ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'Father' චිත්‍රපටයට පාදක වූ වවුල්කැලේ ඝාතන සිදුවීමේ සත්‍ය කතාව
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
"බයිබලයේ තියෙනවා 'යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය. ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ ය' කියලා. මම හිතන්නේ යුක්තිය ස්වර්ගයට වඩා වටිනවා."
මෙම දෙබස මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන සිංහල චිත්‍රපටයක් වන Father චිත්‍රපටය ආරම්භයේ කියැවෙන දෙබසකි.
සිය සහෝදරයා ඇතුළු මිතුරු පිරිසක් පැහැරගෙන ගොස් වධ හිංසා කර මරා දැමූ පොලිස් ස්ථානාධිපතිවරයෙකු සහ, දේශපාලනඥයෙකු වන ඔහුගේ මාමණ්ඩිය අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කරන ඩෙස්මන්ඩ් නම් පුද්ගලයෙකු වටා ගොඩ නැගී ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චමින්ද ජයසූරිය විසිනි.
1991 වසරේදී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවූ මෙම වෙඩි තැබීමට පාදක වූ සිදුවීමේ පසුබිම් කතාව සහ මිය ගිය පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබූ "වවුල්කැලේ" ඝාතනය සම්බන්ධ තොරතුරු බීබීසී සිංහල විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සතුව ඇති, එකල පළවූ ජාතික පුවත්පත් වාර්තා ඇසුරින් ගවේෂණය කරන ලදී.
1991 නොවැම්බර් 25: අත්තනගල්ල අධිකරණය
ඒ, 1991 වසරේ නොවැම්බර් 25 වනදා ය.1990 පෙබරවාරි මාසය අවසානයේ සහ මාර්තු මාසය පුරා ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත්වල ප්‍රධාන පුවතක් බවට පත්වූ එමෙන් ම එවකට පාර්ලිමේන්තුවේ පවා විශාල අවධානයක් යොමු වූ 'වවුල්කැලේ' ඝාතන සිද්ධියට අදාළ නඩුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූයේ එදිනය.
එම නඩුවේ පළමු සැකකරු වන ගම්පහ, වීරගුල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වූ උප පොලිස් පරීක්ෂක ධම්මික ප්‍රසන්න චන්ද්‍රසේන ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් පිරිසක් එම නඩුවට පෙනී සිටි අතර, සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයාගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) වන එවකට ගම්පහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක වූ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥ මයිකල් විජේසේකර ද එම නඩුවට සහභාගී වීම සඳහා අධිකරණයට පැමිණ සිටියේය.
පෙරවරු 11.20 -11.30 අතර වයස අවුරුදු 35ත් 40ත් අතර පමණ පුද්ගලයෙකු උසාවි භූමියේදී මයිකල් විජේසේකරගේ හිසට සහ අධිකරණ ශාලාවේදී ධම්මික ප්‍රසන්න චන්ද්‍රසේනට වෙඩි තබා තිබිණි.
ඔවුන් දෙදෙනා ම වෙඩි තැබීමෙන් එම ස්ථානයේදී ම මිය ගොස් තිබූ අතර වෙඩික්කරු පැනගොස් සිටියේය.
වෙඩික්කරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර, තොරතුරු ලබා දෙන අයට ත්‍යාගයක් ලබා දෙන බව ද නිවේදනය කෙරිණි.
නමුත් ඝාතනයෙන් වසර දෙකක් පමණ ගතවනතුරු මෙම ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
1990 පෙබරවාරි 27 : වවුල්කැලේ
1990 වසරේ පෙබරවාරි මාසය යනු බලහත්කාරී අතුරුදහන් කරවීම් සහ ඝාතන ඉතිහාසයේ තවත් අඳුරු පැල්ලම් දෙකක් ඉතිහාසයට එක් කළ මාසයකි.
පසුගිය වසරේ තිරගත වූ "රාණි" චිත්‍රපටයට පාදක වූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය සිදුවන්නේ ද මෙම වසරේ පෙබරවාරි මාසයේදී ම ය.
ඒ මෙම "Father" චිත්‍රපටයට පාදක වී ඇති වවුල්කැලේ ඝාතනය සිදුවීමට දින කිහිපයකට පෙරයි.
"වවුල්කැලේ" ඝාතනය සිදුවන්නේ 1990 පෙබරවාරි 27 වන දින ය.
1990 මාර්තු මස 08 වන දින පළවූ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ සිදුවීම සම්බන්ධයෙන් ය.
කාන්තාවක ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර පුළුස්සා දැමූ මෙම සිදුවීමෙන් එක් අයෙකු පැනගොස් දිවි බේරාගැනීමට සමත්වී ඇති අතර, ඔහු දිවයින පුවත්පතට සිය අත්දැකීම විස්තර කර තිබිණි.
"එදා පෙබරවාරි 27 දා. 2.30 ට පමණ මගේ නිවෙසට වැරෙන් තට්ටු කරන හඬ ඇසී දොර විවෘත කර බැලූ විට මට දක්නට ලැබුණේ මුකවාඩම් බැඳගත් හමුදා හා පොලිස් ඇඳුම්වලින් සැරසුණු පිරිසකි," යැයි ඔහු පුවත්පත වෙත විස්තර කර තිබේ.
ඔවුන් සුදු පැහැති වෑන් රියකින් පැමිණ ඇති අතර, ජීප් රියක් ද තිබී ඇත.
පසුව, පැමිණි පිරිසගේ නියෝගය මත මෙම පුද්ගලයා වෑන් රථයට ගොඩවී ඇති අතර ඒ වන විටත් 7 දෙනෙකු පමණ එම වෑන් රථයේ ගාල් කර සිටි බවත්, තවත් තැන්වලින් පුද්ගලයන් වෑන් රථය තුළට දමාගත් බවත් ඔහු විස්තර කර තිබේ.
මෙම පුද්ගලයා වෑන් රථයට දමාගන්නා විට ඔහු හැඳ සිටි සරම ඉරා එයින් ඔහුගේ අත් පා ගැටගැසූ බවත්, එම රථයේ සිටි සියලු දෙනා "නිර්වස්ත්‍රව දෑත් දෙපය බැඳ දමා සිටි" බව ඔහු දැක තිබේ.
වරින් වර වාහනයට නංවා ගත් පිරිස අතරින් 11 වැනියා කාන්තාවක් වූ බව ඔහු විස්තර කර තිබේ.
එම තරුණිය වෑන් රථයට නංවා ගැනීමෙන් පසු මෙම ඇසින් දුටු සාක්ෂි කරුට ඇයව "දූෂණය කරන ලෙස" ඔවුන්ව රැගෙන යමින් සිටි අය "නියෝග කර" ඇති අතර, ඔහු එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අනෙක් පුද්ගලයන්ට ද එලෙස සිදු කරන ලෙස නියෝග කර ඇත.
නමුත් කිසිවෙකුත් ඊට එකඟ නොවී ඇති අතර, ඔවුන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී එම කාන්තාවට ඔවුන් ඉදරියේම වධ හිංසා සිදු කළ බව ඔහු දිවයින පුවත්පතට පවසා තිබේ.
"ඇයට වධ දෙන විට ඇය විලාප දුන්නත් අපට කරන්න දෙයක් තිබුණේ නෑ," ඔහු පවසා තිබේ.
මේ අතරතුර මේ පුද්ගලයා ඔහුගේ දෑත බැඳ තිබූ පටි සෙමින් ලිහා ගැනීමට සමත් වී තිබේ.
"කෙසේ හෝ පාන්දර 3ට පමණ වවුල්කැලේ වත්ත අසල අප රැගත් වෑන්රිය හා ජීප්රිය නැවැත්වූ ඔවුන්ගෙන් දෙදෙනෙක් වෑන්රියේ දොර අසල සිට ගත්තා. ඉන් අනතුරුව මුල් ම පුද්ගලයා එළියට ගත් ඔවුන් ඔහුට වෙඩි තබා මරා දැමුවා. ඊළඟට දෙවැන්නා. මම ඒ පෝලිමේ පස්වැනියා," දිවි බේරාගත් පුද්ගලයා විස්තර කර තිබේ.
හතරවැනියා පිටතට ගන්නවාත් සමග ම මෙම පුද්ගලයා හතරවැන්නාව "ගිනි ගොඩ දෙසට තල්ලු කර",වෙස් මුහුණු පැළඳ සිටි දෙදෙනාගෙන් අයෙකුට වැරෙන් පහරක් එල්ල කර අනෙක් පුද්ගලයා ද තල්ලු කර අඳුරේ ම දිවගොස් තිබේ.
"ඔවුන්ගෙන් එක අයෙක් මා දෙසට එල්ල කළ වෙඩි පහරින් මා බේරුණේ පූරුවේ වාසනාවකටයි. ඒ මූනිස්සම් මගේ තට්ටමට ගෑවෙන නොගෑවෙන අන්දමින් විහිදී යනවා මට දැනුණා. එසේ දිව ගිය මා අසල තිබූ කජු ගසකට ඉතා අමාරුවෙන් නැග්ගා," ඔහු විස්තර කරයි.
ඒ ගස මුදුනේ සිටි ඔහු, "වෑන්රියේ සිටි අනෙක් සගයන්ගේ සිරුරු පුළුස්සනවා දැක තිබේ.
පසුදින උදෑසන අසල තිබූ පන්සලක් වෙත දිවගොස් ඇති ඔහු පන්සලින් ලබා දුන් සරමක් හැඳ නිවස බලා ගොස් තිබේ.
පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ප්‍රදීප් හපන්ගම විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇති අතර, ඔහු දිවිගලවා ගත් පුද්ගලයා ආරක්ෂා සහිතව තමා භාරයේ සිටින බවත් මේ සම්බන්ධ සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්නේ නම් ඔහුව ඉදිරිපත් කරන බවත් පැවසීය.
පසුව එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණයකට සාක්ෂි ලබාදී තිබේ.
1990 මාර්තු 04 : පුළුස්සා වල දැමූ මළ සිරුරු ගොඩ ගැනීම
1990 පෙබරවාරිය අවසානයේ ඒ අඳුරු රාත්‍රියෙන් පසුව නැවතත් එම ස්ථානයේ පුළුස්සා වල දැමූ මළ සිරුරු 1990 මාර්තු 04 වන දින ගොඩ ගැනිණි.
එම අවස්ථාවේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් සිය ආදරණීයයන් හඳුනාගෙන තිබූ බවට එම වසරේ මාර්තු 08 වන දින දිවයින පුවත්පත වාර්තා කර තිබේ.
අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත ගොඩගත් එම සිරුරුවලින් 5ක් එලෙස ඥාතීන් විසින් හඳුනාගෙන තිබිණි.
බණ්ඩාරවත්ත මහා විදුහලේ උසස් පෙළ ශිෂ්‍යයෙක් වූ උදය ඉන්ද්‍රකුමාර කරුණානායක සහ ඔහුගේ බාප්පා වූ අනුර ධර්මප්‍රිය කරුණානායක, ගම්පහ බණ්ඩාරනායක මහා විදුහලේ ශිෂ්‍යයෙකු වූ ජනක කුමාර මායාදුන්න, පරණගම ග්‍රාමසේවා නිලධාරී සහ වගා නිලධාරී ගාමිණී චන්ද්‍රසේන, බටේපොල මහා විදුහලේ 11 වසර ශිෂ්‍යාවක වූ තමරා හේමමාලි ජයමංගලිකා යන අයගේ සිරුරු එලෙස හඳුනාගෙන තිබිණි.
තමරා පැහැරගෙන ගොස් ඇත්තේ ඇයගේ සොහොයුරා වෙනුවට බව දිවයින පුවත්පතට අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධ පරීක්ෂණ භාරව සිටි එවකට සහකාර පොලිස් අධිකාරි ඒ. එස්. ද සිල්වා දිවයින පුවත්පතට පවසා ඇත්තේ මෙය "දේශපාලන එදිරිවාදිකමක්" නිසා සිදු වූවක් බව ය.
ඝාතනයට හේතුව පාන් ගෙඩියක් ද?
මෙම පැහැරගැනීම සිදු කළ බවට සොයා ගත් වෑන්රිය 1990 මාර්තු 16 වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි 1990 මාර්තු 19 දිවයින පුවත්පත වාර්තා කර තිබේ.
එමෙන් ම, "සිද්ධියට සම්බන්ධ එක් පොලිස් ස්ථානාධිපතිවරයෙකු රහස් පොලිසියට භාරවී ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු මගින්," බව ද එහි සඳහන් ය.
මෙම ඝාතනයන් සිදු කරනු ලැබූ පිරිස ටී 56 වර්ගයේ එක් තුවක්කුවක්, එස්. එම්. පී. වර්ගයේ පතරොම් පිරවීම සඳහා විශේෂයෙන් සකස් කරනු ලැබූ පිස්තෝලයක් ද, එස්. එම්. පී. වර්ගයේ මැෂින් තුවක්කුවක්, රිපිටර් වර්ගයේ තුවක්කුවක් සහ, පතරොම් තුවක්කුවක් ද භාවිත කර ඇතැයි පුවත්පත වාර්තා කරයි. එමෙන් ම මෙම කණ්ඩායම වීරගුල හා ඒ අවට ගම්වැසියන් 40ක් පමණ මේ ආකාරයෙන් මරා දමා ඇතැයි ද පුවත්පතේ සඳහන් ය.
1990 මාර්තු 17 වන දින දිවයින පුවත්පතේ වාර්තා කර ඇති ආකාරයට, වවුල්කැලේ ප්‍රදේශයේදී පුද්ගලයන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව වීරගුල පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ ගනේමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා "රහස් පොලිසියට" භාරවී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නැවතත් මාර්තු 22වන දින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් හපන්ගම පවසා ඇත්තේ මෙම පුවත වාර්තා කළ ඇතැම් පුවත්පත් කලාවේදීන් හට තර්ජන එල්ල වී ඇති බව ය.
එමෙන් ම දිවයින පුවත්පත මාර්තු 23 වන දින වාර්තා කර ඇත්තේ මෙම වවුල්කැලේ සිදුවීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට උක්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ බව ය.
ඝාතනය කරනු ලැබූ තරුණයන් දෙදෙනෙකු ඊට පෙර දිනයක මල්වතු හිරිපිටියේ මිතුරෙකුගේ නිවසක මත්පැන් පානය කර පසුව අසල බේකරියකින් පාන් ගෙඩියක් "බලහත්කාරයෙන්" රැගෙන ඒමට උරණ වූ එහි හිමිකරු ඒ බව, ඔහුගේ දියණිය විවාහ කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින වීරගුල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුට පවසා ඇති බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
පසුව එම තරුණයන් දෙදෙනාව ද එම කොස්තාපල්වරයා තවත් පිරිසක් සමග පැමිණ පැහැරගෙන ගොස් පසුව අනෙක් පිරිස සමග ඔවුන් දෙදෙනා ද වවුල්කැලේදී ඝාතනය කර ඇති බව ද ඔහු පවසා තිබේ.
පුවත්පතට අනුව මේ වන විට වීරගුල සහ ගනේමුල්ල පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 15ක් පමණ අත්අඩංගුවට ගෙන තිබී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර, වීරගුල පොලිස් ස්ථානාධිපති ධම්මික ප්‍රසන්න චන්ද්‍රසේන හා ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති කේ. ඒ. බන්දුල සුරංජන් කුමාරපේලි යන දෙදෙනා ද වූහ.
1990 නොවැම්බර් 30 වන දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 11 දෙනෙකු අතරින් දෙදෙනෙක් සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ.
1990 දෙසැම්බර් 31 වන දින දිවයින පුවත්පත වාර්තා කර ඇති ආකාරයට අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරුන් දෙදෙනා මේ සඳහා ඉදිරිපත් කර නොමැති අතර, 1990 මාර්තු 30 වන දින උදෑසන 11.45 සිට හවස 5.00 දක්වා පැවැත් වුණු ඇති මෙම පෙරට්ටුවේදී සැකකරුවන් 11 දෙනා සමග තවත් 100 දෙනෙකු පමණ ඉදිරිපත් කිරීම නිසා අධිකරණ ශාලාවේ ඉඩ මදි වීම හේතුවෙන් පෙරට්ටුව සියනෑ විද්‍යා පීඨය තුළ පවත්වා ඇත.
එම පෙරට්ටුවේදී, වීරගුල පොලිසියේ උප පොලිස් කොස්තාපල් එච්. ඒ. ජයසේකර සහ උප පොලිස් කොස්තාපල් එම්. ඒ. ටී. නන්දසේන යන අයව සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන ඇත.
ජැකට්ටුවක් හැඳි වයස අවු 35ක 40ක පමණ වෙඩික්කරු
1991 නොවැම්බර් 25 වන දින පෙරවරුවේ කැඳවීමට තිබූ මෙම වවුල්කැලේ නඩුව විත්ති පාර්ශවයේ නීතිඥයා පැමිණීමට ප්‍රමාද වූ හෙයින් එය විභාගයට ගැනීම කල් තබා ඇත.
මෙම සැකකරුවන් මුල් අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර තිබී ඇති අතර, පසුව අවස්ථා දෙකකදී ඔවුන් ඇප මත නිදහස් කර ඇත.
එලෙස පැය කිහිපයකට නඩුව කල් තැබීමෙන් පසු "අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණි පළමු විත්තිකරු සිය මාමණ්ඩිය සමග අධිකරණ ශාලාව අසල අසල කතාබහක යෙදී සිටියදී ඒ අසලට පැමිණි නන්නාඳුනන පුද්ගලයෙකු මයිකල් විජේසේකරගේ හිසට" වෙඩි තබා ඇති බවට 1991 නොවැම්බර් 26 වන දින ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.
කුමාරදාස ගිරිබාව, අබේරත්න හේරත් සහ කරුණාරත්න විජේනායක විසින් එම සිදුවීම වාර්තා කර ඇති අතර, මයිකල් විජේසේකරගේ හිසට වෙඩි තැබීමෙන් පසුව තුවක්කුකරු පළමු විත්තිකරු වන ධම්මික ප්‍රසන්න චන්ද්‍රසේන හට වෙඩි තබා ඇති බව එහි සඳහන් ය.
කකුලකට වෙඩි වැදුණු විත්තිකරු අධිකරණ ශාලාව තුළට දිවගොස් ඇති අතර, තුවක්කුකරු ඔහුගේ පිටුපසින් එලවා ගොස් හිසට ද වෙඩි තබා පලා ගොස් තිබේ.
අධිකරණ ශාලාව තුළ ඇද වැටුණු පොලිස් ස්ථානාධිපතිවරයාට තුවක්ක්කුකරු පිට පිට වෙඩි තැබූ බවට බන්ධනාගාර නියාමකවරයෙකු සාක්ෂි ලබා දී තිබේ.
අබේරත්න හේරත් විසින් ලංකාදීප පුවත්පතට වෙඩි වැඩි මිය ගිය දෙදෙනාගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.
ඔහුගේ වාර්තාකරණයට අනුව, පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් බන්ධනාගාර නියාමකවරයෙකු එම සිදුවීම මෙලෙස විස්තර කර තිබේ.
"අධිකරණයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී මගේ මේසය දෙසට දුවගෙන ආ පුද්ගලයෙකු මා ඉදිරියේ බිම ඇද වැටුණා. ඒ සමග ම නිල් පාට දිග කලිසමක් හා යතුරුපැදිවලින් යන විට අදින කබායක් ඇඳගෙන පැමිණි පුද්ගලයෙකු ඒ තැනැත්තාට පිස්තෝලයක් වැනි ආයුධයකින් දෑතින් අල්ලා වෙඩි තිබ්බා. මේ අවස්ථාවේ වෙඩි හතරක් පමණ පත්තු වුණා," ඔහු විස්තර කර තිබේ.
ඒ සමග අධිකරණ ශාලාව තුළ සිටි පුද්ගලයන් හිස් හැරුණු අත දුවන්නට පටන්ගෙන ඇති අතර, සිර මැදිරියේ සිටි සිරකරුවන් ද කලබලවී ඇත. එම අවස්ථාවේ මෙම බන්ධනාගාර නිලධාරියා සිරකරුවන් පාලනය කරගැනීමට සිර මැදිරි අගුලු ලා තිබේ.
එමෙන් ම, එම නිලධාරියා පවසා ඇත්තේ වෙඩික්කරු තුවක්කුව දෑතින් ම අල්ලා වෙඩි තබන බව දුටු බව ය. වෙඩික්කරු වෙඩි තබා පලා ගිය අවස්ථාවේදී "තවත් අයෙකු එළියේ ප්‍රධාන පඩිපෙළ අසල ලේ පෙරාගෙන වැටී මැරී සිට," තිබේ යනුවෙන් ඔහුගේ වාර්තාවේ සඳහන්ය.
මෙම මරණ දෙකෙහි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබුණේ එවකට වතුපිටිවල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී අශෝක ගුණතිලක විසින් ය.
ඒ අනුව මියගිය ධම්මික ප්‍රසන්නගේ සිරුරේ දකුණු ඉළ ඇටයට යටින් අඟල් 1 1/2ක තුවාල කුහරයක් ද, දකුණු නහයට යටින් තුවාල කුහරයක් ද, දකුණු තට්ටමට උඩින් ද, වම කනට යටින් ද, බෙල්ලේ පිටුපසට බරව තුවාල කුහර තිබී ඇති බව ලංකාදීප වාර්තාව පවසයි.
ධම්මිකගේ මාමණ්ඩිය වූ මයිකල්ගේ සිරුරේ වම් ඇසට උඩ නළල කෙළවරේ තුවාලයක්, දකුණු ඇසට උඩින්, දකුණු කකුලේ දණහිසට උඩින් හා යටින් සහ, දකුණු අතේ මැණික්කටුව අසල තුවාල තිබී ඇත.
ඒ අනුව මේ මරණයන් වෙඩි වැදීමෙන් සිදුවූ මරණ බවට මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.
'උසාවිය නඩු අහද්දී සිදු කළ මුල් ම මිනී මැරුම'
මිය ගිය ධම්මික ප්‍රසන්න සහ මයිකල් විජේසේකර යන දෙදෙනාට කලක පටන් මරණ තර්ජන තිබූ බවට ධම්මික ප්‍රසන්නගේ බිරිඳ වන සේපාලිකා විජේසේකර සහ මයිකල්ගේ බිරිඳ වන ආරියලතා විජේසේකර 1991 නොවැම්බර් 27 වන දින ලංකාදීප පුවත්පතට පවසා තිබේ.
එම පුවත්පතේ කරුණාරත්න විජේනායකගේ වාර්තාවට අනුව පොලිසිය පවසා ඇත්තේ මෙම ඝාතනයන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බව ය.
කෙසේවෙතත් මෙම ඝාතනයන් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හෝ වවුල්කැලේ ඝාතනය වූවන්ගේ සම්බන්ධතාවයක් ඇති බවට තොරතුරු ලැබී නොමැති බව ද පොලිසිය පවසා තිබේ.
මෙම ඝාතනයන් ව්‍යාපාරික කටයුත්තක් මුල් කරගෙන සිදුවූවක් බවට එවකට ගම්පහ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. ඩී. ඊ. කරුණානායක 1991 නොවැම්බර් 28 ලංකාදීප පුවත්පතට පවසා තිබේ.
තුෂාර ගුණරත්න සහ කරුණාරත්න විජේනායක යන වාර්තාකරුවන් වාර්තා කර ඇති ආකාරයට, මෙම ඝාතනයන් සිදු කිරීමට දෙදෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් හොඳින් අවි පුහුණුව ලබා ඇති බවත්, එම මරණ කොන්ත්‍රාත්තුවට ලක්ෂ එකහමාරක් ගෙවා ඇති බවත් පොලිසිය පවසා තිබේ.
නිමල් සමරසිංහ සහ කුමාරදාස ගිරිබාව විසින් 1991 නොවැම්බර් 29 ලංකාදීප පුවත්පතට වාර්තා කර ඇති ආකාරයට පොලිසිය විසින් එම පුවත්පතට පවසා ඇත්තේ සංචාරක හෝටලයක් ඉදි කිරීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ගම්පහ ව්‍යාපාරික කණ්ඩායමක් විසින් මෙම ද්විත්ව ඝාතනයන් සිදු කර ඇති බව ය.
කෙසේවෙතත් එවකට ලංකාදීප වාර්තාකරුවෙකු වූ වදාකඩ නවරත්න විසින් රචිත "වවුල්කැලේ තීන්දුව" ග්‍රන්ථයේ සඳහන් වන්නේ 1989 වසරේ නොවැම්බර් 01 වන දින 'ඔස්මන්ඩ්' නම් පුද්ගලයාගේ සහෝදරයා ඇතුළු පිරිසක් ඔවුන් සිටි මෝටර් රථය ද සමගින් පැහැරගැනීමේ සිදුවීම හේතුවෙන් මෙම ඝාතනයන් සිදුවූ බව ය.
තව ද, මෙම ඝාතනයන් මහේස්ත්‍රාත්වරයෙකු නඩු අසමින් සිටින අධිකරණ ශාලාවක සිදුවූ මුල් ම ඝාතනය බවට ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.
ඉන්පසුව ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී ම එවැනි වෙඩි තැබීම් අධිකරණ තුළ සිදුවූ අතර, ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීම ය.
මෙහි තවත් සුවිශේෂි සිදුවීමක් වන්නේ අත්තනගල්ල අධිකරණයේදී වෙඩි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ජෝර්ජ් ඔස්මන්ඩ් මැඩොන්සා ගුණසේකර යන පුද්ගලයාට 2017 වසරේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සැලසුම් කළ බවට සැක කරන්නේ ද ගණේමුල්ල සංජීව වීම ය.
Father චිත්‍රපටයේ ආරම්භයේදී පෙන්වන්නේ එම වෙඩි තැබීම ය.
1993 නොවැම්බර් 18: නවසීලන්තය හරහා ජපානයට ගිය ඔස්මන්ඩ් ලංකාවට
1991 වසරේ සිදුවූ මෙම ද්විත්ව ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් සොයමින් සිටිය ද ඔවුන්ට ප්‍රධාන සැකකරු සොයාගැනීමට හැකි වන්නේ 1993 වසරේදී ය.
මෙම සැකකරු 1992 පෙබරවාරි මාසයේදී ජපානයට පලාගොස් ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර පසුව පොලිසිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය යටතේ ඒ බව ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇත.
1993 අගෝස්තු 23 වන දින ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ ජෝර්ජ් ඔස්මන්ඩ් මැඩොන්සා ගුණසේකර ඝාතනය සිදු කිරීමෙන් පසුව වෙනත් අයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන නවසීලන්තයේ ඕක්ලන්ඩ් හරහා ජපානයට පලා ගොස් ඇති බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි 1993 නොවැම්බර් 11 වන දින බන්ධුල දිනපූර්ණ දිවයින පුවත්පතට වාර්තා කර තිබේ.
එමෙන් ම මෙම ඝාතනයන් සම්බන්ධයෙන් සැකකාරියක ඇතුළු සැකකරුවන් 44 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබී ඇත.
එපමණක් නොව මෙම ද්විත්ව ඝාතනයේ තුන්වන සැකකාරිය වූ ඔස්මන්ඩ් නැමති පුද්ගලයාගේ පෙම්වතිය ද ෆාතිමා යන නමකින් ජපානයට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවට පුවත්පත වාර්තා කර තිබේ.
ඔස්මන්ඩ් ගුණසේකර ශ්‍රී ලංකා පොලිසිය විසින් 1993 නොවැම්බර් 18 වන දා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව එම වසරේ නොවැම්බර් 20 වන දින දිවයින පුවත්පත වාර්තා කර තිබේ.
බන්ධුල දිනපූර්ණගේ වාර්තාවට අනුව, ඔහු රැගෙන එන බවට ආරංචි වූ පසු බොහෝදෙනෙකු ගුවන්තොටුපොළ අසලට රැස්ව සිට තිබේ.
ජපානයේ විබා නම් පොලිස් ස්ථානයෙන් මෙම පුද්ගලයා ආගමන විගමන නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව අත්තනගල්ල වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන මෙරට පොලිසියට දැන්වීමෙන් පසු ඔහුව ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ.
කෙසේවෙතත් ජෝර්ජ් ඔස්මන්ඩ් මැඩොන්සා ගුණසේකර නමැත්තාට එල්ල කළ චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබීම හේතුවෙන් ඔහු මේ නඩුවෙන් ඔහු නිදහස් විය.
මෙම සත්‍ය සිදුවීම් දාමය දැනට තිරගත වෙමින් පවතින 'Father' චිත්‍රපටයට සඳහා පාදක කොට ගෙන තිබේ.