ප්‍රංශයේ විශාලතම ලිංගික අපරාධ නඩු විභාගය: තමන් මුහුණ දුන් 'ඇදහිය නොහැකි පාවා දීම' ගැන ජිසෙල් පෙලිකොට් බීබීසීයට පවසයි

    • Author, වික්ටෝරියා ඩාර්බිෂර්
    • Role, බීබීසී නිව්ස්නයිට්
    • Author, ලවුරා ගොට්සි
    • Role,
  • කියවීමේ කාලය: මිනිත්තු 13

ප්‍රංශයේ විශාලතම ලිංගික අපරාධ නඩු විභාගයට මුල්වූ කාන්තාව වන ජිසෙල් පෙලිකොට් බීබීසී නිව්ස්නයිට් වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඇගේ සැමියා වසර ගණනාවක් පුරා ඇයට අවස්ථා ගණනාවකදී මත්ද්‍රව්‍ය ලබා දී, ඇයව සිහිසුන් කර, පිරිමින් බොහෝ දෙනෙකුට ඇය දූෂණය කිරීමට ආරාධනා කළ බව දැනගත් විට තමා "අතිශය භීතියට පත් වූ" බව ය.

"මගේ අභ්‍යන්තරයේ මොකක් හෝ දෙයක් පුපුරා ගියා," 73 හැවිරිදි පෙලිකොට් තම සැමියාගේ අපරාධවල පරිමාණය වටහා ගත් මොහොත ගැන සිහි කරමින් පැවසුවා ය. "ඒක සුනාමියක් වගේ."

තම මතක සටහන් ඇතුළත ග්‍රන්ථයක් වන "A Hymn To Life" ප්‍රකාශයට පත් කිරීමට පෙර දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය තම අත්දැකීම් ගැන කතා කළා ය. තම දරුවන් තිදෙනාට ඔවුන්ගේ පියා ගැන තමා සොයාගත් දේ පැවසීමට සිදුවීම ඇගේ ජීවිතයේ දුෂ්කර ම මොහොත වන්නට ඇති බව ඇය පැවසුවා ය.

'නිරයට ඇද වැටීම'

සිය අනන්‍යතාව සඟවා ගෙන සිටීමට ඇති නීත්‍යනුකූල අයිතිය අත්හැරීමට ඇය තීරණය කළ මොහොත සහ එම තීරණය ගැන ඇය තුළ කිසි දා පසුතැවීමක් නොතිබුණු ආකාරය ඇය සිහිපත් කරයි. ඇය "මිස්ටර් පෙලිකොට්" ලෙස හඳුන්වන සහ දැන් වසර 20ක සිර දඬුවමක් විඳිමින් සිරගතව සිටින ඇගේ හිටපු සැමියාගෙන් ඇසීමට තවමත් පිළිතුරු නොලැබුණු ප්‍රශ්න ඇති බව ද ඇය පැවසුවා ය.

අනතුරු ඇඟවීමයි: මෙම ලිපියේ ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන පිළිබඳ තොරතුරු අඩංගු වේ

අලංකාර සිතුවම්වලින් හැඩවුණු සිවිලිමක් සහ ලීයෙන් තැනූ අලංකාර බිත්ති සහිත පැරීසිය මධ්‍යයේ පිහිටි පැරිස් නගර ශාලාව සිව් මසක් පුරා ප්‍රංශය දැඩි ලෙස කම්පනයට පත් කළ නඩු විභාගය සඳහා පෙලිකොට් පෙනී සිටි අඳුරු අධිකරණ ශාලාවලට වඩා බෙහෙවින් වෙනස් ය.

ඇය තම ජීවිතය "නිරයට ඇද වැටීම" ලෙස හඳුන්වන සිදුවීමේ ආරම්භය සනිටුහන් කළ මොහොත විස්තර කරන්නීය.

ඇය ඇගේ සැමියා වන ඩොමිනික් පෙලිකොට් සමග දකුණුදිග ප්‍රංශයේ පිහිටි මසාන්හි ඔවුන්ගේ නිවස අසල පොලිස් ස්ථානයකට ගොස් තිබිණි. සුපිරි වෙළෙඳසලක කාන්තාවන්ගේ සායවල්වලට යටින් රහසිගතව රූගත කිරීම සම්බන්ධයෙන් ඔහු කැඳවිණි.

එහිදී පොලිස් නිලධාරියෙකු පෙලිකොට් මහත්මිය පසෙකට ගෙන ගොස් ඇයගෙන් ප්‍රශ්න කරන්නට විය. ඇගේ සැමියා මොන ආකාරයේ පුද්ගලයෙක් ද? "ගොඩක් හොඳ කෙනෙක්," යැයි ඇය පිළිතුරු දුන්නා ය. ඔබ දෙපළ කවදා හෝ සහකරුවන් හුවමාරු කරගෙන ලිංගිකව හැසිරී තිබෙනවා ද? "නෑ, කිසිසේත් ම නෑ," යනුවෙන් ඇය විරෝධය පළ කළා ය.

"ඔහු මට කිව්වා 'මම ඔයා අකමැති දෙයක් පෙන්නන්න හදන්නේ,' කියලා. මට ඒක කියපු ගමන් තේරුණේ නෑ."

නිලධාරියා ඇයට ඇඳක් මත වැතිර සිටින අප්‍රාණික කාන්තාවකගේ ඡායාරූප දෙකක් පෙන්වීය. ඇය මත් වී සිටියදී ඇගේ සැමියා ගත් දහස් ගණනක් ඡායාරූප සහ වීඩියෝ අතර ඒවා තිබිණි.

"මට මාව අඳුරගන්න බැරි වුණා," ඇය පවසයි. "මේ කාන්තාව ඇඳේ වැතිරිලා හිටියේ මැරිලා වගේ. ඇයට එහා පැත්තෙන් පිරිමින් හිටියා. ඒ අය කවුද කියලා මට තේරුණේ නෑ. මම ඔවුන්ව දැනගෙන හිටියේ නෑ. මම ඔවුන්ව කවදාවත් හමුවෙලා නෑ."

ඇය මොහොතකට නතර වී ඇගේ රතු පැහැති ඇස් කණ්ණාඩි තරමක් නොසන්සුන් බවකින් යුතුව ස්පර්ශ කළා ය. ඇය තමාව ගිලගත් කම්පනය විස්තර කරන කරන මොහොතේ ඇගේ කටහඬේ ශබ්දය අඩු වූ නමුත් එය කිසි විටෙකත් දුර්වල නොවිණි.

පිරිමින් විශාල ගණනක් ඇය නැවත නැවතත් දූෂණය කර ඇති බව පොලිසිය පෙලිකොට් වෙත පැවසීය. ඇගේ සැමියා විසින් එය සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන දෘඪ තැටියක ලේබල් කර, පිළිවෙලට ගබඩා කර තිබුණ ද, එහි සිටි බොහෝ පිරිමින් හඳුනාගත නොහැකි විය.

මෙම පුවත ඇසීමෙන් පසු තනිව නොසිටින ලෙස පොලිසිය ඇයට උපදෙස් දුන්නේ ය. බියට පත් ඇය නිවස වෙත ගොස් මිතුරියකට දුරකතන ඇමතුමක් ගත්තා ය. "මම ඇයට කිව්වා, 'ඩොමිනික් මාව දූෂණය කරලා, දූෂණය කරන්න ඉඩ දීලා, ඒ නිසා එයා අත්අඩංගුවේ ඉන්නේ," කියලා. ඒ වෙලාවේ තමයි මම දූෂණය කියන වචනය පාවිච්චි කළේ. පැය පහක ප්‍රශ්න කිරීම්වලින් පස්සේ තමයි මට මිස්ටර් පෙලිකොට් කරපු අපරාධය පැහැදිලි කරගන්න පුළුවන් වුණේ."

'මගේ දුව කෑ ගහනවා මට ඇහුණා. ඒක හරි ම අමානුෂිකයි'

ඇයට තම වැඩිහිටි දරුවන් තිදෙනා වූ ඩේවිඩ්, කැරොලයින් සහ ෆ්ලෝරියන්ට ද ඔවුන්ගේ පියා කළ දේ පැවසීමට සිදු වූවා ය.

"මගේ දරුවන්ට ඒක දුෂ්කර වෙයි කියන එක මම හොඳට ම දැනගෙන හිටියා," පෙලිකොට් පවසයි. ඒ දුරකතන ඇමතුම් තුන ගැනීම ඇයට කිරීමට සිදු වූ දුෂ්කර ම දෙය බව ඇය දැන් විශ්වාස කරයි.

කැරොලයින්ගේ ප්‍රතිචාරය ඇගේ මතකයේ තිබේ: "මගේ දුව කෑ ගහනවා මට ඇහුණා. ඒක හරි ම අමානුෂිකයි, ඒ කෑගැහීම."

ඇගේ වැඩිමහල් දරුවා වන ඩේවිඩ් කම්පනයට පත් වූ ආකාරයත්, බාලයා වන ෆ්ලෝරියන් වහා ම ඇයට කෙසේදැයි විමසූ බවත් ඇයගේ මතකයේ තිබේ.

"මම තනිය ම ඉන්නේ කියලා එයාලට තේරුණා, මම මොකක් හරි මෝඩ වැඩක් කරන්න පුළුවන් කියලා. එයාලටත් ඒක පිපිරීමක් වගේ."

ඇගේ දරුවෝ පසුදා ම ඇය සමග සිටීමට මසාන් වෙත ගියහ. එතැන් සිට තිදෙනා ම තම පියාගේ පැවැත්ම මකා දැමීමේ උත්සහයක් ලෙස ගෘහ භාණ්ඩවල සිට ඡායාරූප ඇල්බම දක්වා පවුලේ දේපළ විනාශ කළ හෝ ඉවත දැමූ ආකාරය සිහිපත් කළහ.

ඔවුන්ගේ මව අසල සිටගෙන බලා සිටියා ය.

"මගේ ජීවිතය විනාශ වෙලා කියලා මම මට ම කියාගත්තා, මගේ දරුවන් ඇරෙන්න මට කිසි ම දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා."

ඩේවිඩ්ගේ උපත ලැබූ දා සිට, එනම් පෙලිකොට්ගේ වයස 20 ගණන්වල මුල් භාගයේදී, තම දරුවන්ට ඇගේ ජීවිතයේ මුල් තැන හිමි විය. මාතෘත්වය දුකෙන් පිරුණු ළමා කාලය අත්හැරීමට මාර්ගයක් බවට පත්විය.

"මට මගේ අම්මව ගොඩක් පොඩි කාලෙදී නැති වුණා, මගේ මල්ලිවයි තාත්තවයිත් නැති වුණා," ඇය සිහිපත් කරයි. "ඒ නිසා මට අහිමි වූ සියල්ල නැවත ගොඩනගා ගැනීමට අවශ්‍ය වුණා."

සම්මුඛ සාකච්ඡාවේදී, පෙලිකොට් ඇගේ ආදරණීය දෙමාපියන් ගැන කතා කරන අතර, ඔවුන්ගේ විවාහය ආදරය පිළිබඳ ඇගේ අවබෝධයට ගැඹුරින් බලපෑ ආකාරය පැහැදිලි කරයි.

ඇගේ මව පිළිකාවක් හේතුවෙන් මිය යන විට ඇයට වයස අවුරුදු නවයක් විය. මෙම වියෝව ඇගේ පියාට සහ පවුලේ අයට දැඩි ශෝකයක් ගෙන දුන් අතර, ඔවුන් කිසි විටෙකත් එයින් සම්පූර්ණයෙන් සුවය ලැබුවේ නැත. 19 හැවිරිදි, කඩවසම්, දුෂ්කර ළමා කාලයක් තිබූ ඩොමිනික් පෙලිකොට් හමුවීම ඇගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ ය. ඔවුහු 1973දී විවාහ වූහ.

"අපි ගොඩක් ආදරයෙන් හිටියේ, අපි ජීවිතේ පටන් ගත්තා, පවුලක් විදිහට, මොකද ඒක තමයි මගේ ප්‍රධාන ඉලක්කය වුණේ," ඇය ස්ථාවර හඬකින් සිහිපත් කරයි.

සිතාගත නොහැකි පාවා දීම

2011 වන විට, පෙලිකොට් මතකය නැති වීමෙන් පීඩා විඳීමට පටන් ගත්තා ය. ඇය මෙය ස්නායු ආබාධ නිසා ඇති වූවක් ලෙස සැලකූ නමුත්, ඇය නිරන්තර ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවලින් ද පීඩා වින්දා ය. පසුව ඔප්පු වූයේ මේවා ඇයට මත් වීමට ලබා දුන් ඖෂධ සහ සතියකට කිහිප වතාවක් ඇය දූෂණය කිරීමට පැමිණි ආගන්තුකයින් නිසා ඇති වූ බව යි.

ඇය වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් ම උපදෙස් ලබා ගත්තා ය. පරීක්ෂණ සිදු කළ සෑම අවස්ථාවකදී ම ඇගේ සැමියා ඇය අසල සිටියේ ය. රාත්‍රී කාලයේ සිදු කළ හිංසනවලින් පසු ඔහු සෑම උදෑසනක ම එහි සිටියේ ය.

"මගේ ජීවිතේ බෙදාගත්ත මේ මිනිහට මේ වගේ භයානක දේවල් කරන්න පුළුවන් කියලා හිතාගන්නවත් බැරි වුණා," පෙලිකොට් පවසයි. "මම නැගිටලා උදේ ආහාරය ගත්තා, එයා මගේ ඇස් දිහා බලාගෙන හිටියා. අවුරුදු ගාණක් තිස්සේ එයා මාව පාවා දුන්නේ කොහොම ද කියලා මම දන්නේ නැහැ."

පසුව, ඇගේ සැමියා ඇයට මෙම ඖෂධ සමග මාංශ පේශි ලිහිල් කරන යමක් ලබා දී ඇති බව ඇය සොයා ගත්තා ය. ඒවා ලබා දී තිබුණේ පසුදින ඇයට වේදනාවක් දැනීම වැළැක්වීමට ය.

අපයෝජනයට ලක් වූ ඇගේ ශරීරය අතිශය මරණයට පත් වීමට තරම් දුර්වලව පැවති බව ඇය දැන් විශ්වාස කරයි.

"ඔහුට කිසි ම අනුකම්පාවක් තිබුණේ නෑ කියලා දැන ගත්තා ම ඒක මට ලොකු වේදනාවක් වුණා," ඇය පවසයි.

මෙම හෙළිදරව්ව සමස්ත පවුලට ම දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පෙලිකොට් පවසයි.

"මේ වගේ ඛේදවාචකයක් පවුලක් එකට එකතු කරනවා කියලා හිතන එක වැරදියි. අපිව නැවත ගොඩනගා ගැනීමට අපට බොහෝ කාලයක් ගත වුණා."

කැරොලයින් ඇගේ පියාගේ ලැප්ටොප් පරිගණකයේ, තමා යට ඇඳුම් ඇඳගෙන නිදා සිටින ඡායාරූප දැකීමෙන් පසු, "දැඩි මානසික පීඩනයකින්" පසුවන බව ඇය පවසයි.

"එයා තමන්ගේ ම දුව දිහා නරක විදිහට බලපු විදිහ, මට කිසිසේත් ම දරාගන්න බැරි වුණා."

පෙලිකොට්ගේ හිටපු සැමියා එම ඡායාරූප සඳහා පරස්පර විරෝධී පැහැදිලි කිරීම් පවසා තිබේ. කැරොලයින්ට ද ඇයට මත්ද්‍රව්‍ය ලබා දී ඇය දූෂණය කළ බවට ඒත්තු ගැන්වී ඇති නමුත් අමතර සාක්ෂි නොමැතිකම නිසා ඔහුට ඒ පිළිබඳව මෙතෙක් නඩු පවරා නොමැත.

නඩු විභාගය අතරතුර මව සහ දියණිය අතර සබඳතාව පළුදු වූ අතර, කැරොලයින් පැවසුවේ තමා "අමතක වූ ගොදුරක්" ලෙස හැඟුණු බව යි. නඩුවට පෙර සහ පසු විවිධ කාලවලදී, පෙලිකොට්ට තම දරුවන් සමග සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකි විය.

"ඒකට යම් කාලයක් ගත වුණා. මොකද කැරොලයින් වෛරයෙන් හා කෝපයෙන් පිරිලා හිටපු නිසා. එහෙම හැඟීමක් මට නැහැ," පෙලිකොට් පවසයි. "මට වෛරයක්වත් කෝපයක්වත් නැහැ. මිස්ටර් පෙලිකට් මට ද්‍රෝහිකමක් කළා කියන එක වගේ ම කෝපයක් ඇති වූ බවක් දැනුණා, ඒත් ඒ මගේ හැටි."

ඇය සහ ඇගේ දියණිය දැන් තම සම්බන්ධතාව යළි ගොඩනගා ගනිමින් සිටින බව පෙලිකොට් පවසයි.

"අපි දෙන්නට ම අපේ ම මාර්ගය සොයා ගැනීමට කාලය අවශ්‍ය වුණා. අද අපි දෙදෙනා ම එකිනෙකා සමග සාමයෙන් ජීවත් වීමට උත්සහ කරනවා සහ සුවය ලැබීම සඳහා අපි නිවැරදි මාර්ගයේ ගමන් කරනවා කියලා මම හිතනවා."

තවදුරටත් හෙළි වූ තොරතුරු

හෙළිදරව් වීම්වලින් පසු තවත් හෙළිදරව් වීම් සිදුවිය. 2022 වසරේදී, තරුණියක දූෂණය කිරීමට තැත් කළ බවට ඇගේ සැමියා පිළිගත් බව පොලිසිය පෙලිකොට් වෙත දැනුම් දුන්නේ ය. 1991දී පැරිසියේදී 23 හැවිරිදි වතු නියෝජිතයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු අතර, ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

ඇගේ සැමියා මිනීමරුවෙකු මෙන් ම දාම ලිංගික අපරාධකරුවෙකු ද විය හැකි බවට ඇති අදහස පෙලිකොට්ට දරාගත නොහැකි තරම් ය.

"මේ දරුණු අපරාධයේ අපරාධකරු ඔහු නොවේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එසේ නොවුවහොත් මටත් ඔහුගේ දරුවන්ටත් නැවත වරක් අපායට බහින්න වෙනවා."

විමර්ශනය සිදුවෙමින් පවතින අතරතුර, ඇය ප්‍රංශයේ අත්ලාන්තික් වෙරළට ඔබ්බෙන් වූ නිහඬ පරිසරයක් ඇති කුඩා දූපතක් වන 'ඉල් ද රේ' වෙත පදිංචියට ගියා ය. "මට ඇත්තට ම අවශ්‍ය වුණේ හැංගිලා ඉන්න," ඇය පවසයි. "මම කවුද කියලා කවුරුත් දැනගන්නවාට මම කොහෙත් ම කැමති වුණේ නැහැ."

ප්‍රංශයේ ලිංගික අපරාධවලට ලක්වන වින්දිතයින්ට හිමිවන පරිදි, පෙලිකොට් හට පූර්ණ නිර්නාමිකභාවයකින් සහ මාධ්‍ය ආවරණයකින් තොරව නඩු විභාගයට පෙනී සිටීමට හිමිකම් තිබිණි. විවෘත නඩු විභාගයක් සඳහා තම දියණියගේ යෝජනා ඇය ප්‍රතික්ෂේප කළේ, එය ඇයව දරුණු අපරාධයක ගොදුරක් ලෙස ස්ථිරව ම අර්ථ දක්වනු ඇතැයි යන බියෙනි.

නඩු විභාගය ආරම්භ වීමට මාස හතරකට පෙර වෙරළේ ඇවිදිමින් සිටියදී, ඇය තුළ තිබූ යමක් වෙනස් විය.

සංවෘත නඩු විභාගයකදී විත්තිකාර පිරිමින්ට ද නිර්නාමිකව සිටීමට ඉඩ සැලසෙන බව ඇය තේරුම් ගත්තා ය. එපමණක් නොව, එයින් අදහස් වන්නේ ඇය, ඇගේ කුඩා නීති කණ්ඩායම සහ ඇගේ දරුවන් පමණක් එක් පැත්තක සිටින විට, පිරිමින් 51 දෙනෙකු සහ නීතිඥයින් 40 දෙනෙකු තවත් පැත්තකින් ඇය අභිබවා යනු ඇති බවයි.

'මට මේක කරන්න පුළුවන් නම්, සියලු ම වින්දිතයින්ටත් මේක කරන්න පුළුවන්'

"අවුරුදු හතරකට වැඩි කාලයක් මම මේ ලැජ්ජාව දරාගත්තා," පෙලිකොට් පවසයි. "ඒ වගේ ම, මට දැනුණේ ඒක හරියට වින්දිතයින්ට දෙගුණයකින් දඬුවම් කරනවා වගේ, ඒ වගේ ම අපි අපි මත ම පටවාගත් දුක් වේදනා වගේ කියලා."

නඩු විභාගය මහජනතාවට සහ මාධ්‍යයට විවෘත කිරීමට ඇයට සැබවින් ම අවශ්‍ය දැයි තීරණය කිරීමට ඇගේ නීතිඥවරු ඇයට සතියක කාලයක් ලබා දුන්හ. ඇයට අවශ්‍ය වූයේ එක් රාත්‍රියක් පමණි. "පහුවෙනිදා උදේ වෙද්දී, මම දැනගෙන හිටියා," ඇය පවසයි.

එය අසාමාන්‍ය තේරීමක් විය.

"මගේ තීරණය ගැන මම කවදාවත් පසුතැවුණේ නැහැ, එක පාරක්වත් නෑ," ඇය පවසයි. "එහෙම කරන්න එඩිතර නොවන සියලු ම වින්දිතයින්ට ඒක පණිවිඩයක් වුණා... මා තුළ සොයාගත් ශක්තියෙන් යම් ප්‍රමාණයක් ඔවුන්ට එයින් දෙන්න පුළුවන්."

"මොකද කියනවා නම්," ඇය පැකිලීමකින් තොරව පවසයි. "අප තුළ අපට සැක කළ නොහැකි සම්පත් තිබෙනවා. මට මේක කරන්න පුළුවන් වුණා නම්, සියලු ම වින්දිතයින්ටත් ඒක කරන්න පුළුවන්. මට ඒක ඒත්තු ගොස් තිබෙනවා."

2024දී, පෙලිකොට් නඩු විභාගය එක වරම ම පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර ප්‍රංශයේ සහ ජාත්‍යන්තරව දැවැන්ත මහජන අවධානයක් දිනා ගත්තේ ය.

ඇය බොහෝ විට "අශික්ෂිත" ලෙස හඳුන්වන ඇය අත්විඳින ලද දරුණු අපයෝජනයෙන්, ආලෝකය සහ ශක්තිය පිටතට ගෙන ඒමට ඇයට ඇති හැකියාව, ඇගේ විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරයි.

සෑම දිනක ම ඇය ඇවනියොන් අධිකරණ ශාලාව තුළට යන විට හිස කෙලින් තබාගෙන ගමන් කළා ය. කාන්තාවන් පිරිසක් තම සහයෝගය පෙන්වීමට පිටත රැස්ව සිටි අතර, ඇය හිස යන්තමින් නමා හදවත මත අත තබා ඔවුන්ට ආචාර කළා ය.

කැමරා දුසිම් ගණනකින් වට වී සිටි පෙලිකොට් පවසන්නේ ඒවා ඇයට "ඇදහිය නොහැකි ශක්තියක්" ලබා දුන් බව යි.

"මට, උසාවිය ඇතුළේ සිද්ධ වුණු දේවල්වලදී එයාලා මාව සන්සුන් කළා," ඇය පවසයි. "මට තනිය ම ඒක කරන්න අමාරු වෙන්න තිබුණා කියලා මම හිතනවා."

එක්සත් රාජධානියේ සිට කැමිලා රජ බිසව පවා පෞද්ගලික ලිපියක් මගින් තම ප්‍රශංසාව ප්‍රකාශ කළ අතර එය ඇයව පුදුමයට පත් කළේ ය. "මට සංවේගයක් සහ ගෞරවයක් දැනුණා... මම ඇයට කෘතඥ වෙනවා," ඇය පවසයි.

සම්මුඛ සාකච්ඡාව පුරා ම පෙලිකොට් සන්සුන්ව හා විශ්වාසයෙන් සිටී. ඉන්පසුව, නිව්ස්නයිට් විසින් රූගත කරන ලද ප්‍රංශ කාන්තාවන්ගේ වීඩියෝ ඇයට පෙන්වූ අතර, විවෘත නඩු විභාගයක් පැවැත්වීමට ඇය තෝරා ගැනීම ගැන ඇයට ඔවුහු ස්තුති කරති.

"මේ තරම් නිර්භීත වීම ගැන ඔබට ස්තූතියි," එක් කාන්තාවක් පවසයි.

"අපි ඔබට සහය දීමට මෙහි සිටිනවා! ජීවිතය ලස්සනයි මැඩම්!" තවත් අයෙක් පවසයි.

එකින් එක සිනාමුසු මුහුණක් මතුවෙද්දී, පෙලිකොට් පළමු වතාවට කඳුළක් පිස දමයි.

"මේ නඩු විභාගය අතරතුර මට මුණගැසුණු මුහුණු නිසා එය මට බෙහෙවින් සංවේදීයි," ඇය පවසයි. "මම ඔවුන් පෝස්ටර් අලවනවා දැක්කා, මම ඔවුන්ගේ කොලාජ් දැක්කා, මම බැනර් දැක්කා."

"ඒවා ඇත්තට ම සුවිශේෂීයි," ඇය සිනාසුණා ය.

උසාවියේදී, පෙලිකොට් සහ ඇගේ පවුලේ සාමාජිකයින් මාස හතරකට ආසන්න කාලයක් පුරා විත්තිකරුවන්ගෙන් සහ ඔවුන්ගේ නීතිඥයින්ගෙන් ලැබුණු සැඟවුණු ඉඟි සහ විවෘත චෝදනාවලට මුහුණ දුන්හ. "ඔබ උසාවියකදී නිරය හරහා යනවා. ඔයා ඇත්තට ම නින්දාවට පත් වෙලා," ඇය පවසනවා.

ඒ අවස්ථාවේදී, මෙය ඇයට "බියගුලුකමේ නඩු විභාගය" ලෙස ලේබල් කිරීමට හේතු විය. දැන් ද, ඇය එම අවස්ථා සිහිපත් කරන විට ඇගේ හඬ තරමක් උස් වෙයි.

"ඔවුන් කළ දේ වගකීම භාර ගන්න ඔවුන්ට ඕනේ වුණේ නැහැ," ඇගේ සැමියා ඇයට අතවර කිරීමට ඉඩ දුන් පිරිමින් 50 දෙනා ගැන පවසයි. ඔවුන් සුළු අපරාධයක් කළාක් මෙන් ක්‍රියා කළ බවත්, ඇයට කැමැත්ත ලබා දිය නොහැකි බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ඇයට හැඟෙයි.

"එතකොට, සත්‍යය සනාථ කරන වීඩියෝව පෙන්වනවා," ඇය පවසයි. "ඒ මිනිහා මට ලිංගික අපරාධයක් කරනවා අපිට පේනවා. ආයෙත් ඒ ප්‍රශ්න අහනවා, එයා උත්තර දෙනවා, 'නැහැ, මම ඇයව දූෂණය කළේ නැහැ, මට ඇයව දූෂණය කිරීමේ කිසිම අදහසක් තිබුණේ නැහැ' කියලා."

"ඉතින් අපි එතනින් කොහාට ද යන්න ඕන?" ඇය කුපිතව ශබ්ද නගා විමසයි.

"මම හිතන්නේ ඔවුන් ගැන ගත්තා ම, මිස්ටර් පෙලිකොට් එතන හිටපු නිසා සහ එයාගේ කැමැත්ත ලබා දීපු නිසා ඔවුන් මාව දූෂණය කළේ නැහැ. ඒ නිසා, ඔවුන් ඒක දූෂණයක් විදිහට සැලකුවේ නැහැ," ඇය නිගමනය කරයි.

නඩුව විභාග කළ විනිසුරුවරුන් හත් දෙනා විසින් එම තර්කය ප්‍රතික්ෂේප කරන ලදී. සියලු ම විත්තිකරුවන් වැරදිකරුවන් බව ඔප්පු විය. ඇගේ හිටපු සැමියාට (ඔහුගේ නඩු විභාගයට ටික කලකට පෙර ඔවුන්ගේ දික්කසාද සිදුවිය) උපරිම වසර 20ක සිර දඬුවමක් නියම කරන ලදී. අනෙක් පිරිමින් 50 දෙනාට වසර පහේ සිට 15 දක්වා සිර දඬුවම් නියම වූහ.

ඇගේ ජීවිතය නැවත ගොඩගැනීම

පෙලිකොට් කතා කරන විට, ජීන්-ලූප් නැමති කණ්නාඩි පැළඳ සිටින උස වැන්දඹු පුරුෂයෙක් නිහඬව බලා සිටියේ ය. ඇයට ඔහු මුණගැසුණේ 2023දී ඉල් ද රේහිදී ය. "අපිට මේ වගේ වාසනාවක් ලැබුණා," ඇය කටහඬ මෘදු වූ බවක් දැනෙයි. "අපි දෙන්න ම තරුණ අය වගේ ආදරයෙන් බැඳුණා, අපි දෙන්න ම ඒක බලාපොරොත්තු වුණේ නැහැ."

එතැන් සිට ඔවුන් යුවළක් ලෙස දිවි ගෙවා ඇත. "ජීවිතය මගේ මාර්ගයට ගෙන ආවේ මා හා සමාන වටිනාකම් සහ ප්‍රතිපත්ති බෙදා ගන්නා, ජීවිතයේ බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන් මිනිසෙක්."

"ඉතින් ඔයාට පේනවනේ," හිස එක් පැත්තකට ඇල කරමින් ඇය දිගට ම කතා කරයි. "ජීවිතය සැමවිට ම සුන්දර පුදුමයන් ගෙන එනවා. ඒක අපගේ ජීවිතවලට බොහෝ වර්ණ ගෙනැවිත් තියෙනවා."

"මියගිය" පෙනුමක් ඇති කාන්තාවකගේ ඡායාරූප පෙලිකොට් හට පෙන්වා දැන් වසර හයකට ආසන්න කාලයක් ගත වී ඇත. ඇගේ හිටපු සැමියා වසර ගණනාවක් තිස්සේ ඇයව අපයෝජනයට ලක් කළේ මන්ද යන ප්‍රශ්නය තවමත් පවතී. ඩොමිනික් පෙලිකොට් අධිකරණයේදී පිළිගත්තේ තමාට "නොබිඳිය හැකි කාන්තාවක් යටත් කර ගැනීමට" අවශ්‍ය වූ බව ය.

"එයා මාව හුවමාරු කරගන්න කැමැත්තක් තියෙන්න ඇති. මම ලැජ්ජා බය තියෙන නිසා හැම විට ම මම ඒක ප්‍රතික්ෂේප කළා," ඇය පවසයි. "මම හිතන්නේ ඒ නිසා එයා මාව යටත් කර ගන්න ක්‍රමයක් හොයාගත්තා."

නමුත් ඔහු කළ දේ කිරීමට ඔහු පෙළඹුණේ කෙසේ ද යන්න වෙනස් ප්‍රශ්නයකි. "මගේ ජීවිත කාලය පුරා ම මට මේක මගෙන් ම අහන්න පුළුවන්," ඇය පවසයි.

තම දියණිය වන කැරොලයින්ට ඔහු කුමක් කරන්නට ඇතිදැයි සහ ඔහු සම්බන්ධ ඝාතන නඩුව පිළිබඳව විමසීමට සිරගෙදරදී ඔහුව හමුවීමට අදහස් කරන බව පෙලිකොට් පවසයි.

"පිළිතුරු දැනගන්න මට එයාව මුණගැහෙන්න ම ඕන. මට පුළුවන් වෙයි ද දන්නේ නැහැ, ඒත් මට එයාගෙ ඇස් දිහා කෙලින් ම බලන්න ම ඕන."

මේ අතර, ඇගේ ජීවිතය නැවත ගොඩනැගීම අඛණ්ඩව සිදුවේ," ඇය පවසයි. "මම සුවපත් වෙමින් ඉන්නේ," ඇය පවසයි.

ඇය තම හිටපු සැමියා සමග ගත කළ ජීවිතයෙන් සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කිරීමට කැමති නැත.

"ජීවත් වෙන්න, මිස්ටර් පෙලිකොට් එක්ක මම ගත කළ වසර 50 බොරුවක් නොවන බව මට හිතන්න සිදු වුණා. මොකද එහෙම නොවුණොත්, මම මැරිලා වගේ පේන්නේ. හරියට මම තවදුරටත් නෑ වගේ."

උසාවියේ පෙනී සිටි දුර්ලභ අවස්ථාවන්හිදී, පෙලිකොට් ඇගේ පෙර සැමියාට පැවසුවේ ඔහුගේ පාවාදීම "මැනිය නොහැකි" බව යි.

"මම ඔබව ආලෝකය දෙසට ගෙන යාමට සැමවිට ම උත්සහ කළා, නමුත් ඔබ තෝරා ගත්තේ මිනිස් ආත්මයේ අඳුරු පැත්ත," ඇය පැවසුවා ය.

එය දැන් දෝංකාර දෙන හැඟීමකි. ඇය පවසන්නේ, ජීවිතයේදී, "ඔබ සැමවිට ම තෝරා ගත යුතුයි, යා යුතු මාර්ගය මොකක් ද කියලා තීරණය කරන්න. හරි එක සහ වැරදි එක කියලා දෙයක් තියෙනවා."

"මම නම්... මම සැමවිට ම හොඳ ම දේ කරා ගමන් කිරීමට තෝරාගෙන තියෙනවා," ඇය ඇගේ සන්සුන් හඬින් සංවාදය අවසන් කරයි.