ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නම් කිහිපයකින් පෙනී සිටි බව කියන ගණේමුල්ලේ සංජීවගේ ඝාතන සැකකරු
පාතාල කල්ලි නායකයෙකු බව කියන 'ගණේමුල්ලේ සංජීව' ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව සමග සමීප සම්බන්ධතා පවත්වන ලද බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඊයේ (පෙබ. 20) සවස් කාලයේදී මීගමුව පොලිස් ස්ථානයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සැකකරු වයස අවුරුදු 26ක් වන මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය.
සැකකරුගේ ජංගම දුරකතනයේ අදාළ සැකකාරියගේ බවට හඳුනා ගෙන ඇති දුරකතන අංකයක් ඇතුළත්ව තිබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බීබීසී සිංහල කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ඊයේ සඳහන් කළේ, "ඒ කාන්තාව එක්ක ෆෝන් ලින්ක්ස් තිබුණ හැමෝගෙන් ම අපි ප්‍රශ්න කරනවා," යනුවෙනි.
පෙබ. 19 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ, අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන 'ගණේමුල්ල සංජීව' හෙවත් සජීව කුමාර සමරරත්න නැමැත්තා වෙඩි තබා ඝාතනය කෙරිණි.
පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති 25 හැවිරිදි අදාළ සැකකාර කාන්තාව වෙඩික්කරු සමග අධිකරණ භූමියට පැමිණ තිබිණි.
සැකකරුවන්ට කරන්න යන දේ
පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (පෙබ: 20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
කොළඹ අපරාධ කොට්ඨාසය අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවේ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම දැනුම්දීම සිදුකළේ ය.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති මහරගම ප්‍රදේශයේ පදිංචි සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි සහ රියැදුරු වශයෙන් කටයුතු කළ මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන යන අය අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා තබා ප්‍රශ්න කරන බවත් එම වැඩිදුර වාර්තාවෙන් දැනුම් දී තිබේ.
මෙම විමර්ශන අවසන් කිරීම සඳහා පැය 24ක කාලයක් ප්‍රමාණවත් නොවන හෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය යටතේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.
මෙම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බවත් එම වැඩිදුර වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත හැක්කේ අදාළ පනතේ සඳහන් වන ආකාරයේ සුවිශේෂී පුද්ගලයෙකු මරණයට පත් කළ අවස්ථාවක හෝ සාක්ෂිකරුවෙකු මරණයට පත් කළ අවස්ථාවක පමණක් බව සඳහන් කළේ ය.
ඒ අනුව, මෙම සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කළ නොහැකි බව නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් මරණයට පත්වී තිබෙන්නේ අපරාධ සිද්ධි ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු බවත් මේ හේතුවෙන් සිය සේවාදායකයාට පවතින ජීවිත අනතුර වර්ධනය වෙමින් පවතින බවත් පෙන්වා දුන් නීතිඥ අජිත් පතිරණ මෙම සැකකරු විමර්ශන කටයුතු සඳහා පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් ඒ බව අධිකරණය දැනුවත් කොට එම කටයුත්ත සිදු කරන ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේ ය.
එමෙන් ම තම සේවාදායකයා හමුවී උපදෙස් ලබා දීම සඳහා නීතිඥවරුන් දෙදෙනෙකුට සැකකරු හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙස පොලිසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම්වලට අවසර ලබා දුන්නා ය.
මෙම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බව පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිසිය විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබිණි.
විශේෂ ගණයේ සැකකරුවකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වීමත් සමග ඒ හා බැඳුණු ප්‍රශ්න ගණනාවක් මතුවෙමින් තිබේ.
ඝාතකයා කවුද? අධිආරක්ෂිත ස්ථානයකට ඇතුළු වී මොහු පුද්ගල ඝාතනයක් සිදුකර නිරුපද්‍රිතව පලා ගියේ කෙසේද? විශේෂ ගණයේ සැකකරුවකු වූ ගණේමුල්ලේ සංජීව අධිකරණය වෙත භෞතිකව ඉදිරිපත් කළේ ඇයිද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින් ප්‍රශ්න මතුකර තිබිණි.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී (පෙබරවාරි 19 වැනිසා සවස 4.30ට පමණ) අත්අඩංගුවට පත්වීමත් සමග ඔහු පිළිබඳ තොරතුරු රැසක් මේවන විට අනාවරණය වෙමින් ඇත.
ඝාතන සැකකරු කවුද?
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි නැමති අයෙකු බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය (පෙබරවාරි 20 වැනිදා) ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
අමාත්‍යවරයාට අනුව අත්අඩංගුවට පත් සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු තවත් ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය සති දෙකකට ආසන්නව සිදුවූ ඝාතන කිහිපකට මොහු සම්බන්ධ බවට කරුණූ අනාවරණය වී ඇති බවයි.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු පුත්තලම ප්‍රදේශයට පලා යෑමට සඳහා භාවිත කළ වෑන් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකටයුතු කාන්තාවක් සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
'සැකකරු අනන්‍යතා කිහිපයකින් පෙනී සිට තිබෙනවා'
මෙම සැකකරු අනන්‍යතා කිහිපයකින් පෙනී සිට ඇති බව මේ වනවිට අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේය.
''මෙම සැකකරු නම් කිහිපයකින් පෙනී සිටි පුද්ගලයෙකු බවටත් මේ වන විට පෙනී ගොස් තිබෙනවා. ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙනවා. ඒ අතර නීතිඥ හැඳුනුම්පතකුත් තිබී තිබෙනවා.''
''ඔහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් පෙනී සිට තිබෙනවා, ඉන් පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනආරච්චි යන නම භාවිතා කර තිබෙනවා. ඔහු විසින් සකස් කර ගෙන තිබු නීතිඥ හැඳුනුම්පතේ කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නමින් හඳුන්වා දී තිබුණා. ඒ අනුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වලින් අනතුරුව මෙම පුද්ගලයාගේ සැබෑ අනන්‍යතාවය සහ ඔහු සිදුකළ අපරාධ සහ මෙම අපරාධය සම්බන්ධයෙන් ආධාර අනුබලදුන් අය ගැන තොරතුරු සොයා ගැනීමට හැකිවෙයි." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
සැකකරු හඳුනා ගැනීමට අධිකරණය භුමියේ සවිකර තිබු CCTV කැමරා මගින් හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවේය.
''සැකකරුට මුහුදු මාර්ගයෙන් මෙන්ම ගුවන් මගින් රටින් පලා යෑමට තිබු අවස්ථාව වැළැක්වීමට ගුවන් තොටුපොළ බලධාරීන්ට මෙන්ම ධීවර වරායන් ආශ්‍රිතව මාර්ග බාධක යොදා කටයුතු කරනු ලැබූවා. ඒ වගේම දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත සැකකරුගේ ඡායාරූපයක් ලබා දුන්නා. එමෙන්ම බුද්ධි තොරතුරු අනුව සැකකරු ගමන් කරන මාර්ගය නිසි ලෙස හඳුනාගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.'' පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.
ගණේමුල්ලේ සංජීව අධිකරණයට රැගෙන ගියේ ඇයි?
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ලේ සංජීව රඳවා සිටියේ, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ය.
ගණේමුල්ල සංජීවට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩු සංඛ්‍යාව 22 කි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ (පෙබරවාරි 19 වැනිදා) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 වෙත භෞතිකව ඉදිරිපත් කිරීමක් සඳහා අධිකරණය නියෝගයක් ලබා දී තිබුණු බවය.
ඊට අමතරව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 වෙත නඩු දෙකක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව, මොහු විශේෂ ගණයේ සැකකරුවකු වන බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර නිලධාරීන් භාරයේ, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන විත් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සැකකරු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යොදවා විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, ඊට අමතරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් ද මූලික විමර්ශනයක් මේවන විට ආරම්භ කර තිබේ.