ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා ක්‍රිකට්: නායක දසුන් ශානකගෙන් පාපොච්චාරණයක් - ජ්‍යෙෂ්ඨයින් කළකිරීමෙන්
2026 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ බලාපොරොත්තු බදාදා (පෙබ: 25) නවසීලන්ත කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමග බිඳ වැටිණි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ, එංගලන්තය සහ නවසීලන්තය හමුවේ පරාජයට පත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර එංගලන්ත කණ්ඩායම හමුවේ විස්සයි 20 තරගාවලිය තරග 3-0ක් ලෙස පරාජයට පත්වීමෙන් පසු ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා කණ්ඩායමට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කරන අයුරු දක්නට ලැබිණි.
එමෙන් ම, බදාදා (පෙබ: 25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්ව සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කණස්සල්ල පළකරන අයුරු දක්නට ලැබිණි. ඇතැම් ප්‍රේක්ෂකයින් පැවසුවේ, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව ය.
'ආණ්ඩුව මැදිහත් විය යුතු යි'
නවසීලන්ත කණ්ඩායම සමග පැවති සුපිරි කණ්ඩායම් 08 වටයේ තරගයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ඍණාත්මක තත්ත්වය මැඩපැවැත්වීම සඳහා රජය හෝ මැදිහත් විය යුතු බව ය.
"ක්‍රීඩකයින් විදිහට අවුට් සයිඩ් නොයිස් එක කන්ට්‍රෝල් කරන්න අපිට හරි අමාරු යි. ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ නෙගටිව් දේවල්. ක්‍රීඩකයින් විදිහට කොච්චර පොසිටිව් හිටියත් එළියෙන් ගොඩක් තැන්වල ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් එන්වයර්න්මන්ට් එකක්. ඒක හරි පාඩුවක් ලංකාවේ ක්‍රිකට්වලට. මොක ද මේ ක්‍රීඩාව විතර යි තියෙන්නේ , මම හිතන්නේ නැහැ මේකත් රැක ගන්න පුළුවන් වෙයි ද කියලා"
"ඔයාලට අද මැච් එක ඉවර වෙලා යද්දී බලන්න පුළුවන් වෙයි කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නව ද කියලා. මේ අපි බලලා නෙමෙයි අපිටත් සමහර වෙලාවට කට්ටිය එවනවා. ඉතින් ඇයි මේ නෙගටිවිටි එක මෙච්චර පතුරුවන්නේ? වර්ල්ඩ් කප් එකක් පැරදුණා, අපි හේතුව දන්නවා. අපි හැමෝට ම කන්සර්න්ස් තියෙනවා. කතා කරලා හොද පැත්තට හරවා ගන්නවට වැඩිය නෙගටිවිටි එක සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා."
"මම හිතන්නේ අපි ක්‍රීඩා කරලා යයි, ඉදිරියට එන ක්‍රීඩකයින්ට සපෝර්ට් එකක් විදිහටවත් ඒ දේවල් ගවර්න්මන්ට් එකෙන්වත් ඒවා නැවැත්තුවොතින් මානසික සුවයට ඒක පහසුවක් වෙයි කියලා මම හිතනවා," නායක දසුන් ශානක එහිදී පැවසුවේ ය.
ලකුණු හඹා යාමට තීරණය කළේ ඇයි?
ප්‍රවීණ ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉර්ෆාන් පතාන් සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රශ්න කර සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහි තරගයේ ද ලකුණු හඹා යාමට අපහසු වූ පසුබිමක, නවසීලන්තයට එරෙහි තරගයේදී යළිත් ලකුණු හඹා යාමට තෝරා ගත්තේ ඇයි ද? යන්න සම්බන්ධව ය.
"පසුගිය තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 146ක් හඹා යාමට අපොහොසත් වීමෙන් පසුවත්, කොළඹ RPSහිදී පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනාගෙන පන්දු රැකීමට තෝරා ගන්නේ ඇයි?"
ලකුණු හඹා යාමේදී කණ්ඩායමට විශ්වාසයක් නැති වී ඇති අවස්ථාවක, පිතිකරණය දුර්වල යි කියලා පෙනෙන අවස්ථාවක, තණතීරුව දඟ කැවෙන විට, ආපහු ලකුණු හඹා යන්නේ ඇයි? මීට පෙරත් මෙම ප්‍රශ්නය මතු වුණා," පතාන් ප්‍රශ්න කර ඇත.
කෙසේ නමුත්, මාධ්‍ය හමුවේදී නායක දසුන් ශානකගෙන් මාධ්‍යවේදියෙකු නවසීලන්තය සමග ක්‍රීඩා කළ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණ තීරුව සම්බන්ධයෙන් අදහස විමසූ විට ඔහු පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ, කාසියේ වාසිය හිමිවුණොත් පළමුවෙන් පන්දු රැකීමට ඒකමතික තීරණයකට එළඹ සිටි බව ය.
"මැච් එකට කලින් අපි හිතුවේ පිච් එක ගොඩක් හොඳ වෙයි කියලා. මොක ද අලුත් තණතීරුවක් හින්දා. නමුත් අපි හිතුවේ නැහැ මේ තරම් දඟ කැවීමක් තියෙයි කියලා පිච් එකේ. සිම්බාබ්වේ මැච් එකත් අපි සෙල්ලම් කළේ අලුත් පිච් එකක. රෑ වෙද්දී බෝලේ වැදිලා ආවා බැට් එකට කැපෙන ගතිය අඩුවෙන් තිබ්බේ. අපි කලෙක්ටිව් ඩිසිෂන් එකක් ගත්තේ ටොස් එක දිනලා බෝල් කරනවා කියලා. අවාසනාවකට අපිට අවශ්‍ය දේ සිදුවුණේ නැහැ. සාමාන්‍ය ඛෙත්තරාමේ විකට් එකක් විදිහට කැපෙන්න පටන් ගත්තා," ඔහු පිළිතුරු දෙමින් පැවසුවේ ය.
'ඉක්මනින් වෙනසට හැඩ ගැහෙන්න අවශ්‍ය යි'
මෑත කාලීන පසුබෑම්වලින් පසු රසිකයින්ට සහ ක්‍රීඩකයින් මානසිකව පීඩාවට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සුපුරුදු ක්‍රීඩාශීලීත්වයට පැමිණීම අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී තිබේ.
"හැම තැනක ම බොහෝ වේදනාවන් තිබෙනවා. ප්‍රේක්ෂකයින් දැඩි ලෙස කළකිරීමට පත්වෙලා වගේ ම කෝපයට පත්ව ඉන්නවා. ක්‍රීඩකයිනුත් ප්‍රබල විදිහට වේදනාවකින් ඉන්නේ. මමත් ඒ වගේ අත්දැකීම් ලබලා තියෙනවා."
"රට සහ ජනතාව නියෝජනය කිරීම ම විශාල බරක් වගේ ම විශාල වරප්‍රසාදයක්."
"නැවතත් සුපුරුදු මට්ටමට එන්න කරන්න තියෙන වැඩ බොහොමයක් තියෙනවා. ක්‍රිකට් ලෝකය ඉතා ඉක්මනින් වෙනස්කම්වලට ලක් වී තියෙන පසුබිමක අපට එක ම දේ කරමින් වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කරන්න බැහැ. අපි ඒ තත්ත්වයට අනුවර්තනය වී නැති නිසා අපි අදාළ නොවන බවට පත්වීමේ අවදානමක් තියෙනවා." කුමාර් සංගක්කාර සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
'එක ම වැරැද්ද ආපහු කරන්නේ කොහොම ද?'
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම එක ම වැරැද්ද නැවත නැවත සිදුකිරීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රොෂාන් අබේසිංහ සිය X ගිණුමේ සටහනක් තබා ඇත.
"ඊයේ නවසීලන්තයට එරෙහිව පැවති බලාපොරොත්තු සුන් කරවනසුලු ක්‍රීඩා විලාසයකින් පසු ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට විසිවීම දැකීම ඉතා කණගාටුදායකයි. පරාජය වීමට හෝ රට අසාර්ථක කිරීමට කිසිදු ක්‍රීඩකයෙකු කැමති නැහැ."
"නමුත් නවසීලන්තයට එරෙහි තරගයෙන් පස්සේ පිළිතුරු බලාපොරොත්තු වෙන දැවෙන ප්‍රශ්න කිහිපයක් මතු කර තිබෙනවා. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් ජයග්‍රහණය කරලා තියෙනවා කියලා පෙන්නන නිදසුන් ගොඩක් තියෙද්දී කාසියේ වාසිය ජයග්‍රහණය කරාට පස්සේ පන්දුවට පහර දෙන්න තිබුණා."
"ඉන් පස්සේ පවා, නවසීලන්ත කණ්ඩායම ලකුණු 84කට කඩුලු 6ක් දැවී ගොස් තියෙද්දී ඔවුන්ට නැවත තරගයට පිවිසෙන්න ඉඩ දීම තුළින් අපේ පන්දු යවන්නන් ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ ගැටලු පෙන්නුම් කර තියෙනවා. නැවතත්, එංගලන්ත තරගයේදී වගේ මන්දගාමී තණතීරුවල මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙනවා වගේ ම පවර් ප්ලේ අවස්ථාවලදී අසීරුතාවට පත්වෙන ආකාරය අපිට දකින්න ලැබුණා."
"පිටියේදී සහ ඉන් පිටතදී මෙතරම් අත්දැකීම් ඇති කණ්ඩායමක් එක ම වැරැද්ද නැවත නැවත කරන්නේ කොහොම ද? නිසැකව ම මෙම ගැටලු ගැන සාකච්ඡා කර ඒවාට සැලසුම් සකස් කරනවා නම් ඒවා ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? පිටස්තරයින් ලෙස, අපි සියල්ල නොදන්නවා වෙන්න පුළුවන් වුණත් ගැටලු මොනවා ද කියලා පැහැදිලිව පේනවා. පිටත ඉන්න අපිට ඒ ගැටලු දකින්න පුළුවන් නම්, කණ්ඩායම ඇතුළේ ඉන්න අයටත් ඒවා පේනවා."
"සම-සත්කාරකත්වය දරන රටක කණ්ඩායමක් විදිහට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සහ සමහර විට ඊටත් වඩා ඉදිරියට යාමට මේක හොඳ අවස්ථාවක් වෙන්න තිබුණා. කණ්ඩායමට සහය දක්වන්න තමන්ගේ කාලය වගේ ම මුදල් වැය කරන දහස් ගණනක් රසිකයින්ට සතුටක් ගෙන දෙන්න තිබුණා. මගේ නිගමනය නම් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් වීමෙන් රටේ ජනතාවගේ බලාපොරොත්තු බිඳීලා ඔවුන් කලකිරීමට පත්වෙලා ඉන්නවා කියන එක යි."
'ඔබේ වේදනාව සහ කෝපය මම හොඳින් ම දන්නවා'
විස්සයි 20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු කඩවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ වේදනාව සහ කෝපය තමන් හොඳින් දන්නා බව ය.
"මෙම ලෝක කුසලාන තරගාවලිය අප බලාපොරොත්තු වූ අයුරින් අවසන් නොවීම පිළිබඳව ඔබ සැම සේ ම මම ද දැඩි ලෙස කනගාටුවට පත්ව සිටිමි. තරගාවලියට පෙර එංගලන්තය සමග පැවති තරගාවලිය පරාජය වීම ඇතුළු විවිධ අභියෝග රැසකට අපට මුහුණ දීමට සිදු වුව ද, සත්කාරක රටක් ලෙස ඉතා පැහැදිලි සැලසුම් සහ දැඩි විශ්වාසයක් ඇතිව අපි මෙම තරගාවලියට අවතීර්ණ වීමු. අපට එම තත්ත්වය වෙනස් කරමින් තරගාවලියේ ඉදිරියට ම යා හැකි බව මම සැබවින් ම විශ්වාස කළෙමි.
මා කෙරෙහි සහ කණ්ඩායම කෙරෙහි ඔබ තුළ ඇති බලාපොරොත්තු කඩවීම, වේදනාව සහ කෝපය මම හොඳින්ම දනිමි. මා ඔබෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හෝ අපගේ ක්‍රිකට් උරුමය ඉදිරියට ගෙන යාමට කැපවීමෙන් කටයුතු කරන ක්‍රීඩකයින් කෙරෙහි තැබූ විශ්වාසය අත් නොහරින ලෙස ය.
මිලියන සංඛ්‍යාත ජනතාවක් ජයග්‍රහණයේ සිහින දකිමින් සිටින මොහොතක පරාජය දරා ගැනීම කිසිසේත් පහසු නැත. මේ මොහොතේ එල්ල වන සියලු විවේචන සහ අදහස් මම නිහතමානීව පිළිගන්නා අතර, ඒ සියල්ල අපේ රටේ ක්‍රීඩාව කෙරෙහි ඔබ තුළ ඇති දැඩි ළෙන්ගතුකම නිසා ම පැන නගින බව මම දනිමි. කුමන තත්ත්වයක් යටතේ වුව ද, මා සැමවිට ම මාගේ උපරිමය රට වෙනුවෙන් ලබා දීමට පසුබට නොවෙමි. මා සැමදා ක්‍රීඩා කළේ එක ම අරමුණක් වෙනුවෙන් පමණි. ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙනි.
ඔබ බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලබා දීමට නොහැකි වීම පිළිබඳව මම මාගේ කනගාටුව ප්‍රකාශ කරමි. අප කණ්ඩායම සමග, මා සමග සැමදා රැඳී සිටීම පිළිබඳව ශ්‍රී ලාංකීය ඔබ සැමට ස්තූතියි." දසුන් ශානක සිය සටහනේ සඳහන් කර තිබේ.
'ව්‍යවස්ථාව වෙනස් කරන්න... ප්ලේයර්ස්ලට වැරැද්ද පටවලා හරි යන්නේ නැහැ'
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධව සිටින සිදත් වෙත්තමුණි බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත්ව ඇති තත්ත්වයට ක්‍රීඩකයින් මත වැරදි පැටවීම සුදුසු නොවන බව ය.
ඔහු පැවසුවේ, කුමාර් සංගක්කාර පවසා ඇති දේට තමන් ද එකඟ වන බව ය.
'මම නම් කියන්නේ අපිට මේ ප්ලේයර්ස්ලට වැරැද්ද පටවලා හරි යන්නේ නැහැ. මම අවුරුදු 10ක් තිස්සෙ ම කියන්නේ කුමාර් සංගක්කාර කියන විදිහට සිස්ටම් එක චේන්ජ් එකක් තියෙන්න ඕන. මට හිතෙන විදිහට අපේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕන. අපි ඕක කියලා තියෙන්නේ."
"අපේ ව්‍යවස්ථාව දිහා බැලුව ම මේ බෝඩ් එකේ ඉන්න අය අවුරුදු 20කට වැඩිය ඉඳලා තියෙනවා. එහෙම බැහැ. ලෝකයේ අනෙක් ක්‍රිකට් බෝඩ්වල ඉන්ඩිපෙන්ඩන්ට් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. අපිත් ප්‍රොපෝස් කරලා තියෙනවා චිත්‍රසිරි ගේන්න කියලා. ඒ වගේ වෙනස්කම් නැතිව මට නම් පෙන්නේ නැහැ ක්‍රිකට් එක වෙනස් කරන්න පුළුවන් කියලා. මට නම් ඔය ගැන කතා කරලා ඇති වෙලා තියෙන්නේ."
"මේක නිකම් ක්‍රිකට් මැච් එකක් බලලා ඒ ගැන දොස් කියන එක නෙමෙයි වැඩේ. කුමාර් සංගක්කාර කියන දේ ම යි මාත් කියන්නේ. සිස්ටම් එකේ චේන්ජ් එකක් තියෙන්න ඕන. අපි කාලයත් එක්ක වෙනස් වෙලා නැහැ. අපි හැම තැන ම බලනකොට එයාලගේ ව්‍යවස්ථාව වෙනස් වෙලා. අපේ එහෙම වෙනසක් කරලා නැහැ. අපි ඒ සිස්ටම් එකට ම යි යන්නේ. මේ මගේ අදහස.. අපේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනසක් නොකර මේ කිසි ම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ."