ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා රජය ඉරාන නැවියන් භාරයට ගත්තේ ඇයි? සටනට සම්බන්ධ පාර්ශවවලින් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති වෙයි ද? නීතිමය ප්‍රශ්න 4කට පිළිතුරු
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
පසුගිය දා "ප්‍රහාරයකට" ලක්ව විනාශ වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව මෙන් ම, ඉන් පසුව භාරයට ගත් IRIS Bushehr නෞකාවේ සිටි ඉරාන ජාතිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කළේ කුමන නෛතික පදනමකින් ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.
ඉකුත් දා ඉන්දියාවේ පැවති සමුළුවකදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය අනුව මෙම ඉරාන ජාතිකයින් සම්බන්ධයෙන් කටයුතු කළ බව ය.
නමුත් ඔවුන් ශ්‍රී ලංකා භූමිය වෙත දැනටමත් ප්‍රවේශ වී ඇති පසුබිමක, මෙම සම්මුතිය මත පිහිටා තවදුරටත් කටයුතු කළ හැකි ද යන්න පිළිබඳව ඇතැමෙක් ප්‍රශ්න කරති.
එමෙන් ම, මෙම ඉරාන ජාතිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉදිරියේදී කුමන ආකාරයකින් කටයුතු කරනු ඇතැයි ද යන්න කෙරෙහි දෙස් විදෙස් පාර්ශවවල අවධානය යොමුව තිබේ.
ගාල්ල වාරයේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරකදී IRIS Dena නෞකාව අනතුරට ලක්ව තිබුණු බව ශ්‍රී ලංකා නාවික හමුදාව මුලදී ප්‍රකාශ කළ ද පසුව ජනාධිපති අනුර කුමාර ඉකුත් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, ගාලු වරායේ සිට නාවික සැතපුම් 19ක පමණ දුරකදී මෙම නෞකාව "ප්‍රහාරයකට" ලක්ව තිබුණු බව ත් එම ප්‍රදේශයේ සිට ආපදා අනතුරු සංඥාවක් නිකුත් වී තිබුණු බවත් ය.
එම තොරතුර මත පදනම්ව බීබීසී සිංහල කළ සොයා බැලීමකදී තහවුරු වූයේ, අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ රාශ්ට්‍රීය මුහුදු කලාපයට ආසන්න යාබද මුහුදු කලාපයේදී මෙම සිදුවීමට මුහුණ පා ඇති බව ය.
මේ, ශ්‍රී ලංකාව භාරයේ සිටින ඉරාන ජාතිකයින් පිළිබඳව ඔබට ඇති නෛතික ප්‍රශ්න 4ක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ සමග බීබීසී සිංහල කළ සංවාදයකි.
1. ඉරාන නාවිකයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ පසු ශ්‍රී ලංකාව අනුගමනය කළ නීතිය කුමක් ද?
අන්තර්ජාතික නීතිය මූලිකව ගොඩ නැගී ඇත්තේ, 'ගිවිසගත් බැඳීම් සද්භාවී ලෙස එනයින් ම ඉටු කළ යුතුයි' (Agreements must be fulfilled in good-faith) යන මූලධර්මය මතයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ රාශ්ට්‍රීය මුහුදු සීමාව ආසන්නයේදී නැව්බත් වූ ඉරාන නාවික හමුදා යාත්‍රාවේ සිටි නාවිකයන් මුදා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ රාශ්ට්‍රීය මුහුදු සීමාවට ඇතුළු වූ ඉරාන නාවික හමුදාවට අයත් දෙවැනි යාත්‍රාව හා එහි සිටි නාවිකයන් තම භාරයට ගැනීමත් ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලැබුවේ, ශ්‍රී ලංකාව ද පාර්ශවකාරී වන අන්තර්ජාතික සාගර නීතිය හා අන්තර්ජාතික මානුෂවාදී නීතියට අදාළ සම්මුති වෙත එකඟවයි.
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික සාගර නීතියේ මූලික සම්මුතිය වන 1982 එක්සත් ජාතින්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) පාර්ශවකාරී රාජ්‍යයක්. ඒ අනුව සම්මුතියේ 98(2) ව්‍යවස්ථාව අනුව අදාළ මුහුදු සීමාව තුළ ගලවාගැනීමේ මෙහෙයුම් සිදුකිරීමේ වගකීම ශ්‍රී ලංකාව සතුවේ.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන ව්‍යුහයක් වන අන්තර්ජාතික නාවික සංවිධානයේ (International Maritime Organization) සාමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව 1979 සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (SAR) පාර්ශවකාරී වනවා. ඒ සම්මුතිය යටතේත්, ශ්‍රී ලංකාව අදාළ මුදා මෙහෙයුම් සිදුකිරීමට වගකීමක් දරයි
"මේ කියන අන්තර්ජාතික සම්මුතිමය එකඟතා මත තමයි ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය තුළ නැව්බත් වූ ඉරාන නාවික හමුදා යාත්‍රවේ සිටි නාවිකයන් මුදදා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ." නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ පැහැදිලි කළේය.
"දෙවැනි යාත්‍රාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කළේ, අන්තර්ජාතික මානුෂවාදී නීතිය යටතේ පවතින සම්මුතිමය එකඟතා. අන්තර්ජාතික මානුෂවාදී නීතිය කියන්නේ යුද්ධ තත්ත්වයන් තුළ මානුෂියත්වය සුරක්ෂිත කිරීමට අරමුණුකරගත් නීති තන්ත්‍රය. මෙම නීතිය අන්තර්ජාතික යුද්ධ නීතිය යනුවෙන් හැඳින්වූවත් වරදක් නෑ.
අන්තර්ජතික මානුෂවාදී නීතිය යටතේ, 1949 දෙවන ජිනීවා සම්මුතිය තුළ සාකච්ඡා කරන්නේ සමුද්‍රීය යුද්ධයකදී අනුගමනය කළ යුතු රීතීන් මොනවා ද යන්න පිළිබඳවයි. මෙම සම්මුතියේ 5 වන ව්‍යවස්ථාව අනුව සමුද්‍රිය සංග්‍රාමයකදී නිශ්ක්‍රිය රාජ්‍යයක් වෙත පවතින වගකීම් මොනවා ද යන්න පැහැදිලි කර තිබෙනවා.
ඒ වගේ ම, ශ්‍රී ලංකාව භාරයට ගත් නාවික පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය 1949 තෙවන ජිනීවා සම්මුතියේ විෂය පථය යටතේ පාලනය වෙනවා. මෙම සම්මුතියේ 4(ආ)2 ව්‍යවස්ථාව යටතේ, නිශ්ක්‍රිය හෝ සටන්කාමී නොවන රාජ්‍යයක් විසින් භාරගනු ලබන තවදුරටත් සටන්වැදිය නොහැකි වූ (out-of-combat) තැනැත්තන් අන්තර්ජාතික නීතිය යටතේ රඳවා තබා (intern) ගැනීම සිදු කළ යුතුයි."
2. ඔවුන් ශ්‍රී ලංකා රජය භාරයට පත් වූ පසු බලාත්මක නීතිය කුමක් ද?
"ශ්‍රී ලංකා රජය භාරයට පත් වූ රැඳවියන් තාක්ෂණික වශයෙන් "යුද්ධ සිරකරුවන්" (PoWs) ලෙස වර්ගීකරණය නොකළත්, තෙවන ජිනීවා සම්මුතිය යටතේ ඔවුන් යුද්ධ සිරකරුවන්ට හිමිවන අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලැබීමට සුදුසුකම් ලබනවා.
තෙවන ජිනීවා සම්මුතියේ 118 වන ව්‍යවස්ථාව අනුව, මෙම තැනැත්තන් නැවත සන්නද්ධ ගැටුමට අවතීර්ණ වීම වැළැක්වීමේ වගකීමක් නිශ්ක්‍රිය රාජ්‍යය සතු යි; ඒ අනුව සක්‍රිය සන්නද්ධ කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් වන තෙක් ඔවුන් නිදහස් කරන ලෙස කිසිදු පාර්ශවයකට නීත්‍යනුකූලව ඉල්ලා සිටීමට ද නොහැකි යි."
3. මෙම ඉරාන නැවියන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට යම් බලපෑමක් සිදුවනවා නම්, රජයට ගත හැකි පියවර මොනවා ද?
"පෙර සඳහන් කළ අකාරයට මෙම රැඳවුම් භාරයේ පසුවන රැඳවියන් පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කිරීමට සටනට පාර්ශවකාරී වන කිසිදු පාර්ශවයකට නීත්‍යනුකූල හැකියාවක් නෑ. දැන් මෙම රැඳවියන්ගේ සම්පූර්ණ භාරකරත්වය පවතින්නේ නිශ්ක්‍රිය රාජ්‍ය පාර්ශවය වන ශ්‍රී ලංකාව සතුවයි. ඒ වගේ ම ඔවුන් නැවත මුදා හැරීම සිදු කළ යුතු වන්නේ සක්‍රිය යුද්ධ ගැටුම් අවසන් වූ පසුවයි. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට තර්ජනයක් වන ලෙස කිසියම් රාජ්‍යයක් විසින් මෙම රැඳවියන් සම්බන්ධයෙන් බලපෑමක් සිදු කළ හොත් ඒ පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානය දැනුවත් කිරීමටත්, අවසාන වශයෙන් අන්තර්ජාතික යුක්ති අධිකරණය වෙත පැමිණිලි කිරීමටත් ශ්‍රී ලංකාවට හැකියාව පවතිනවා. නමුත්, මෙම අවස්ථාව තුළ එවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවන ආකාරයක් අපට නිරීක්ෂණය වන්නේ නෑ."
4. ඉරාන නාවිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ඉදිරියේදී සිදු කළ හැක්කේ කුමක් ද?
"මේ පිළිබඳව අදාළ වන්නේත් පෙර සඳහන් කළ ආකරයටම අන්තර්ජාතික මානුෂවාදී නීතියේ නිර්ණායකයන්. තුන්වන ජිනීවා සම්මුතිය අනුව මෙම නාවික පිරිස නැවත ඉරානය වෙත භාර දිය යුතු වන්නේ සක්‍රිය යුධ ගැටුම් අවසන් වූ පසුයි. මන්දයත්, සටන්කාමී හමුදාවක සාමාජිකයන් ලෙස ඔවුන් නැවතත් සටන් චක්‍රය වෙත එක්වීම වැළැක්වීමේ වගකීම නිශ්ක්‍රිය රාජ්‍යය සතු නිසා." කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ වැඩිදුරටත් පැහැදිලි කළේය.