2026 අප්‍රේල් 01 සිට TIN සහතිකය අනිවාර්ය කිරීමට යෝජිත සේවා මොනවා ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

2017 අංක 4 දරන දේශීය ආදායම් පනතට හඳුන්වා දීමට යෝජිත සංශෝධන යටතේ සේවා කිහිපයක් ලබා ගැනීමේදී, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන පනතේ 103 වන වගන්තියට උපවගන්ති කිහිපයක් නව සංශෝධනය හරහා ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.

2017 අංක 4 දරන දේශීය ආදායම් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත පෙබරවාරි 24 වන දා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

TIN අංකයට සහතිකයක්

නව කෙටුම්පතට අනුව TIN අංකයක් ලබා ගත් සෑම තැනැත්තෙකු වෙත ම TIN සහතිකයක් නිකුත් කළ යුතු ය.

එමෙන් ම, 2026 අප්‍රේල් 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යයන් කිහිපයක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කළ යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.

'2026 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මකවන පරිදි, 102 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති තැනැත්තෙකු විසින් (පහත වගුවේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති එක් එක් කාර්යය සඳහා) TIN සහතිකයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය විය යුතු අතර, ඒ තැනැත්තා ඒ අවශ්‍යතාවට අනුකූලව කටයුතු කරන බවට වගබලා ගැනීම ඒ වගුවේ II වන තීරයේ අනුරූප සටහනේ නිශ්චිතව දක්වා ඇති අදාළ නිලධරියාගේ වගකීම විය යුතු ය."

TIN සහතිකය අවශ්‍ය කාර්යයන් මොනවා ද?

මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීමට TIN සහතිකය අනිවාර්ය කර ඇති අතර එහි වගකීම මූල්‍ය ආයතනයේ කළමනාකරු සතු වේ.

ගොඩනැගිලි සැලසුමක් සඳහා අනුමැතිය ලබා ගැනීමට ද TIN සහතිකය ඉදිරිපත් කළ යුතු අතර, පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා, බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරයා හෝ කොමසාරිස්වරයා එහි වගකිව යුතු නිලධාරියා ලෙස නම් කර තිබේ.

මෝටර් රථ ලියාපදිංචි කිරීමට ද TIN සහතිකය තිබිය යුතු අතර එය සොයා බැලීමේ වගකීම මෝටර් රථ කොමාසරිස් ජනරාල් සතු ය.

එමෙන් ම, මෝටර් රථ බලපත්‍රය අලුත් කිරීමට ද TIN සහතිකය අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති අතර පළාත් ආදායම් කොමසාරිස් හෝ ප්‍රාදේශීය ලේකම්වරයා එහි වගකිව යුතු නිලධාරීන් ය.

ඉඩමක් හෝ ඉඩම් හිමිකමක් ලියාපදිංචි කිරීමට ද TIN සහතිකය අවශ්‍ය වනු ඇති අතර එය ලබා ගැනීමේ වගකීම රෙජිස්ට්‍රාර් ජනරාල් සතු වේ.

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ද TIN සහතිකය ඉදිරිපත් කළ යුතු ය.

ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීමට ද TIN සහතිකය අනිවාර්ය කර ඇති අතර, සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයා ඊට වගකිව යුතු නිලධාරියා ලෙස නම් කර තිබේ.

ක්‍රෙඩිට් කාඩ් ලබා ගැනීමටත් නව පනත් කෙටුම්පත හරහා TIN සහතිකය අනිවාර්ය කර ඇත.

මාර්ගෝපදේශ නිකුත් කිරීමේ බලය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත

එමෙන් ම මෙහි දක්වා ඇති කාර්ය සඳහා TIN සහතිකය සත්‍යාපනය කිරීමේ විකල්ප ක්‍රමයක් සම්බන්ධව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සහ අදාළ වගකිව යුතු නිලධාරීන් එකඟතාවකට එළඹිය හැකි බව පනත් කෙටුම්පතේ දක්වා තිබේ.

තව ද, උපවගන්තියේ විධිවිධාන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කිරීමේ බලය ද පනත් කෙටුම්පත හරහා කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දී ඇත.

අදාළ විධිවිධාන, කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියාපදිංචිය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති තැනැත්තෙකුට හෝ වෙනත් යම් ලිඛිත නීතියක් ප්‍රකාරව TIN සහතිකය ලබා ගැනීම වළක්වා ඇති තැනැත්තෙකුට අදාළ නොවිය යුතු බවත් යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් වේ.