ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද?

අතීතයේ මෙරට වැසියන් ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වනු ලැබුවේ 'සුද්දන්ගේ ක්‍රීඩාව' ලෙසය.

ඒ ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස අතීතයේ පටන් හැඳින්වීම සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් එය පළමු වරට ලෝකයට හඳුන්වාදීම නිසා බව පැවසෙයි.

නමුත් වර්තමානය වන විට එම ක්‍රිකට් ක්‍රීඩාව තුළ මහත්මා ගුණය ආරක්ෂා වනවාද යන ප්‍රශ්නාර්ථය බොහෝ දෙනා ගේ සිත්වල මතුවන කරුණක් බවට පත්ව තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය මතුවූ අවස්ථා

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට බලපෑම් එල්ල වන අවස්ථා මෙන්ම එහි ජීව ගුණය ඉස්මතු වූ අවස්ථා ඕනෑ තරම් ක්‍රිකට් තරග අතර වාරයේදී සිදුව තිබේ.

එවනි එක් උදාහරණයක් ක්‍රිඩා ලෝලීන්ට දැක බලා ගැනීමට හැකි වුයේ 2004 වසරේ දඹුල්ලේ පැවති ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගයේ දීය.

එම තරගයේ තීරණාත්මක අවස්ථාවක දී කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් ගේ දැවී යාම තීරණය තමන්ට සිදුවූ අත්වැරැද්දක් බව තේරුම් ගත් පිටියේ විනිසුරුවරයා එය වෙනස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මාවන් අතපත්තු ගෙන් අවසර ඉල්ලු අතර මාවන් ඊට පුර්ණ එකඟතාවය පළ කර සිටින ලදී.

මාවන් අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ එම ක්‍රියාව බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍රවූයේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීමට එම තීරණය මනා පිටුවහලක් බව සඳහන් කරමින්ය.

එමෙන්ම කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, මාවන් අතපත්තු, බ්‍රෙන්ඩන් මැක්ලම්, සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, සයීඩ් අන්වර් වැනි ක්‍රීඩකයින් තමන් පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරන විට පිත්තේ දැවටී පන්දු රකින්නා අතට යන පන්දුව ඔහු උඩ පන්දුවක් සේ රැක ගත් අවස්ථාවලදී පිටියේ සිටින විනිසුරුවරයා දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස සංඥා කිරීමටත් පෙර ඔවුන් නැවත ක්‍රීඩාගාරයට හැරී යන අවස්ථා කොතෙකුත් දැක ගැනීමට හැකිව තිබේ.

එමෙන්ම පන්දු යවන්නාගේ සීමා ඉර අසල සිටිනා පිතිකරු එම සීමාවේ නොසිටින විට 'මෑන්කඩ්' ක්‍රමයට දවා ගැනීමට අවස්ථාව තිබියදී ප්‍රතිවාදී පිතිකරුවාව දවා නොගෙන සිටි කර්ට්නි වොල්ෂ්, ක්‍රිස් ගේල් වැනි ක්‍රීඩකයින් මෙන්ම තමන් රැක ගත් උඩ පන්දුව නිසියාකාරව රැක නොගත් බව පැවසූ ජෝන්ටි රෝඩ්ස් වැනි ක්‍රීඩකයින් රැසක් ඉතිහාසය පුරාවට මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරලීමට තම දායකත්වය සපයා තිබේ.

ක්‍රිකට් පිටියේ මෑත කාලයේ වූ සිදුවීම් මොනවාද ?

16 වැනි සියවසේදී ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වුයේ 18 වැනි සියවසේදී පමණ ය.

ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට ලෝකයේ රටවල් රැසක් පුරා ව්‍යාප්තව පවතින ක්‍රීඩාවක් බවට පත්ව ඇත්තේ ඒ හරහා විශාල වාණිජමය වටිනාකමක් ද ක්‍රීඩාවට එකතු කර දෙමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය බිඳ වැටෙන ආකාරයේ සිදුවීම් කිහිපයක් දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළදී සිදුවන ආකාරය පිළිබඳව පසුගිය කාලය පුරා දැක ගැනීමට හැකිවිය.

ඉන් ආසන්නතම සිදුවීම වුයේ පසුගියදා අවසන් වූ ඇෆ්ගනිස්ථාන - ශ්‍රී ලංකා විස්සයි 20 අවසන් තරගයේ දී නිපන්දුවක් සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් නම් විනිසුරුවරයා හේතු පාදක වූ සිදුවීමය.

විනිසුරුවරයාගේ තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සහ ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් T20 තරග දෙකක තහනමක් මෙන්ම තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද නියම කෙරුණි.

එමෙන්ම එම තරගයේදීම විනිසුරුවරයා ගේ උපදෙස් වලට අවනත නොවීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ රහමනුල්ලා ගුර්බාස්ට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කරන ලදී.

එමෙන්ම 2023 වසරේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ 'ටයිම්ඩ් අවුට් දැවී යාම' මෑත කාලයේ සිදුවූ එවැනිම ආන්දෝලනාත්මක සිදුවීමක් බව ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනාගේ මතය විය.

එහිදී බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල විරෝධයක් මතුවුයේ ඊට පෙර අවස්ථා කිහිපයකදී ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එල්ලවී තිබු චෝදනා හේතුවෙනි.

‘හැම සිදුවීමක් ගැනම වෙනම අවධානය යොමු කළ යුතුයි’

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හඳුන්වන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ගෙන් විමසීමක් කරන ලදී.

ඔහු කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් වන කිසිදු සිදුවීමක් අනුමත කළ නොහැකි බවයි.

"අනිවාර්යෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය තබා ගැනීම ගොඩක් වැදගත්. කිසිවිටකදී අපට එය වෙනස් කරන්න බැහැ."

"ඒකට හානියක් වන කිසිදු දෙයක් අනුමත කරන්න බැහැ."

"හැබැයි ඒ වෙන සිදුවීම් අපි වෙන් වෙන් වශයෙන් ගෙන බලන්න ඕන. ක්‍රීඩකයෙක් ඒ වෙලාවේදී ඒ ආකාරයෙන් හැසිරෙන්න සිදුවුණු හේතුව ගැන අපි බලන්න ඕන. "

"ක්‍රීඩකයෙක් යම් විදිහකට ඒ ආකාරයෙන් හැසිරුනත් පස්සේ දුක් වෙනවා. ඒ වෙන දේවල් ගැන වෙන වෙනම බලලා තමන්ගේ නිගමනවලට එළඹෙන්න කියලයි මම කියන්නේ." ඔහු කියා සිටියේය.

‘පිටියේ මොනදේ වුනත් එයාලා යාලුවෝ’

ඇතැම් අවස්ථාවලදී ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳ දැමීම සඳහා ක්‍රීඩකයින් තරග බිමේදී යම් යම් දේවල් කළත් තරගයෙන් පසු ඔවුනොවුන් හොඳ මිතුරන් බව ද ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මෙහිදී පැවසුවේය.

"හැම කෙනාම මේ ගේම් එක හොඳට මහන්සි වෙලා තදින් ක්‍රීඩා කරනවා. අපි දන්නවා ඔස්ට්‍රේලියාව වගේ කණ්ඩායමක් ගැන. ඕන කෙනෙක් ගෙන් අහලා බලන්න ඒ අය ක්‍රීඩා කරද්දී කොච්චර නරක විදිහට ක්‍රීඩකයින්ට කතා කරනවද කියලා. ඒක සමහර වෙලාවට ඒ අයගේ උපක්‍රමයක් තමයි ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ මානසික මට්ටම පහතට දමන එක."

"දකුණු ආසියාවේ රටවල ක්‍රීඩකයින් ඔය වගේ දේවල් වලට දක්වන ආකල්පයට වඩා වෙනස් ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය දක්වන ආකල්පය. ඔවුන් කතාකරන විදිහ සහ කියන විදිහ ගොඩක් වෙනස්. ඔවුන්ගේ රටවල් අනුව, සංස්කෘතිය අනුව ඔවුන්ගේ ක්‍රියාදාමය හැදිලා තියෙන්නේ."

"හැබැයි තරගය ඉවර වෙලා ක්‍රීඩා පිටියෙන් එලියට ගියාම ඒ අය හොඳ යාලුවෝ. ඒ කට්ටිය විවිධ තැන් වලදී හම්බ වෙනවා වගේම ලීග් ක්‍රිකට් තරග වලදී මුණ ගැහෙනවා. ක්‍රීඩා පිටියේ සිදුවනදේ ඔවුන් එලියට අරන් යන්නේ නැහැ."

"මේ වගේ සිදුවීම් වුණත් හදිසියකදී ක්‍රීඩකයෙක් ගේ කකුලේ මස් පිඩු පෙරලීමක් වගේ රෝගී තත්ත්වයක් ඇතිවුනොත් භෞතික චිකිත්සකවරයා එන්න කලින් පිටියේ ඉන්න ක්‍රීඩකයින් උදව්වට එනවා අපි දැකලා තියෙනවා." ඔහු පැවසුවේය.

‘ක්‍රීඩකයෙකුගේ විනය ඉතා වැදගත්’

මේ අතර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරය දැරූ සිදත් වෙත්තමුණි බීබීසී සිංහල නැගු පැනයකට පිළිතුරු දෙමින් පැවසුවේ ක්‍රීඩකයෙකුගේ විනය ඉතා වැදගත් බවයි.

ක්‍රීඩකයෙකු ගේ විනය පාසැලේදී මෙන්ම ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයෙන් මෙන්ම ජාතික තලයට පැමිණි පසු ජාතික කණ්ඩායම තුළින් ගොඩනැගිය යුතු බව ඔහු පැවසුවේය .

"ක්‍රීඩකයෙක් ගේ විනය ඉතා වැදගත්. හැබැයි ඒ විනය අපි උගන්වන්න ඕන පාසැලේ, ක්‍රීඩා කරන ක්ලබ් එකේ, ඊට පස්සේ ක්‍රිකට් බෝඩ් එකෙන්.”

“මම හිතෙනවා ටීම් එකක් පත් වුනාට පස්සේ බෝඩ් එකේ සභාපති හෝ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා තදින් කතා කරලා කියන්න ඕන මොන හේතුවකටවත් විනය කඩන්න බැහැ කියලා."

"මම ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති වෙලා ඉද්දි ක්‍රිකට් කණ්ඩායමට කතා කළා. මම එයාලට කිව්වේ මොනවා කලත් විනය කඩන්න එපා කියලා. එහෙම කළොත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා දැනුම් දුන්නා ක්‍රීඩකයින්ට."

"මේ හැමදෙයක්ම ක්‍රීඩකයෙකුට ඉගැන්වීම අනිවාර්යයි." ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති අවසන් විස්සයි 20 තරගයේදී ලබා දුන් විනිසුරු තීරණය වැරදි වුවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව තිබුණේ වෙනස් ආකාරයකට බවද ප්‍රවීණ ක්‍රීඩක සිදත් වෙත්තමුණි පැවසුවේය.

"මමත් පිලිගන්නවා අම්පයර් ගේ තීරණය වැරදි කියලා. ඔය වගේ තීරණ හැම මැච් එකේදිම වගේ වෙනවා."

හැබැයි ක්‍රීඩකයෙකුට ප්‍රසිද්ධියේ විනිසුරවරයෙක්ට චෝදනා කරන්න බැහැ. "

"හැම මැච් එකකම ඔය වගේ දේවල් විනිසුරුවරුන්ට සිදුවෙනවා. ඒ වෙලාවට තරහත් යනවා සමහර විනිසුරුවරුන්ගේ තීරණ දිහා බැලුවම අපි ක්‍රීඩා කරද්දීත්."

"හැබැයි එහෙම දෙයක් වුනාම ඒ ගැන කතා කරන්න වගේම පැමිණිලි කරන්න විදිහක් තියෙනවා. "

"තරග තීරකවරයට කියන්න පුලුවන්, තරගයෙන් පසු ලබා දෙන නායකයාගේ වාර්තාවේ ඒ ගැන සඳහන් කරන්න පුලුවන්. හැබැයි නරක විදිහට ප්‍රසිද්ධියේ ප්‍රකාශ ලබා දෙන එක වැරදි."

"ඒ නිසා තමයි ICC එකෙන් තීරණයක් අරන් තියෙන්නේ තරග දෙකක තහනමක් පනවලා. ඔවුන් කළ දේ හරි."

"විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සෑම ක්‍රීඩකයෙකුටම නිසි ඉගැන්වීමක් කළ යුතුයි. ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් විදිහට තමන් ගේ රට නියෝජනය කරනන්නෙ. රටේ ගෞරවය රැක ගැනීම ඔවුන්ගේ වගකීමක් වෙනවා. "

"මම හිතන්නේ සිදුවුණු දෙයින් නායකයා විතරක් නෙමෙයි කණ්ඩායමේ ඔක්කොම දෙනා පාඩමක් ඉගෙන ගන්න ඕන කියලා." ඔහු පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රොද්‍රිගු බීබීසී සිංහල සේවයට කියා සිටියේ සෑම ක්‍රීඩකයෙකුම ක්‍රිකට් ආයතනයේ පවතින විනය රෙගුලාසි වලට යටත්ව සිටින බවයි.

එමෙන්ම විනය කඩ කිරීමක් සිදුකරන ඕනෑම ක්‍රීඩකයෙකුටම එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව ද ඔහු පැවසුවේය.