ඩැරන් සැමී: කඩා වැටුණු කොදෙව් ක්‍රිකට් පිලට පුහුණුකරු ලෙස නැවත ජීවය දුන් T20 ලෝක කුසලාන 2ක හිමිකරු

කියවීමේ කාලය: මිනිත්තු 7

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ක්‍රිකට් විශේෂඥ හර්ෂා බෝග්ලේ ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් පැවසුවේ, "බටහිර ඉන්දීය කොදෙව්වන් සැමට ම ඉතා ප්‍රබල පණිවිඩයක් ලබා දී ඇති," බව ය.

කාලයක් තිස්සේ ක්‍රිකට් පිටියේ දක්ෂතා අතින් පසුගාමී තත්ත්වයක පසුවූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නැවත නැගිටීමට බලපා තිබෙන ප්‍රබල හේතුවක් ලෙස බොහෝ දෙනා පවසන්නේ ඔවුන්ගේ පුහුණුකරු වන ඩැරන් සැමී බව ය.

ඩැරන් සැමී යනු කවුද?

ඩැරන් ජූලියස් ගාර්වේ සැමී, බටහිර ඉන්දීය කොදෙව් දුපතක් වන සෙන්ට් ලුසියා නියෝජනය කරමින් එරට ජාතික කණ්ඩායමට ඇතුළත් වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා පමණක් නොව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායකයත්වයට නම් කරන ලද පළමු ක්‍රීඩකයා ද වේ. සැමීගේ මව වන ක්ලේරාට අවශ්‍ය වූයේ ඔහු දේවගැතිවරයෙකු වනු දැකීමට ය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එක්දින කණ්ඩායම වෙනුවෙන් 2004 වසරේදී ජාත්‍යන්තර වරම් දිනා ගත් ඩැරන් සැමී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දක්වා තිබේ. ඔහු එක්දින තරග 126කදී පන්දු යවන්නෙකු ලෙස කඩුලු 81ක් දවා ගෙන ඇති අතර, පිතිකරුවෙකු ලෙස ලකුණු 1,871ක් සහ උඩ පන්දු 67ක් රැක ගැනීමට සමත්ව ඇත.

2007 වසරේදී ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ඩැරන් සැමී එම තරගයේ දෙවන ඉනිමේදී ලකුණු 66කට කඩුලු 7ක් දවා ගත්තේ ය. ඔහුගේ එම දක්ෂතාවට එක් පන්දු වාරයකදී එංගලන්ත කණ්ඩායමේ කඩුලු තුනක් දවා ගැනීම ද ඇතුළත් විය.

ඩැරන් සැමීට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ටෙස්ට් කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ලබා ගැනීමට අපහසු වූ අතර, ඔහු වසර 06කට පසුව ටෙස්ට් තරගවලින් විශ්‍රාම යන විට තරග 38කදී කඩුලු 84ක් දවා ගෙන තිබූ අතර පිතිකරුවෙකු ලෙස ටෙස්ට් ශතකයක් ද සමගින් ලකුණු 1,323ක් රැස් කර තිබිණි.

T20 ලෝක කුසලානය සහ සැමීගේ ඉතිහාසය

විස්සයි 20 ජාත්‍යන්තර තරග 68කට ක්‍රීඩා කර ඇති ඩැරන් සැමී, එහිදී කඩුලු 44ක් දවාගෙන ඇති අතර පිතිකරුවෙකු ලෙස ලකුණු 587ක් රැස් කර ගෙන ඇත.

නමුත් ඔහු ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ, විස්සයි 20 ක්‍රිකට් ලෝක ශුරතාව දෙවරක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය කර දුන් නායකයා වීම හේතුවෙන් ය.

2012 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සහ 2016 දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව සැමී ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි 20 ලෝක ශුරයින් බවට පත්විය.

මෙතෙක් විස්සයි 20 ලෝක කුසලානය දෙවරක් දිනූ එක ම නායකයා වන්නේ ද, ඔහු ය.

'අපිට මොළයක් නැහැ කිව්වා'

2016 වසරේදී දෙවන වරටත් විස්සයි 20 ලෝක ශුරයින් ලෙස කිරුළු පැළඳිමට සමත් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගයෙන් පසු ඩැරන් සැමී කළ ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

කොදෙව් කණ්ඩායම මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වයන් සහ සිය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ප්‍රමාණවත් තරම් සහයෝගයක් නොලැබෙන බව පවසමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා සිදුකළ ප්‍රකාශය ක්‍රිකට් ලෝකය ම කැළඹීමට පත් කළේ ය.

"මුලින් ම මම සර්වබලධාරී දෙවියන්ට ස්තූති කරන්න කැමති යි. අපේ කණ්ඩායමේ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් වගේ දේවගැතිවරයෙක් ඉන්නවා, අපි දිගට ම යාච්ඤා කරනවා. මේ ජයග්‍රහණය ගැන ඇත්තට ම සතුටු යි, ඒක අපි ගොඩක් කාලයක් අගය කරන දෙයක්. අපිට තරග දිනවන්නන් කිහිප දෙනෙක් ඉන්නවා, කවුරුත් අපිට අවස්ථාවක් දෙන්නේ නැහැ, හැම තරගයකදී ම කවුරුහරි ඉදිරියට ආවා.''

''කාලෝස් බ්‍රෙත්වයිට්, (අවසන් පන්දු වාරයට ලකුණු 19ක් අවශ්‍ය වී තිබූ මොහොතක පළමු පන්දු 4ට ම 6 පහර 4ක් එල්ල කරමින් එංගලන්තය සමග පැවති අවසන් තරගය ජයග්‍රහණය කරවීමට කාලෝස් සමත් විය) ඔහුගේ මංගල ලෝක කුසලානයේදී එහෙම ක්‍රීඩා කරනවා දැකීම සතුටක්. කැරිබියන් දූපත්වල අපිට තියෙන T20 දක්ෂතාව පෙන්නුම් කරනවා. අපි දිගට ම දියුණු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.''

''අපි මේ තරගාවලිය ක්‍රීඩා කරයි ද කියලා මිනිස්සු කල්පනා කළා, අපිට පාලක මණ්ඩලය සමග ගැටලු තිබුණා, මාර්ක් නිකලස් අපිව මොළයක් නැති ක්‍රීඩකයන් කියලා හැඳින්වුවා. නමුත් අපි හැමෝම එකතු වුණා. අපි 15 දෙනා හැම දුෂ්කරතාවක් ම පැත්තකින් තියලා මේ වගේ උද්‍යෝගයෙන් මේ රසිකයන් ඉදිරියේ, මේ විදිහට ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒක සුවිශේෂී දෙයක්. අපේ පුහුණුකරුවන්ගේ කණ්ඩායමට, ෆිල් සිමන්ස්ට මම ස්තූති කරන්න කැමති යි.''

''මේ තරගාවලියේදී රෝල් ලුවිස් කියන අලුත් කළමනාකරුවෙක් හිටියා, ඔහු මීට පෙර කිසි ම කණ්ඩායමක් කළමනාකරණය කර තිබුණේ නැහැ. ඔහු ඉන්දියාවට ආවා. අපි ඩුබායිවල පුහුණු කඳවුරක හිටියා. නමුත් අපිට නිල ඇඳුම්වත් තිබුණේ නැහැ. අපේ කළමනාකරු ඔහු ඩුබායි ඉඳලා කොල්කටාවලට ගියා. එතනින් තමයි ඔහු පටන් ගත්තේ. ඔහු ආවේ අපිට ක්‍රීඩා කරන්න අවශ්‍ය මේ නිල ක්‍රීඩා ඇඳුම් කට්ටලය මුද්‍රණය කරන්න. මෙතනදී අපේ මුළු පුහුණු කාර්ය මණ්ඩලයට ම ඒ ගෞරවය හිමිවෙන්න ඕනේ.''

''මේ ජයග්‍රහණය කැරිබියන් දූපත්වල ඉන්න සියලු ම රසිකයින් වෙනුවෙන්. මම ආපහු කවදා බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් ක්‍රීඩා කරයි ද කියලා මම දන්නේ නැහැ. මට මගේ කණ්ඩායමට ස්තූති කරන්න ඕන, මගේ පුහුණු කාර්ය මණ්ඩලයට ස්තූති කරන්න ඕන. මේ ජයග්‍රහණය ඒ ශුරයින් වෙනුවෙන්!" ඔහු එලෙස පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය වූ සැමී

2014 වසරේදී බංග්ලාදේශයේදී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ඩක්වත් සහ ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය.

ශ්‍රී ලංකාව 2014 වසරේදී විස්සයි 20 ලෝක ශුරයින් වූ අතර, එම තරගාවලියෙන් පසුව මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විස්සයි 20 ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්හ.

"වැස්ස ඇති වුණා. අපේ පාලනයෙන් ඔබ්බට යමක් තිබුණා කියලා මට මතක යි. කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඇති කියලා මම කිව්වා, මොක ද ඔවුන් ඊට පස්සේ විශ්‍රාම යනවා, ඒ වගේ ම ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කළා. ඉතින් ජීවිතයේ සෑම දෙයක් ම සිදුවන්නේ හේතුවක් නිසා. ඒ වගේ ම නුදුරු අනාගතයේදී තවත් ලෝක කුසලාන ශූරතාවකට සහභාගී වීමට මට සිහිනයක් තිබෙනවා," සැමීගේ එම ප්‍රකාශයෙන් පසුව ඔහු මෙරට ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය විය.

සැමීව කණ්ඩායමෙන් ඉවත් කිරීම

දෙවන වරටත් විස්සයි 20 ලෝක ශුරයින් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් මාස 03කට පසුව ඩැරන් සැමී කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන ලදී.

2016 අගෝස්තු මස 05 වන දින සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ සටහනක් තබමින් ඩැරන් සැමී පැවසුවේ, තමන් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරනු ලැබූ බව ය.

"ඊයේ උදේ මට ඇමතුමක් ලැබුණා, ඒක තත්පර 30ක් විතර වෙන්න ඇති, තේරීම් කමිටු සභාපතිවරයා මට කිව්වා T20 නායකත්වය ගැන සමාලෝචනයක් කළා කියලා, මම තවදුරටත් T20 කණ්ඩායමේ නායකයා නෙමෙයි ඒ වගේ ම මගේ දක්ෂතා සංචිතයට තෝරා ගන්න තරම් සුදුසු නැහැ කියලා.''

''ඒක හරි, මම හැම දා ම විශ්වාස කළේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කියන්නේ ඩැරන් සැමී විතරක් නෙවෙයි කියලා. ඔවුන් අනාගතය ගැන හොයනවා, මම අලුත් නායකයාට සුබ පතනවා." සැමී එම වීඩියෝවේ එසේ පැවසුවේ ය.

පුහුණුකරුවෙකු දක්වා පැමිණි ගමන් මග

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ඩැරන් සැමී කලක් විස්සයි 20 ලීග් තරගාවලි සඳහා එක්වූ අතර පසුව ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කළේ ය.

දක්ෂ ක්‍රීඩකයෙකු වූ සැමී පසුව පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ පේෂාවර් සල්මි සහ කැරිබියන් සුපර් ලීග් තරගාවලියේ සේන්ට් ලුසියා කිංග්ස් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.

බටහිර ඉන්දීය කොදෙව් එක්දින කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තේ, 2023 වසරේදී ය.

සැමී කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු, කලක් ක්‍රිකට් පිටියේ දුර්වල එමෙන් ම ශ්‍රේණිගත කිරීම්වල පසුගාමී තත්ත්වයකට පත්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නැවත ක්‍රිකට් පිටියේ දක්ෂ කණ්ඩායමක් බවට නැගී එන අයුරු දක්නට ලැබිණි.

2025 වසරේදී සැමී කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත්කරන ලදී.

ක්‍රිස් ගේල්, සුනිල් නරයින්, නිකලස් පූරන්, කයිරන් පොලාර්ඩ් වැනි ප්‍රබල කොදෙව් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම යාමෙන් පසු තරුණ කොදෙව් කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඩැරන් සැමී ගත වූ වසර 03ක කාලය තුළදී පියවර ගත්තේ ය.

ෂිම්රොන් හෙට්මයර්, ෂායි හෝප්, බ්‍රැන්ඩන් කිං, රොස්ටන් චේස්, ජේසන් හෝල්ඩර්, අකේල් හූසේන් වැනි ක්‍රීඩකයින් සමග සැමී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර විස්සයි 20 ලෝක කුසලානයේ සැම දෙනාගේ අවධානයට පාත්‍ර වන කණ්ඩායමක් බවට පත් කිරීමට සමත්ව තිබේ.

'ප්‍රතිවාදී කණ්ඩායම්වලට ගරු කරන්න'

සෙසු කණ්ඩායම්වලට ගරු කළ යුතු අතර ඕනෑ ම ප්‍රතිවාදී කණ්ඩායමක් දක්ෂ කණ්ඩායමක් ලෙස සැලකිය යුතු බව සැමී නිරන්තරයෙන් පවසයි.

විශේෂයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සුපිරි 08 දෙනාගේ වටයේ පැවති තරගයට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසූ ප්‍රකාශය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

"කවුද කිව්වේ සිම්බාබ්වේ කණ්ඩායම මෙතන මෙහෙ ඉන්න හොඳ නෑ කියලා? හුඟක් අය කියනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් මෙතැනට එන්න හොඳ නැහැ කියලා. ලෝක කුසලාන තරගාවලියකදී හැම ප්‍රතිවාදියෙකුට ම ගරු කරන්න ඕන."

"අපි කරමින් ඉන්නේ ඒක යි. මම මගේ ක්‍රීඩකයින්ට හැම වෙලාවෙ ම කියන දේ තමයි ප්‍රතිවාදී කණ්ඩායමට ගරු කරන්න, නමුත් ඔබ ගැන විශ්වාස කරන්න. ඔබේ ක්‍රියාවලීන් සහ ඔබේ ක්‍රීඩා කිරීම ගැන විශ්වාස කරන්න. හෙට, අපි ඉන්දියාවට හෝ ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයකට ප්‍රවේශ වන ආකාරයට ම මේ තරගයට ප්‍රවේශ වෙන්න ඕන කියලා," සැමී මාධ්‍ය හමුවේදී පැවසීය.