2026 අයවැයෙන් ඩිජිටල්කරණය කිරීමට යෝජිත ක්ෂේත්‍ර සහ අනාගත අභියෝග මොනවා ද?

    • Author, බීබීසී සිංහල

2026 වසරේදී රු. බිලියන 30ක් පමණ වන රජයේ ආයෝජනත් සමග, ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිවර්තනයේ සැලකිය යුතු කොටසක් අත් කර ගැනීමට හැකියාව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කරමින් පසුගිය 7 වැනි දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ආර්ථික වර්ධනයට සහ ගෝලීය තරගකාරීත්වයට තීරණාත්මක මාවතක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනය" සඳහා මෙම අයවැයෙන් කෘත්‍රිම බුද්ධිය, ක්ලවුඩ්, දත්ත මධ්‍යස්ථාන, ඩිජිටල් හැඳුනුම් පත, මුදල් නෝට්ටු භාවිතයට ඇති නැඹුරුතාව අඩු කිරීම, අස්වැසුමලාභීන් සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර ලබා දීම සහ නව සන්නිවේදන කුළුණු සඳහා වන්න බද්ද අත්හිටුවීම ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

එසේ වුව ද ආචාර්ය සංජන හත්තොටුව වැනි මෙම විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ, රජය මෙය කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ නවීන ඩිජිටල් ආර්ථිකයක් කරා පිම්මක් ලෙස ප්‍රවර්ධනය කළ ද, ඔවුන්ගේ එම අධික ධනාත්මක පණිවිඩ මගින් රහස්‍යභාවය, නීතිමය ආරක්ෂාවන් නොමැතිකම සහ නිසි ස්වාධීන අධීක්ෂණයක් නොමැතිකම වැනි බරපතළ ගැටලු සඟවන බව ය.

කනස්සල්ලට කරුණ නම් ඩිජිටල්කරණය යනු, නවීකරණය කිරීම පමණක් නොවන බව පෙන්වා දෙන ඔහු සඳහන් කරන්නේ, මෙමගින් බොහෝ ප්‍රතිලාභ ගෙන දුන්න ද, රජයට පුරවැසියන් ඉතා සමීපව නිරීක්ෂණය කිරීමට ඉඩ සලසන දිගුකාලීන පද්ධතියක් ද නිර්මාණය කළ හැකි බව යි. එසේම එමඟින් 'පුරවැසියෙකුගේ ස්වභාවය' ඍණාත්මක ආකාරයකින් වෙනස් කළ හැකි බව යි.

නව අයවැය අනුව, ඩිජිටල්කරණයට ලක්වන ක්ෂේත්‍ර මොනවා ද? එහි ප්‍රතිලාභ හිමිවන්නේ කාට ද සහ ඒ සඳහා මුදල් වෙන් කෙරෙන්නේ කෙසේ ද? මෙම වැඩපිළිවෙළේ ඇති වාසි – අවාසි මොනවා ද? මේ, ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

ඩිජිටල් ආර්ථිකය

2026 අයවැයෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා වෙන් කෙරෙන මුදල රු. මිලියන 25,500කට අධික වේ.

සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඉදිරියේදී ස්ථාපනය කිරීමට නියමිත ඩිජිටල් ආර්ථික අධිකාරිය සහ 5G බලපත්‍ර ලබා දීම වැනි කාර්යයන් ඩිජිටල් පිවිසුමේ ශක්තිමත් පියවරක් බව ය.

එමෙන් ම, සෑම පුරවැසියෙකුගේ ම සහභාගිත්වය සහතික කිරීම සඳහා රට පුරා බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශය පුළුල් කරමින් සහ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් අලුත් ව්‍යවසායකයින්ට සහය දක්වන සුදුසු වටපිටාවක් සකස් කරමින් සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව, මෙම අයවැයෙන් කෘත්‍රිම බුද්ධිය, ක්ලවුඩ් (cloud) පරිගණක සහ දත්ත මධ්‍යස්ථාන ඇතුළුව ඊළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රු. මිලියන 3,000ක් වෙන් කර තිබේ.

අයවැය කතාවේදී ජනාධිපතිවරයා ඉදිරියේදී ඩිජිටල් ආර්ථික පනතක් හඳුන්වා දෙන බව ද පැවසීය. දැනට සකස් කරමින් පවතින එම පනත මගින් ඩිජිටල් ආර්ථිකය මෙන් ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීමට කටයුතු කෙරෙනු ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අනුව, මෙම අයවැයෙන් ඩිජිටල් ආර්ථිකයේ දියුණුව සඳහා වැය කෙරෙන සමස්ත මුදල රු. බිලියන 5.4කි.

ශ්‍රී ලාංකීය ඩිජිටල් අනන්‍යතාව (SLUDI), ජාතික දත්ත හුවමාරුව, ලංකා රජයේ ක්ලවුඩ් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ රජයේ සේවා සැපයීමට තනි පියැසි ඩිජිටල් අතුරුමුහුණතක් (Single Roof Digital Interface) සඳහා මෘදුකාංග නිර්මාණය කිරීම වැනි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ තීරණාත්මක ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර ඇති බව ද ජනාධිපතිවරයා අයවැය කතාවේදී පැවසීය.

ඩිජිටල් හැඳුනුම් පත

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් හැඳුනුම් පත් ව්‍යාපෘතිය (SL - UDI) සම්බන්ධීකරණය සඳහා අයවැයෙන් වෙන් කර ඇති සමස්ත මුදල රු. බිලියන 0.6කි.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 2026 වසර මුලදී ක්‍රියාත්මක කරන බව ය.

ඒ අනුව, 2026 වසරේ තෙවන කාර්තුවේදී පළමු ඩිජිටල් හැඳුනුම් පත නිකුත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

"දත්ත ආරක්ෂා කිරීමට විශේෂඥයින් උපායමාර්ගයක් නිර්මාණය කළා. අපි මේ ඩිජිටල් හැඳුනුම් පත සඳහා අවශ්‍ය වන මෘදුකාංග නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒ මෘදුකාංග ඒකාබද්ධ පද්ධතියකට සංයුක්ත කරනවා. ඒකට බාහිර පාර්ශවයක් මැදිහත් වෙනවා. එතැනින් පස්සේ ඔවුන්ගේ කාර්යභාරය අවසන්.

ඊළඟට අපිට භාර දෙනවා. අපි තමයි දත්ත ඇතුළු කරන්නේ. සියලු ම දත්ත ඇතුළු කිරීමේ සිට එය පාලනය කරන්නේ ශ්‍රී ලංකාවේ සමාගමක්. එය කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකාවේ සමාගමක්. ඒ නිසා අපේ දත්ත කිසිදු විදේශීය බලවේගයකට යන්න කිසි සේත් ම ඉඩක් නැහැ," ජනාධිපතිවරයා මේ පිළිබඳව පැහැදිලි කළේ ය.

මුදල් නෝට්ටු භාවිතය අඩු කිරීම

මුදල් නෝට්ටු රහිත සමාජයක් ඇති කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු ම රජයේ ගනුදෙනු සඳහා මාර්ගගත ගෙවීම් මාදිලි හරහා පහසුකම් ලබා දීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අයවැය කතාවේදී පැවසීය.

ගනුදෙනු පහසු කරවීම, ඒ සඳහා යන වියදම අඩු කිරීම, මුදල් අවභාවිතය අවම කිරීම හා කාර්යක්ෂමතාව වැඩි කිරීම එහි අරමුණ වේ.

ඒ අනුව, මෙම ගනුදෙනු පිරිවැය ආවරණය කිරීම්, පද්ධති වැඩිදියුණු කිරීම් සහ මහජන දැනුවත් කිරීම් සඳහා රු. මිලියන 1,000ක් මෙම අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කර ඇත. ඊට අමතරව අවශ්‍ය පහසුකම් සැලසීමට සහ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රු. මිලියන 500ක් ද වෙන් කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණයට වෙන් කෙරෙන මුදල රු. බිලියන 0.6කි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, 2026 වසරේ ජනවාරි මස 1 දින සිට රජයේ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා වන සියලු ම සේවා ගාස්තු ඉවත් කිරීමට අවසර ලබා දෙන බව ය.

"රජයේ සියලු ගෙවීම් ඔන්ලයින් සිස්ටම් එකකට ගේන්න අපි සැලසුම් කරලා තියෙනවා," යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා QR කේත ක්‍රමයට අනුව, ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා රු. 5,000ට අඩු වටිනාකමක් ඇති QR කේත ගෙවීම් කිසි ම පිරිවැයකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැය ශීර්ෂය හරහා ලබා දීමට යෝජනා කරන බව ද පැවසීය.

දත්ත මධ්‍යස්ථාන

2026 ඇයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා කලාප මධ්‍යස්ථානයක් ලෙස විකාශනය වීමට ඉහළ විභවතාවක් ඇති බව ය.

දත්ත මධ්‍යස්ථාන සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී ගත යුතු තීරණාත්මක පියවර වන දත්ත, ආරක්ෂාව රහස්‍යභාවය, පෞද්ගලිකත්වය හා ඩිජිටල් පාලන නීති සවිබල ගන්වමින් ආයෝජන විශ්වාසය තහවුරු කිරීමට අවශ්‍ය වන පියවර දැනටමත් කරමින් සිටින බව ඔහු එහිදී සඳහන් කළේ ය.

ඒ අනුව, මෙම ආයෝජන දිරි ගැන්වීම සඳහා මූල්‍ය සහන, හරිත බලශක්ති භාවිත සහන, ආරම්භක අදියරේදී අඩු පිරිවැයට විදුලිය, අවශ්‍ය ඉඩම් සහනදායී ලෙස ලබා දීමට ආරම්භයක් ලෙස 2026 වසර සඳහා රු. මිලියන 500ක් වෙන් කෙරෙන බව ජනාධිපතිවරයා පැවසීය.

"කවුරු හරි AI ඩේටා සෙන්ටර් එකක් ආරම්භ කරන්න සූදානම් නම්, ඒ සඳහා යන ඉඩම්, අපි වෙනත් තක්සේරුවක් කරනවා. විදුලිය සඳහා අපි සහනාධාරයක් දෙනවා ආරම්භයක් ලෙස. අවශ්‍ය වෙන පහසුකම් ටික හදලා දෙනවා. AI ඩේටා සෙන්ටර්ස් විදිහට කලාපයේ අපිට විභවතාවක් තියෙනවා. අපි මේ අවස්ථාව මග හරවා ගන්න හොඳ නැහැ. ඒ නිසා මම තමුන්නාසේලාගෙන් ඉල්ලා සිටින්නේ, අඩුවට ඉඩමක් දුන්නොත් පාර්ලිමේන්තුවේ කෑ ගහන්න එපා."

මෙවැනි පසුබිමක, දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමෙන් වඩාත් මෑතකදී අභියෝගයට ලක්ව ඇති රටක් ලෙස ඉන්දියාව පෙන්වා දිය හැකි ය.

බීබීසීය පසුගිය දා වාර්තා කර තිබුණේ, ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන දත්ත මධ්‍යස්ථාන සංඛ්‍යාව බරපතළ ජල ගැටලුවක් නිර්මාණය කර ඇති බව ය. මන්ද මෙම පහසුකම් සිසිලනය සඳහා විශාල ජල ප්‍රමාණයක් භාවිත කරන බැවින් මෙය අනාගතයේදී විශාල ගැටලුවක් බවට පත්විය හැකි ඉඩ නිසා ය.

එරට පමණක් නොව චිලී, මෙක්සිකෝව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තය සහ ස්කොට්ලන්තය වැනි ස්ථානවල, දත්ත මධ්‍යස්ථාන සිසිලනය සඳහා අධික ලෙස ජලය සහ අධික ලෙස විදුලිය භාවිත කිරීම පිළිබඳව ජනතාව කනස්සල්ලට පත්ව සිටිති. එය මෙම ප්‍රදේශවල වෙසෙන ජනතාවට එම සම්පත් වෙත ඇති ප්‍රවේශය සීමා කළ හැකි අතර ම ජලය සහ බලශක්තිය ලබා ගැනීම සඳහා ඔවුන් දරන පිරිවැයේ ඉහළ යාමක් සිදු කළ හැකි බව ද එම ලිපිය මගින් පෙන්වා දී තිබිණි.

කෘත්‍රිම බුද්ධිය

නවෝත්පාදන වර්ධනය කිරීම, තෝරාගත් කෘත්‍රිම බුද්ධි ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම, විශ්වවිද්‍යාල සහ පාසල් ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන අරමුණු වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය සහ කල්වුඩ් පහසුකම් ලබා දීමට රු. මිලියන 750ක් වෙන් කිරීමට නව අයවැයෙන් යෝජනා කර තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඩිජිටල් යටිතල පහසුකම් සහ කෘත්‍රිම බුද්ධිය ප්‍රමුඛ, නවෝත්පාදනයන්හි කලාපීය ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට පැමිණීමට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ උපායමාර්ගික ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මධ්‍යකාලීන අරමුදල් රජය විසින් සපයනු ලබන බව ය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසන පරිදි, ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්ත සහ නවෝත්පාදන පරිසර පද්ධතිය වේගවත් කිරීම සඳහා වෙන් කෙරෙන මුදල රු. බිලියන 0.75කි.

බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්

සියලු පුරවැසියන්ට ඩිජිටල් තාක්ෂණය සඳහා ප්‍රවේශය පුළුල් කිරීමට, අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රවේශ සඳහා බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් වවුචර්, අස්වැසුමලාභීන් සහ අනෙකුත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලබා දීමට 2026 අයවැයෙන් යෝජනා කර තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, එමගින් මාර්ගගත අධ්‍යාපනය සහ ඩිජිටල් ආර්ථිකයට සහභාගී වීම වඩාත් සක්‍රීය කිරීම අරමුණු කරන බව ය. එය සැමට ප්‍රතිලාභ සැලසෙන ඩිජිටල් අනාගතයක් නිර්මාණය කිරීම සහතික කරන බව ද ඔහු එහිදී පැවසීය.

දරුවන්ට බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් වවුචර ලබා දුන්න ද, "ඒකේ ඇතුළු වෙන්න පුළුවන් වෙබ් අඩවි සීමා කරනවා. සමහර විට අපි කාලයත් සීමා කරන්න කටයුතු කරනවා. මේ කාලයේදී විතරයි ඔවුන්ට ඒවාට ප්‍රවේශ වෙන්න පුළුවන්," යැයි ජානධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

බිම් මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය වැඩි දියුණු කිරීම සඳහා ඊ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය සඳහා රු. බිලියන 0.6ක් වෙන් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පැවසීය.

සන්නිවේදන කුළුණු

2026 වසරේදී ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තිය වේගවත් කිරීම සඳහා, සන්නිවේදන කුළුණු වැනි ඩිජිටල් යටිතල පහසුකම් ඉදි කිරීම සඳහා වඩාත් සරල වූ සහ කඩිනම් අනන්‍ය අනුමත කිරීම් ක්‍රියාවලියක් ස්ථාපනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ ය.

"අපි ලබන අවුරුද්දේ සැලසුම් කරලා තියෙනවා, අලුත් කුළුණු 100ක් හදන්න," ඔහු පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම ඩිජිටල් තාක්ෂණ ව්‍යාපෘති වැඩසටහන යටතේ ඉදි කරන ලද නව කුළුණු සඳහා අදාළ වන බද්ද වසර 5ක කාලයක් සඳහා අත්හිටුවීමට යෝජනා කරන බව ය.

තව ද ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා, ඇරඹුම් සඳහා වන වටපිටාවෙහි වර්ධනය වේගවත් කිරීම සඳහා අරමුදලක් 2026 වසරේදී පිහිටු වීමට අරමුණු කරන අතර එම අරමුදල පිහිටුවීම සඳහා මූලික රාජ්‍ය අනුග්‍රහය ලෙස රු. 1,500ක් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ වැය ශීර්ෂය යටතේ මෙම අයවැයෙන් වෙන් කර තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සිය අයවැය කතාවේදී සඳහන් කළේ, අපනයන සහ රැකියා උත්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රයෝගිකව ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම සඳහා ආයෝජන මණ්ඩලය හරහා 'අ‍තථ්‍යය විශේෂ ආර්ථික කලාපයක්" ද ස්ථාපනය කිරීමට යෝජනා කරන බව ය.

මීට අමතරව භාණ්ඩාගාරයේ ආදායම් සහ විදයම් කළමනාකරණ සහ වාර්තාකරණ පද්ධතිය වියදම් ඒකක වෙත හඳුන්වා දීම සඳහා රු. බිලියන 0.59ක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය සඳහා රු. බිලියන 0.6ක්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ප්‍රවේශ වැඩසටහන් සඳහා රු. බිලියන 1.0ක් පොලිස් සේවයේ ඩිජිටල්කරන ප්‍රවේශ වැඩසටහන් සඳහා රු. බිලියන 1.0ක්, දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහා රු. බිලියන 0.07ක්, ඩිජිටල් ආදායම් ආර්ථිකය සක්‍රීය කිරීම සහ වේගවත් කිරීම සඳහා රු. බිලියන 0.65ක්, ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් කුසලතා සහ ධාරිතාව වර්ධනය කිරීම ගොඩනැගීමට රු. බිලියන 0.5ක් සහ ඩිජිටල් ආර්ථික අධිකාරිය ශක්තිමත් කිරීම සහ අන්තර් අමාත්‍යංශ සම්බන්ධිකරණ වේදිකාව සඳහා රු. බිලියන 0.95ක් වෙන් කෙරෙන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ ය.

නිසි අධීක්ෂණ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ අනාගත අභියෝග

රජයේ මෙම නව ඩිජිටල්කරණ ප්‍රවේශයේ පවතින වාසි – අවාසි මෙන් ම එහි අභියෝග පිළිබඳව බීබීසී සිංහල සොයා බැලීමක් කළ අතර එහිදී මේ පිළිබඳව සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව විසින් සම්පාදිත ලිපියක් නිරීක්ෂණය කිරීමට අපට හැකි විය.

එමගින් ඔහු පෙන්වා දී තිබුණේ, නව අයවැය මගින් යෝජිත ඩිජිටල් පරිවර්තනයේ විෂය පථය, වේගය සහ පරිමාණය ඓතිහාසික වශයෙන් පෙර නොවූ විරූ තරම් බව යි.

නමුත් මෙම පද්ධති බලගන්වන තාක්‍ෂණය පාලනය කරන ද්විපාර්ශ්වික ගිවිසුම් පරීක්ෂා නොකර, පුරවැසි දත්ත පාලනය කරන්නේ කවුරුන් ද යන්න තේරුම් නොගෙන සහ අපයෝජනය වැළැක්වීම සඳහා කිසිදු අර්ථවත් අධීක්ෂණ යාන්ත්‍රණයකින් තොරව අරමුදල් අනුමත කරන ලෙස රජය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු එහි සඳහන් කර තිබිණි.

පැති කිහිපයකින් ඒ ගැන සැලකිලිමත් විය යුතු බව ආචාර්යවරයා පෙන්වා දෙයි.

ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) මගින් ජනතාවට පැහැදිලිව දැකගත හැකි බොහෝ ප්‍රතිලාභ තිබුණ ද එමගින් රජයට විශාල බලයක් සහ පාලනයක් ලබා දෙන සැඟවුණු, ස්ථිර පද්ධති නිර්මාණය කළ හැකි බව ත් මෙම පද්ධති පසුව විපක්ෂ දේශපාලනඥයින්, ක්‍රියාකාරීන් සහ ස්වාධීන මාධ්‍යවේදීන්ට එරෙහිව භාවිත කළ හැකි බව ත් ඔහු පැහැදිලි කරයි.

උදාහරණයක් ලෙස, ජෛවමිතික දත්ත සමුදායන් (biometric databases) ආදායම් පද්ධති, පොලිස් ජාල, ආගමන වාර්තා සහ මූල්‍ය ගනුදෙනු සමග සම්බන්ධ කළ පසු, අනාගත රජයන්ට එමගින් ආවේක්ෂණ හැකියාවක් ලබා දෙන බව ඔහු සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

එමගින් මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කෙරෙන ක්‍රම නොමැතිව රට ඩිජිටල් නිරීක්ෂණ රාජ්‍යයක් බවට පත් වීමේ අවදානමක් පවතින බව ආචාර්යවරයා සඳහන් කර තිබේ.

ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් සේවා බිඳ වැටීම, සයිබර් අර්බුදයකට මුහුණ නොදිය යුතු ආකාරය නිසි පරිදි පෙන්වා දී තිබෙන බව ආචාර්ය සංජන හත්තොටුව එමඟින් පෙන්වා දී තිබේ. එහිදී රජය ව්‍යාකූල සහ අසංවිධානාත්මක ආකාරයකින් ප්‍රතිචාර දැක්වූ අතර, මාධ්‍යයට අපැහැදිලි සහ පරස්පර විරෝධී පැහැදිලි කිරීම් ලබා දුන් අතර කිසිවෙකු වගකිව යුතු බවට තීන්දු නොකළ බව සිය පත්‍රිකාවේ දක්වයි.

ඒ පිළිබඳව තවමත් නිසි විමර්ශන වාර්තාවක් නිකුත් කර නොමැති අතර ඒ වෙනුවට, විශ්වාස කළ නොහැකි ආයතන සහ අදක්ෂ රාජ්‍ය නිලධාරීන් මත විශ්වාසය තබා, සියල්ල හොඳින් සිදුවන බවට මහ ජනතාවට පොරොන්දු වන බව ආචාර්යවරයා සඳහන් කොට ඇත.

ඩිජිටල් පද්ධති මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බවට, සාධාරණ ප්‍රවේශයක් සහතික කළ යුතු බවට, පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු සහ ශක්තිමත් වගවීමේ පියවර ඇතුළත් කළ යුතු බවට නව ජාත්‍යන්තර මූලධර්මවල පැහැදිලිව සඳහන් වුව ද, ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ සැලසුම් ගෝලීය යහ භාවිතයන් නොසලකා හැර ඇති බව ආචාර්ය සංජන හත්තොටුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.