ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ ගැරී කර්ස්ටන් යනු කවුද?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
සනත් ජයසූරියගේ ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව පුරප්පාඩු වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ප්‍රවීණ දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ඒ අනුව ඔහු 2026 අප්‍රේල් 15 වැනිදා සිට නව ධූරය භාර ගනු ඇත.
ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙසද අත්දැකීම් රැසක් ඇති ගැරී කර්ස්ටන් යනු සැබවින්ම ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිමත් චරිතයකි.
1993 සිට 2004 දක්වා විහිදී ගිය සිය ක්‍රීඩා දිවිය තුළ, කර්ස්ටන් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර (ODI) ආකෘති ඔස්සේ මුළු ලකුණු 14,087ක් රැස් කර ඇති අතර, එයට ටෙස්ට් ශතක 21ක් සහ එක්දින ශතක 13ක් ඇතුළත් වේ.
1967 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී උපත ලද ගැරී කර්ස්ටන් එරට ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් අතර නම්දැරූ පිතිකරුවෙකු විය.
ඔහුගේ පියා (Noel Kirsten) මෙන්ම සහෝදරයා වන (Paul Kirsten) ද පළමු පෙළ තරගවලට සහභාගී වී තිබේ.
1993 වසරේදී මෙල්බන්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනූ ගැරී කර්ස්ටන්, 2004 වසරේදී තරග බිමෙන් සමු ගන්නා විට ටෙස්ට් තරග 101කට ක්‍රීඩා කර ලකුණු 7289ක් රැස් කරගෙන සිටියේය.
ශතක 21ක් සහ අර්ධ ශතක 34ක්ද එම ලකුණු 7289ට ඇතුළත් විය.
එක් දින ජාත්‍යන්තර තරග 185කදී දකුණු අප්‍රිකාව නියෝජනය කළ කර්ස්ටන්, ශතක 13ක් සහ අර්ධ ශතක 45ක්ද සමගින් එම අංශයේ ලකුණු 6798ක් රැස් කිරීමට සමත් විය.
පුහුණුකරුවෙකු ලෙස ලද සාර්ථකත්වය
තරග බිමෙන් සමු ගැනීමෙන් අනතුරුව කර්ස්ටන් වඩාත් ජනප්‍රිය වූයේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙසය.
මේ වන විට 58 හැවිරිදි වියේ පසුවන ඔහු 2008 - 2011 දක්වා කාලය තුළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ඉන්දීය කණ්ඩායමට 2011 ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට මග පෙන්වූ ප්‍රධාන පුහුණුකරු වූයේ කර්ස්ටන්ය.
එමෙන්ම, ඉන්දීය කණ්ඩායමට 2009 සිට 2011 දක්වා මාස 18කට අධික කාලයක් ටෙස්ට් කණ්ඩායම් ලෝක ශ්‍රේණිගතකිරීම්හි අංක 01 ස්ථානයේ රඳවා ගැනීමට හැකි වූයේද කර්ස්ටන්ගේ මග පෙන්වීම යටතේය.
අනතුරුව 2011 සිට 2013 වසර දක්වා දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කර්ස්ටන් කටයුතු කළේය.
එම කණ්ඩායමට ඔහුගේ ධුර කාලය තුළ ලෝක කුසලානයක් දිනා ගැනීමට නොහැකි වුවද, ටෙස්ට්, එක් දින සහ පන්දුවාර 20/20 යන ආකෘති සියල්ලේම ලොව අංක එකේ කණ්ඩායම බවට පත් වීමට දකුණු අප්‍රිකාවට හැකි විය.
අනතුරුව කර්ස්ටන්ගේ පුහුණුකරු භූමිකාව වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ලීග් ක්‍රිකට් තරගවලදීය.
2017 - 2018 තරග සමය තුළ ඔස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් (Australian Big Bash League) ක්‍රිකට් තරගාවලියේ හෝබාට් හරිකේන්ස් (Hobart Hurricanes) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු, 2018 - 2019 කාලයේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (Royal Challengers Bangalore) කණ්ඩායමේ පිතිකරු අංශය භාර පුහුණුකරු මෙන්ම ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය.
2022 -2024 කාලයේදී ගුජරාට් ටයිටන්ස් (Gujarat Titans) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කර්ස්ටන් කටයුතු කළේය.
2024 වසරේදී ඔහු පකිස්ථාන එක් දින සහ පන්දුවාර 20/20 කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස තම සේවය ලබා දුන්නේය.
2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නැමීබියාවේ උපදේශකයෙකු ලෙසද කර්ස්ටන් කටයුතු කළේය.
ඉන් අනතුරුව ඔහු ජාතික ක්‍රිකට් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙනි.
ලබන අප්‍රේල් 15වැනිදා සිට වසර 2ක කාලයක් වෙනුවෙන් ඔහු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
2027 වසරේදී දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් මෙම පත්වීම සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.