ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගණේමුල්ලේ සංජීව: අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ඝාතනය කෙරුණු හැටි
'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී අද (පෙබ. 19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසීය.
ඔහු සඳහන් කළේ, මෙම ඝාතනයේ "වෙඩික්කරු" ලෙස කටයුතු කළ "මොහොමඩ් අස්මත් ෂෙරීෆ්ඩීන්" නමැති 34 හැවිරිදි අදාළ සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ය.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ද අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.
'නීතිඥවරයෙකු ලෙස සැරසී පැමිණි තුවක්කුකරුවෙක්'
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ අද (පෙබරවාරි 19 වන දා) පෙරවරුවේ ඝාතනයට ලක්වූයේ, රට තුළ පවතින ආරක්ෂාව පිළිබඳව සමාජ කතිකාවක් නිර්මාණය කරමිනි.
කොළඹ නගරයේ දැඩි ආරක්ෂාව යොදවා ඇති ප්‍රදේශයක, පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂාවට යොදවා ඇති මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීමක් සිදුවූයේ කෙසේ ද? එය ඕනෑ ම පුරවැසියෙකුගේ සිතට නැගෙන ප්‍රශ්නයකි.
පොලිසිය පවසන අන්දමට නීතිඥවරයෙකු ලෙස සැරසී පැමිණි තුවක්කුකරුවෙකු ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා තිබිණි.
නඩු කටයුත්තක් සඳහා ගණේමුල්ලේ සංජීව අද පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබ තිබුණේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මධ්‍යයේ ය.
විදෙස්ගතව සිටි ගණේමුල්ලේ සංජීව, 2023 සැප්තැම්බර් 13 වන දා කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වූයේ ව්‍යාජ නමකින් දිවයිනට පැමිණි අවස්ථාවේදී ය.
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අද පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමෙන් අනතුරුව ගණේමුල්ලේ සංජීව විත්ති කූඩුව අසල වැටී සිටින අයුරු සහ රිවෝල්වරයක් එම ස්ථානයේ වැටි තිබෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායරූපවල දැක්විණි.
මෙම වෙඩි තැබීමෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව තර කෙරුණු අතර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද එම ස්ථානයට පැමිණියේ ය.
ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබූ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පැවසීය.
පාර්ලිමේන්තුවේ අවධානය
මෙම වෙඩි තැබීමේ සිද්ධිය පාර්ලිමේන්තුවේ ද අවධානයට ලක්විය.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ, නීතිඥවරයෙකු ලෙස පැමිණි තුවක්කුකරුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ය.
"මේ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා." දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.
"මේ ටිකට ම මරණ 78කට වැඩි යි. ඉතා ම සුළු කාරණයක් බවට පත්වෙලා තියෙනවා අද මිනිහෙක් මරලා දාන එක," මන්ත්‍රීවරයා පැවසීය.
'රජයෙන් මීට වැඩිය ශක්තිමත් විසඳුම් අවශ්‍ය යි'
පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ, දිනපතා ම මිනී මැරුම් සිද්ධ වෙන බවත් මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ය.
"රජයෙන් මීට වැඩිය ශක්තිමත් විසඳුමක් අවශ්‍ය යි. අපිත් සූදානම් රජයට සහයෝගය ලබා දීලා නීතිය හා සාමය ස්ථාපනය කරන්නට. මනුස්සයෙකුට පාරේ බැහැල යන්න."
"අධිකරණයටත් යන්න බැරි නම් පුද්ගලයෙකුට, මොකක් ද රටේ තත්ත්වය? අධිකරණයටත් පුද්ගලයෙක් යන්නේ මරණ බියෙන් නම් මේක බරපතළ තත්ත්වයක්."
"නීතිය හා සමාය ආරක්ෂා කරන්න ඕනේ. රජය ශක්තිමත් තීන්දු තීරණ ටික ගන්න ඕනේ. අපට ලබා දිය හැකි සහය ලබා දෙන්න අපි සූදානම්. ඒ රාජ්‍ය බලය තියෙන්නේ ඔබ තුමන්ලාගේ අතේ."
"විශාල මරණ ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. මේකට පියවර ගන්නේ නැති එක තමා එළියට අපට පේන්න තියෙන්නේ. මේ තත්ත්වය ගැන විශේෂ ප්‍රකාශයක් කරන රජය ගන්න තීන්දු තීරණ පිළිබඳව."
රජයේ ප්‍රතිචාරය කුමක් ද?
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ, පාතාල කටයුතු පිළිබඳව ආණ්ඩුව බරපතළ ලෙස කල්පනා කරන බව ය.
ඒ සඳහා ක්‍රියාමාර්ග ගණානාවක් ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
"පාතාලය, කළු සල්ලි, කුඩු ජාවාරම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් එක්ක සම්බන්ධ යි. මේවා මෙහෙයවන සමහර අය ලංකාවෙත් නෙමෙයි ඉන්නේ. යම් යම් ආරක්ෂක අංශ සමාජිකයින් සමහර තැන්වලදී මේවට සම්බන්ධ යි."
"යම් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ යොදවලා තියෙනවා."
"ඉන්දියාවේ සහ ඩුබායි රාජ්‍යයේ හිටපු සමහර අපරාධකරුවන් මේ රටට ගෙනල්ලා විමර්ශන කරගෙන යනවා."
"රජය දැඩිව මැදිහත් වෙනවා. මේ පාතල කටයුතුවලට කිසිසේත් ම බුරුලක් ලබා දෙන්නේ නැහැ. නීතිය තදින් ක්‍රියාත්මක කරනවා" අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
CCTV දර්ශන පොලිසිය වෙත ලබාදීමට නියෝගයක්
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ල සංජීව, කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන සඳහා අවශ්‍ය කරන සියලු CCTV දර්ශන පොලිසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද එහි රෙජිස්ටර්වරයාට නියම කළේය.
මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලිසිය විසින් දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කරුණු වාර්තා කරනු ලැබීය.
කෙසෙල් වත්ත පොලිසියේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අපරාධය සිදුවූ විගසම ඊට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බව සඳහන් කළේය.
අධිකරණ නිලධාරීන් ඇතුළු සෙසු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා CCTV දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා පොලිසියට අවශ්‍ය කරන CCTV දර්ශන මුදා හැරීමට පියවර ගන්නා ලෙස අධිකරණයේ ලේඛකාධිකාරියට නියම කළාය.
ගණේමුල්ලේ සංජීවට ඇති චෝදනා මොනවා ද?
- 2009.02.16 වන දා රුපියල් 75,000ක් කොල්ලකෑම සම්බන්ධ චෝදනා.
- 2016 මාර්තු මාසයේ බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට T56 ගිනිඅවියකින් වෙඩි තබා බන්ධනාගාර නිලධාරින් ඝාතනය කිරීමට තැත් කිරීම සහ එහි ගමන් කළ දෙමටගොඩ චමින්ද නමැති සැකකරුවෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
- 2017.04.08 වන දා ගම්පහ පොලිස් වසමේදී ස්වයංක්‍රීය ගිනිඅවියක් යොදා ගනිමින් මනුෂ්‍ය ඝාතානයක් සිදු කිරීමට තැත් කිරීම.
- 2010 සැප්තැම්බර් මාසයේදී රුපියල් හය කෝටි තිස් දෙලක්ෂ අසූ හතර දාස් පන්සියයක් කොල්ලකෑමට ආධාර අනුබල දීම.
- 2013 වසරේ හෙරොයින් මිලිග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට පත්වීම.
- 2016.12.24 වන දා වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම.
- 2017 ඔක්තෝබර් මාසයේදී T56 ගිනිඅවි තුනක් සහ පතුරම් ගැබ් 7ක් මෙන් ම උණ්ඩ 168ක් සන්තකයේ තබා ගත් බවට චෝදනා එල්ල වී තිබීම.
- 2018 වසරේදී අම්පේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම.
- 2018 සැප්තැම්බර් මාසයේ T56 ගිනිඅවියකින් වෙඩි තබා කාන්තාවක ඝාතනය කිරීම සහ ඇගේ වයස අවුරුදු 13ක් වූ දියණියට බරපතළ තුවාල සිදු කිරීම.
- 2019 ජූනි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ගණේමුල්ලේ සංජීවට චෝදනා එල්ල වී ඇත.