NSBM පාඨමාලා ගාස්තු වැඩි වීම ගැන විගණන වාර්තාවකින් හෙළි වන සුවිශේෂී කරුණු

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ (NIBM) පරිපාලිත සමාගමක් ලෙස පැවති ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය (NSBM) ඇපයෙන් සීමිත සමාගමක් ලෙස පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් විශේෂ විගණනයක් සිදු කර ඇති අතර, NSBM ආයතනය විසින් ගාස්තු වැඩි කිරීමේදී සිසුන්ට අහිතකර ආකාරයෙන් විශාල වශයෙන් ගාස්තු වැඩි කිරීම් සිදු කර ඇති බවට එම විගණනයෙන් හෙළිව තිබේ.

NSBM ආයතනය ඇපයෙන් සීමිත සමාගමක් ලෙස පරිවර්තනය කිරීමේදී විවිධ මතභේදාත්මක සිදුවීම් රැසක් ද සිදුව ඇති බව මෙම විගණනයෙන් හෙළිදරව් කරයි.

'පාඨමාලා ගාස්තු 33% සිට 75%ක් දක්වා වැඩි කරලා'

NSBM ආයතනයේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටී අනුගමනය නොකර පාඨමාලා ගාස්තු වැඩි කර ඇතැයි මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2020 සැප්තැම්බර් 24 දිනැති ලිපියට අනුව මෙම විද්‍යායතනයේ පාඨමාලා ගාස්තු වැඩි කළ යුත්තේ වසර තුනකට වරකි.

එමෙන් ම, ශිෂ්‍ය පාඨමාලා ගාස්තු හිතකර අන්දමින් වැඩි කළ යුතු බව ද එම ලිපියේ අවධාරණය කර තිබී ඇත.

කෙසේවෙතත් ඊට පටහැණි ලෙස 2020 සිට 2023 දක්වා කාලය තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත උපාධි පාඨමාලා 20ක් සඳහා එක් වසරකට අවස්ථා දෙක බැගින් පාඨමාලා ගාස්තු 33% සිට 75%ක් දක්වා වැඩි කර තිබූ අවස්ථා විගණනයෙන් නිරීක්ෂණය කර තිබේ.

පාඨමාලා ගාස්තු වැඩි වී ඇති අයුරු

විගණනයේ නිරීක්ෂණය කර ඇති අන්දමට 2020 සිට 2023 දක්වා කාලය තුළ, 2020, 2021 වර්ෂවල එක් වරක් බැගින්, 2022 මාර්තු එක් වරක් සහ ඔක්තෝබර් තවත් වරක් ද, 2023 වසරේ ද ගාස්තු සංශෝධනයන් සිදුව තිබේ.

2019 වසරේ සිට 2023 දක්වා වසර 5ක කාලය තුළ සමාගමේ වාර්ෂික ආදායම සහ වියදම් ගැලපීමේදී අලාභයක් වාර්තා කර ඇත්තේ 2019 වසරේදී පමණි. එය රු. මිලියන 8.4කි.

කෙසේවෙතත් ආයතනය 2020, 2021, 2022 සහ 2023 වසරවල පිළිවෙලින් බදු පෙර ලාභය ලෙස රු. මිලියන 584.7ක්, රු. මිලියන 794.6ක්, රු. මිලියන 226.6ක් සහ රු. මිලියන 1,105.5ක් වාර්තා කර තිබේ.

විගණන වාර්තාව පෙන්වා දෙන්නේ NSBM ආයතනය විසින් 2012 වර්ෂයේ සිට 2015 දක්වා කාලය සඳහා සිය මව් සමාගමට රු. මිලියන 77ක් ලාභාංශ වශයෙන් ගෙවා ඇති බව ය.

නමුත් 2016 සිට 2024 ජූලි 14 දක්වා වර්ෂ 8කට අධික කාලයක් ලාභාංශ ගෙවා නොමැති බව එය පෙන්වා දෙයි.

'සිසුන්ට ප්‍රතිලාභ ලබා දීම පිළිබඳ කිසිඳු වැඩපිළිවෙලක් ඉදිරිපත් වී නෑ'

NIBM යටතේ පැවති NSBM ආයතනය ඇපයෙන් සීමිත සමාගමක් බවට පත් කිරීමෙන් පසුව සමාගමේ ලාභාංශ බෙදී යාමක් සිදු නොවන නිසා එහි ප්‍රතිලාභ ඉගෙනුම ලබන සිසුන්ට ලබා දීමට අවධානය යොමුව තිබී ඇත.

නමුත් එම ප්‍රතිලාභය ජාතික වශයෙන් සුභ සිද්ධියක් සැලසීම වශයෙන් එහි සිසුන්ට හිමිවන පරිදි හඳුන්වාදීමට යෝජිත කිසිඳු වැඩපිළිවෙලක්, නිර්ණායකයක් හෝ තහවුරු කිරීමක් විගණනය සඳහා ඉදිරිපත් කර නොමැත.

මේ නිසා ලාභ නොලබන ආයතනයක් ලෙස අලුතින් පිහිටුවන ලද ඇපයෙන් සීමිත සමාගමෙහි උපයන ලාභ, ශාස්ත්‍රීය සහ අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා යොදවන බවට සහතික වීම මූලික අරමුණ බව සඳහන් කර තිබෙන නමුත්, දැනට පවතින තත්ත්වය යටතේ සමාගම රජයේ කිසිඳු නියාමනයකට සහ අධීක්ෂණකට ලක්නොවීම නිසා ඉදිරියේදී එම අරමුණ සාක්ෂාත් වීම සහතික වීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විගනණයෙන් නිර්දේශ කර තිබේ.

එමෙන් ම, ආයතනික උපාධි පාඨමාලා ගාස්තු තීරණය කිරීම පිළිබඳව ද නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට විගණනය නිර්දේශ කරයි.

NSBM පිහිටවනු ලැබුවේ කෙසේ ද?

විශ්වවිද්‍යාල පද්ධතියේ පැවති සීමාවන් හමුවේ ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබාගත්ද රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වන සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා නව අවස්ථාවන් පුළුල් කිරීමේ අරමුණින් ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) රු. මිලියන 800 ක පූර්ණ ප්‍රාග්ධන දායකත්වයෙන් එහි පරිපාලිත සමාගමක් ලෙස 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ 2011 ඔක්තෝබර් 07 දින ජාතික ව්‍යාපාර කළමනාකරණ විද්‍යායතනය (NSBM) ස්ථාපිත කර තිබේ.

2023 වසරේ 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල සංදේශයේ යෝජනා සඳහා ලබාදී තිබූ අනුමැතිය අනුව 2007 අංක 7 දරණ සමාගම් පනතේ 32 වගන්තිය යටතේ 2024 ජූලි 28 දින "නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් (ගැරන්ටි) ලිමිටඩ්" නමින් නව ලාභ නොලබන සමාගමක් ලෙස එය සංස්ථා ගත කර තිබේ.

මෙම විගණනය සිදු කර ඇත්තේ එලෙස මෙම විද්‍යායතනය ඇපයෙන් සීමිත සමාගමක් බවට පත් කිරීමේ ක්‍රියාවලියේ අවිධිමත්භාවය සහ එහි බලපෑම සම්බන්ධයෙන් ය.