ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ සීමාවාසික වෘත්තීය පුහුණුව හරහා සිදුවන ශ්‍රම සූරාකෑම

    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකාව තුළ කළමනාකරණ පීඨවල ඉගෙනුම ලබන ගණකාධිකරණය හදාරන සිසුන් සහ වරලත් ගණකාධිකාරී ආයතනයේ වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා සිසුන් අනිවාර්යයෙන් සීමාවාසික පුහුණුවක් සම්පූර්ණ කළ යුතු ය.

එක් එක් වෘත්තීය සුදුසුකම අනුව එම පැය ගණන වෙනස් වන අතර, ඔවුන්ට ඒ සඳහා වැටුපක් ද හිමි වෙයි.

කෙසේ වෙතත්, මෙම පුහුණුවේදී ඉතා අවම වැටුපකට අධික වැඩ ප්‍රමාණයක් සිදු කිරීමට එම සීමාවාසික පුහුණුවේ නිරත වන්නන්ට සිදු වන බව නොරහසකි.

මෑතකදී එවැනි ආයතනයක සේවය කළ තරුණයෙකු රාත්‍රියේ සේවය නිමවී නැවත පැමිණෙමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙන් මිය යාමත් සමග නැවතත් ගණකාධිකරණ සේවා සපයන ආයතනවල අධික වැඩ සංස්කෘතිය සම්බන්ධයෙන් විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.

2024 වසරේ ඉන්දියාවේ Ernst & Young සමාගමේ වරලත් ගණකාධිකාරීවරියක වූ ඇනා සෙබස්තියන් පෙරායිල් එම සමාගමට බැඳී මාස හතරකට පසු මිය යාමත් සමග බොහෝ පිරිස් Ernst & Young සමාගමේ "අධික වැඩ සංස්කෘතිය" හෙළා දැක, X සහ LinkedInහි ඔවුන්ගේ අත්දැකීම් බෙදාගෙන තිබිණි.

ශ්‍රී ලංකාවේ ද ගණකාධිකරණ සේවා සපයන ආයතනයන්හි සේවය කරන අයගේ අත්දැකීම් ද මේවාට වඩා වෙනස් නොවන බව එවැනි අත්දැකීම් සහිත අය සමග සාකච්ඡා කිරීමේදී බීබීසී සිංහල වෙත පැහැදිලි විය.

'මම වැඩට ගිය පළවෙනි මාසයේ සතියක් ඔෆිස් එකේ නැවතිලා එළිවෙනකල් වැඩ කරන්න වුණා'

මෙම ආයතනවල කාර්යබහුල ම කාලවකවානුව ජූනි සිට දෙසැම්බර් දක්වා කාලය බව බීබීසී සිංහල සමග අදහස් දැක්වූ නිශාදි (ඇයගේ සැබෑ නම නොවේ) පැවසුවා ය.

ඇය තමන්ගේ වරලත් ගණකාධිකරණ වෘත්තීය පුහුණුව සම්පූර්ණ කර ගැනීම සඳහා එක් ආයතනයකට සම්බන්ධ වී ඇත්තේ, එම කාලවකවානුවේදී ය.

සාමාන්‍යයෙන් එම කාලයේදී බදු වාර්තා ගොනු කිරීම සිදු කරයි.

නිශාදි පවසන්නේ, ඇය එම ආයතනයට සම්බන්ධ වූ පළමු මාසයේදී ම ඇයට දිවා රෑ නොබලා සේවය කිරීමට සිදුවූ බව ය.

"සැප්තැම්බර් මුල ඉඳලා නොවැම්බර් අන්තිම වෙනකල් ම අපට ගොඩක් දවස් ඔෆිස් එකේ ඉන්න වුණා. එක දිගට සතියක් මම ඔෆිස් එකේ වැඩ කළා රෙදි අරන් ගිහිල්ලා, පොඩි වොෂ් රූම් එකක් තියෙන්නේ, වොෂ් එකක් දාගන්නත් ෂවර් එකක් නෑ. ඔෆිස් එකේ තේ හදන්න ඉන්න කෙනාගෙන් බාල්දියක් ඉල්ලගෙන අමාරුවෙන් තමයි හෝදගත්තේ. නිදාගත්තේ බෝඩ් රූම් එකේ," ඇය සිය අත්දැකීම විස්තර කළා ය.

"එක සැරේ හැමෝම Tax Return ෆයිල් කරද්දී ඒ සිස්ටම් එක ස්ලෝ වෙනවා. ඒ නිසා අපි ඔෆිස් එකේ ඉඳලා පාන්දර 1ට 2ට තමයි ඒවා ෆයිල් කළේ."

එමෙන් ම ඇය පවසන්නේ, ඇය දිනකට විශාල පැය ගණනක් සේවය කර තිබුණ ද එලෙස මුළු දවස පුරා ම සේවය කළ කාලය වෙනුවෙන් කිසිදු අතිකාල ගෙවීමක් සිදු නොකළ බව ය.

"මට දෙනවා කිව්ව 18,000ට අමතරව එච්චර වැඩ කරලත් කියක්වත් දුන්නේ නෑ. අවුරුද්දක් විතර වැඩ කරලා තිබුණ අයට 2,000ක් දෙනවා කියලා තිබුණා. එයාලටත් ඒක ලැබිලා තිබුණේ නෑ," ඇය පැවසුවා ය.

එමෙන් ම නිශාදි පවසන්නේ, දෙමව්පියන් ද ඒ ගැන නිතර විමසූ බව ය.

"ගෙදර අයට තේරෙන්නේ නෑනේ, එයාලත් අහනවා ඇයි එහෙම රෑ ඔෆිස් එකේ නැවතිලා වැඩ කරන්නේ කියලා. එයාලට පැහැදිලි කළා කියලා තේරෙන්නේ නෑනෙ."

ඉන්පසු වසරේ ද ඇයට මෙම කාලවකවානුවේදී මේ ආකාරයෙන් ම වැඩ කිරීමට සිදුවූ නමුත් අයට ඒ සඳහා අතිකාල දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් සිදුනොවූ බව ද ඇය පැවසුවා ය.

'කැම්පස් එකේ ප්‍රසන්ටේෂන් එකට යන්නවත් නිවාඩුවක් දුන්නේ නෑ'

තවත් තරුණියක වන සඳමාලි (ඇයගේ සැබෑ නම නොවේ) පවසන්නේ, ඇය එක්තරා ප්‍රසිද්ධ සමාගමක සීමාවාසික පුහුණුව සඳහා ගිය නමුත් ඇයට විශ්වවිද්‍යාලයේ අනිවාර්ය අගැයීම් සඳහා සම්බන්ධ වීමට පවා නිවාඩු ලබා ගැනීමට ආයතනය ඉඩ නොදුන් බව ය.

මේ නිසා ඇය සේවය කළ පළමු ආයතනයෙන් ඉවත්වී තිබිණි.

"මම වැඩට ගිය මුල් දවස්වල ම මට රෑ 11 විතර වෙනකල් වැඩ කරන්න සිද්ධ වුණා. උදේ 8 ඉඳලා 5 වෙනකල් තමයි හරි නම් වැඩ කරන්න ඕනේ. ඒ වුණාට ඒවා අදාළ නෑ වැඩ කරන්න ගියා ම. මට ලෙක්චර්ස්වලට යන්න තිබුණා, රිසර්ච් එකේ වැඩවලට යන්න තිබුණා, ඒ වැඩකටවත් යන්න ඒ ආයතනයේ කළමනාකාරීත්වයෙන් ඉඩක් දුන්නේ නෑ. ටිකක් කලින් යන්නවත් දුන්නේ නෑ, රෑ 11.30 විතර වෙනකල් තියාගෙන ඉඳල තමයි යන්න දුන්නේ," ඇය විස්තර කළා ය.

ඒ හේතුවෙන්, ඇයගේ අවසන් නිබන්ධනයේ වැඩ කටයුතු කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි.

"එක දවසක් මට එළිවෙනකල් වැඩ කරන්න වුණා. උදේ 8ට වැඩට ගිය ගමන් පහුවෙනි දා වෙනකල් පැය 20ක් විතර වැඩ කරන්න වුණා. මැරිලා වගේ ගෙදර ගියේ. එදා තමයි මම ඒ ආයතනයේ වැඩට ගිය අන්තිම දවස," ඇය පැවසුවා ය.

සමාජ මාධ්‍ය ප්‍රතිචාර

සේවය අවසන් කර පැමිණෙමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙන් මිය ගිය චමිත් දර්ශනගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ගණකාධිකරණ ආයතනය පළ කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ, එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් පවතින බව ය.

"මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් අපගේ පාර්ශ්වකරුවන් විසින් මතු කරන ලද කනස්සල්ල ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පිළිගන්නා අතර, ආයතනය දැනට මෙම තත්ත්වයන් නිසි සැලකිල්ලෙන් හා බැරෑරුම් ලෙස සමාලෝචනය කරමින් සිටින බවත්, අවශ්‍ය සහ සුදුසු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් සහතික කිරීමට කැමැත්තෙමු," යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් එම ආයතනයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කළ නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් බොහෝ දෙනෙකු එම නිවේදනයට සිය විරෝධය පළ කර ඇති ආකාරය ද දැකගත හැකි ය.

"ඔයාලා කාලෙන් කාලෙට exam fees, renewals ඔක්කොම වැඩි කර ගන්නවා. හැබැයි audit trainee කෙනෙක්ට මාසෙ ම කන්නේ බොන්නේ නැතුව, සෙනසුරාදා ඉරිදා වැඩ කරලා (මේ වගේ මරා ගන්නකන්) වැඩ කරලා ගෙවන්නේ 12,500 යි," එක් ෆේස්බුක් පරිශීලකයෙකු අදහස් දක්වා තිබේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරයට ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීමට එක් එක් අදියර සඳහා වැඩ දින 220 බැගින් සම්පූර්ණ කළ යුතු ය.

එම වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට 2015 ජනවාරි 01 සිට නුපුහුණු සේවකයන්හට අවම වැටුප රු. 12,000ක් වන අතර, එම ආයතනයේ ව්‍යාපාර මට්ටම (Business Level) සම්පූර්ණ කළ අයට අවම වැටුප රු. 15,000කි.

එහි ආයතනික මට්ටම (corporate level) සම්පූර්ණ කළ අයට අවම වැටුප රු. 19,000ක් ද, උපායමාර්ගික මට්ටම (stratergic level) සම්පූර්ණ කළ අයට අවම වැටුප රු. 30,000කි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය දින 220ක කාලයක පුහුණුවක් පමණක් අනුමත කර තිබෙන නමුත් අප සමග අදහස් දැක්වූ බොහෝ දෙනෙකු පවසන්නේ, ඔවුන්ට ඊට වඩා කිහිප ගුණයකින් සේවය කිරීමට සිදුවූ බව ය.

දිවා රාත්‍රී නොබලා, සති අන්තයේ, නිවාඩු දිනවල, සහ සේවය අවසන් කර නිවසට පැමිණි විට පවා ඔවුන්ට වැඩ කිරීමට සිදුව ඇති බව ඔවුහු පවසති.

"මේ ආයතනයේ සාමාජිකයෝ ම තමයි අපේ පාට්නර්ස්ලා ඩිරෙක්ටර්ස්ලා විදිහට ඉන්නෙත්. එයාල ම තමයි ළමයි මේ පැය ගාණ තමයි වැඩ කරන්න ඕනේ, මේ ගැන තමයි ගෙවන්න ඕනේ කියලා තීරණය කරන්නෙත්. ඒත් එයාලා තමන්ගේ ආයතනවල වැඩ කරන්නේ ඊට වඩා හාත්පසින් ම වෙනස් විදිහට," බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ තවත් ගණකාධිකාරීවරියක පැවසුවා ය.