වධ හිංසා: ශ්‍රී ලංකාවේ පොලිසිය ගැන චෝදනා සොයන්න පොලිස් කොමිසමෙන් නව පියවරක්

"කට්ටියක් ආවා පොඩි පුතාව අල්ල ගත්තා, ගැහුවා. පපුවට දඩි බිඩි ගාල ගහනකොට පුතා අහ්....ගෑවා... මම ඇහැට දැක්කා මහත්තයා... ඊට පස්සෙ බඩට ගැහුවා. ළඟ හිටිය කෙනෙක් කිව්වා කෙසෙල්වත්ත පොලීසියෙන් කියලා."

පසුගිය අගෝස්තු 4 වෙනිදා මාධ්‍ය වෙත එම වේදනාත්මක ප්‍රකාශය කළේ, පොලිස් පහරදීමකින් අනතුරුව මියගියේයැයි පැවසෙන පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකුගේ මවය.

මහජන සේවයක් ලෙස සැලකෙන පොලිසියට මෙවැනි චෝදනා එල්ලවූ පළමු අවස්ථාව මෙය නොවේ. අත්අඩංගුවේ පසුවූ පුද්ගලයන්ට විවිධ වධ හිංසා පැමිණවීම් මෙන්ම පොලිස් අත්අඩංගුවේ සිටියදී වධ හිංසා හේතුවෙන් සැකකරුවන් මියයාම සම්බන්ධයෙන් මීට පෙර ද පොලිසියට චෝදනා එල්ලවී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද 'වධ හිංසා පැමිණවීම හා කෘර අමානුෂික හෝ අවමන් සහගත අයුරින් සැලකීමේ හෝ දඬුවම් කිරීමේ ක්‍රියාවන්ට එරෙහි අන්තර්ජාතික සම්මුතිය'ට අනුව, පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීමට එහි සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව බැඳී සිටි.

මෙවැනි තත්ත්වයක් තුළ වධ හිංසා පමුණුවන බවට නිරන්තයෙන් පොලිසියට චෝදනා එල්ලවීම හා ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව බීබීසී සිංහල සේවය ජාතික පොලිස් කොමිසමෙන් විමසීය.

"මානව අයිතිවාසිකම් වලට ගරුකරමින් සහ සුරකිමින්, මහජන වගවීම සහතික කරමින්, නීතියේ ආධිපත්‍ය දිරිගන්වන, කාර්යක්‍ෂම, පාරදෘශ්‍ය සහ මහජන අභිලාශයන්ට ප්‍රතිචාර දක්වන සේවාවක් ලෙසට ශ්‍රී ලංකා පොලිසිය පරිණාමනය කිරීම," තම මෙහෙවර ලෙස ජාතික පොලිස් කොමිසම තමන්ව හඳුන්වා දෙයි.

"2017 - 2021 වර්ෂ ඉලක්ක කරගෙන 'මානව හිමිකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය' ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා," ජාතික පොලිස් කොමිෂන් සභාව වෙනුවෙන් එහි ප්‍රධාන විමර්ශන නිලධාරී, නීතිඥ ආචාර්ය මාරින්ග සුමනදාස බීබීසී සිංහල සේවයට පැවසිය.

'මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම' ක්‍රියාත්මක කිරීමට අධිකරණ අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, නීතිය හා සාමය අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් කොමිසම ආදී ආයතන සමුහයක් සම්බන්ධ කමිටුවක් පවතින බව ආචාර්ය සුමනදාස පවසයි.

"මෙම වැඩපිළිවෙල යටතේ ජාතික පොලිස් කොමිසමට පැවරිලා තියෙනවා 'විශේෂ ඒකකයක්' පිහිටුවලා විශේෂයෙන්ම පොලිස් වධ හිංසාවන්ට ලක්වන අය පිළිබඳ පියවර ගැනීමට."

වධ හිංසාවක් ලෙස ජාතික පොලිස් කොමිසම අර්ථ දක්වන්නේ කුමක්ද?

"පුද්ගලයෙක්ට ශාරීරික වේදනාවක්, පීඩාවක්, බරපතල හිංසාවක් වගේ දෙයක් කිරීම තමයි අපි සලකලා තියෙන්නෙ."

නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන පුළුල් අර්ථයෙන් වධ හිංසා පිළිබඳ කටයුතු කරන්න අපේක්ෂා කරන බව ජාතික පොලිස් කොමිසම වෙනුවෙන් එහි ප්‍රධාන විමර්ශන නිලධාරීයා පැවසීය.

වධ හිංසා පිටුදැකීම වෙනුවෙන් පොලිස් කොමිසම ගෙන ඇති ක්‍රියා මාර්ග;

  • පෙර (යහපත්) හැසිරීම් සලකා අනෙකුත් පැමිණිලි විභාගයේදී කෙරෙන 'දඬුවම් ලිහිල් කිරීමේ ක්‍රමවේදය' වධ හිංසා කිරීම සම්බන්ධ චෝදනාවකදී ක්‍රියාත්මක නොකිරීම.
  • පොලිස් විනය වැරදි සම්බන්ධ අභියාචනාවලදී (වධ හිංසා පැමිණවීම් සම්බන්ධ චෝදනා ඇති නිලධාරීන්ට) විනය නීතිය ක්‍රියාත්මක කරනවා මිස අනෙකුත් අවස්ථාවලදී මෙන් සහන නොදීම.
  • වධ හිංසා කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති නිලධාරීන් අදාළ චෝදනාවලින් නිදොස්වන තෙක් උසස්වීම් ලබා නොදීම.

තවද, වධ හිංසා පැමිණවීමට කටයුතු කළ නිලධාරීන් සම්බන්ධ තොරතුරු නිරීක්ෂණ ලැයිස්තුවකට (Watch List) ඇතුළත් කර පවත්වාගෙන යන අතර, යම්කිසි නිලධාරියෙක්ට උසස්වීමක් දීමේදී එම තොරතුරු පරීක්ෂා කර බලා කටයුතු කිරීමට පොලිස් කොමසම පියවර ගෙන තිබෙන බව ආචාර්ය සුමනදාස ප්‍රකාශ කළේය.

'මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම' යටතේ පොලිස් කොමිෂන් සභාව තුළ ස්වාධීන විමර්ශන ඒකකයක් පිහිටුවා, එමගින් වධ හිංසා චෝදනා පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කර අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පොලිස්පතිවරයාට යොමු කෙරේ.

"අපි ඒ සම්බන්ධ පසු විපරමක් ද කරනවා." විමර්ශන නිලධාරියා පැවසීය.

  • ඒ ඒ පළාත්වල පළාත් අධ්‍යක්ෂවරු නව දෙනෙක් ක්‍රියාත්මක බැවින් ඍජුවම ඔවුන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
  • ඊ-මේල්
  • ෆැක්ස්
  • ලිපියක් මගින් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ හැකිය.

"කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳ සඳහන් කරමින් දින 7 ක් ඇතුළත පැමිණිලිකරුව දැනුවත් කරනවා," ආචාර්ය සුමනදාස පවසයි.

"පැමිණිලි දහයකටත් අඩුයි"

2015 සිට ගෙවුණු තුන් වසර තුළ වධ හිංසා පිළිබඳ පොලිස් කොමිසමට ලැබී තිබෙන්නේ පැමිණිලි "දහයකටත් අඩු ප්‍රමාණයක්" බව පැවසූ ආචාර්ය සුමනදාස, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පොලිසිය සම්බන්ධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බව දැනගන්නට තිබෙන බව ප්‍රකාශ කළේය.

"මේ හේතුවෙන් නව වැඩපිළිවෙල යටතේ ජාතික වශයෙන්, වධ හිංසාවලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ තොරතුරු එකම ලේඛනයකට ගෙන ඒමට කටයුතු කරනවා."

2017 වසරේ මුල් කාර්තු තුනේ දී 2017 වසරේ මුල් කාර්තු තුනේ දී පොලිසියට එරෙහිව ලද පැමිණිලි අතරින් වධහිංසාවන්ට ලක් කිරීම් පිළිබඳව පැමිණිලි 249 ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව එහි සභාපතිනී මහාචාර්ය දීපිකා උඩගම, 2018 වසරේ ජනවාරි මාසයේදී බීබීසී සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.

"මානව හිමිකම් පිළිබඳ තත්වයේ ඉතා හොඳ ප්‍රගතියක් අපි දකිනවා. ඇත්ත වශයෙන්ම භීතියේ සංස්කෘතිය බොහෝ දුරට නැති වෙලා. නමුත් අපට තියෙන ප්‍රශ්නය තමයි පොලිසියේ ක්‍රියාමාර්ග නිසා මානව හිමිකම් කඩවීම" ඇය පෙන්වා දෙන්නීය.

වධ හිංසා සිදුකිරීම් පිළිබඳ මේ දක්වා පොලිස් කොමිසමට ලැබුණු පැමිණිලි අතරින්, තුනකට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරීමට ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබෙන බව ආචාර්ය සුමනදාස පවසයි.

"පොලියේ සහාය ගැන ගැටලුවක් නැහැ."

"මීට අමතරව, මහජන පැමිණිලි අතරින්පොලිස් නිලධාරීන් 200 - 250 ක් අතර ප්‍රමාණයකට දෙපාර්තමේන්තු මට්ටමින් විවිධාකාර විනය පියවර ගෙන තිබෙනවා. නමුත් ඒවා වධ හිංසා නොවෙයි, ඒවා බහුතරයක් පැහැර හැරීම්, පක්ෂපාතීත්වය, බලය අයුතු ලෙස පරිහරනය කිරීම වැනි කාරණා."

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිසම දෙන නියෝග ක්‍රියාත්මක කරන නමුත්, නීතිපති උපදෙස් සඳහා යොමු කළ විට සිදුවන ප්‍රමාදය නිසා තමන් 'බලාපොරොත්තුවන වේගයෙන්' කටයුතු සිදු නොවන බව ද එහි ප්‍රධාන විමර්ශන නිලධාරියා පැවසීය.