පරිමාණ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) යළි ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.
අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වන්නේ කවදා ද?
මෙහිදී බීබීසී සිංහල අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් විමසා සිටියේ, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ය.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, බැඳුම්කර වංචාව සම්බන්ධ පරීක්ෂණ නව අදියරකට ගෙනවිත් ඇති බව ය.
"ඔහු සිංගප්පුරු පුරවැසියෙක්. ඔහු සම්බන්ධයෙන් වෙන ම නීතියක් යටතේ කටයුතු කරන්න වෙන්නේ"
බීබීසීය අමාත්‍යවරයාගෙන් නැවත විමසා සිටියේ, ඔහු මෙරටට රැගෙන ඒමට හැකි ද යන්න පිළිබඳව ය.
"අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක නීතියේ තියෙන කාරණයක්."
යුක්තිය මෙහෙයුම ද ? ක්ලීන් ශ්‍රී ලංකා ද?
පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ යුක්තියේ මෙහෙයුම සහ වත්මන් රජය ආරම්භ කළ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ පිළිබඳව ද බීබීසී සිංහල අමාත්‍යවරයා ගෙන් විමසා සිටියේ ය.
එහිදී ඔහු කියා සිටියේ, යුක්තියේ මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් බව ය.
බොහෝ මෙහෙයුම්වලට මාධ්‍ය යොදා ගැනීමට අවශ්‍ය නැතැයි ඔහු සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, ක්ලීන් ශ්‍රී ලංකා යනු රට තුළ දැවැන්ත, සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්ථනයක් රට තුළ ඇති කිරීමේ සංයුක්ත වැඩපිළිවෙළක් බව ය.
'නිශ්චිත කාලයක් තුළ අවසන් කරනවා කියලා එකක් නැහැ'
නොවිසුඳුණු අපරාධ සඳහා යුක්තිය ඉටු කිරීමට නිශ්චිත කාල රාමුවක් තිබේ දැයි බීබීසී සිංහල අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා විමසා සිටියේ, 'මේක විමර්ශන නිශ්චිත කාලයක් තුළ අවසන් කරනවා කියලා එකක් නැහැ.'
සියල්ල ක්‍රමිකව කරන්න අවශ්‍ය බව ඔහු සඳහන් කළේ ය.
'සාධාරණ කාලයක් ඇතුළත විමර්ශන ප්‍රමාණයක් අවසන් කිරීමට' බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.