ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාප මොනවා ද? ඉරාන නෞකාව 'ප්‍රහාරයට' ලක් වූයේ කොතැන ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකාව වටා පිහිටි මුහුදු කලාප පිළිබඳව මෙන් ම ඒවායේ සීමා පිළිබඳව මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

ඒ, මැදපෙරදිග කලාපයේ නිර්මාණය වී ඇති යුද්ධමය තත්ත්වයත් ශ්‍රී ලංකාවේ ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක් දුරින් ඉරානයට අයත් නෞකාවක් "ප්‍රහාරයකට" ලක්වීමත් සහ කොළඹ වරායට නුදුරින් ඉරානයට අයත් තවත් නෞකාවක් ඇති බවට ප්‍රකාශයට පත් වීමත් සමග ය.

ඒ අනුව, බීබීසී සිංහල ශ්‍රී ලංකාවේ මුහුදු කලාප, ඒවායේ සීමා සහ ඒවා තුළ සිදු කළ හැකි කාර්යයන් පිළිබඳව විමසා බැලීමක් කළේ ය.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාප

එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) අනුව, ලෝකයේ සෑම වෙරළබඩ රාජ්‍යයකට ම අයත් මුහුදු කලාපවල සීමා නිර්ණය කර තිබේ.

එයට අනුව, ශ්‍රී ලංකාව ද පිළිවෙලින් රාෂ්ට්‍රීය මුහුදු කලාපය (Territorial Sea), යාබද මුහුදු කලාපය (Contiguous Zone) සහ අනන්‍ය ආර්ථික කලාපය (Exclusive Economic Zone) නමැති කලාප 3කට හිමිකම් කියයි.

රටකට අයත් මුහුදු සීමාව නිර්ණය කරන මෙම අන්තර් ජාතික නීතිය 1994 නොවැම්බර් 16 වන දා සිට ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව එම ගිවිසුමට අත්සන් කර ඇත්තේ, 1982 දෙසැම්බර් 10 වන දින ය.

1. රාෂ්ට්‍රීය මුහුදු කලාපය (Territorial Sea)

වෙරළබද රාජ්‍යයක වෙරළ සීමාවේ සිට නාවික සැතපුම් 12ක්, එනම් කිලෝමීටර් 22.2ක් දක්වා ඇති මුහුදු ප්‍රදේශය රාෂ්ට්‍රීය මුහුදු කලාපය ලෙස හැඳින් වේ.

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අනුව, තම භූමි ප්‍රදේශය පාලනය කරන ආකාරයට ම, එම කලාපයේ ඇති මුහුදු පතුල සහ යටි පස, ඊට ඉහළින් පිහිටි ගුවන් කලාපය සහ සාගරයේ ඇති සියලු ම සම්පත්වල අයිතිය ශ්‍රී ලංකාව සතු වේ.

එමෙන් ම මෙම කලාපයට වැලි, ගල්පර, කොරල් පර, දූපත්, කලපු ආදිය ඇතුළු ස්වභාවික ලක්ෂණ සියල්ල අයත් වේ.

2. යාබද මුහුදු කලාපය (Contiguous Zone)

දෙවන කලාපය වන යාබද මුහුදු කලාපය නාවික සැතපුම් 12 සිට 24 දක්වා විහිද යයි. එනම් කිලෝමීටර් 22.2 සිට කිලෝමීටර් 44.4ක් දක්වා වන ප්‍රදේශය එම කලාපයට අයත් වේ.

එය වෙරළබඩ රාජ්‍යයකට රේගු, බදුකරණය, සංක්‍රමණ සහ සනීපාරක්ෂාව සම්බන්ධ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසන බව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට අනුව, එම නීති කඩ කිරීම වැළැක්වීම මෙන් ම නීති කඩ කරන පුද්ගලයින් සඳහා දඬුවම් කිරීමේ අයිතිය ශ්‍රී ලංකා රජය සතු වේ.

3. අනන්‍ය ආර්ථික කලාපය (Exclusive Economic Zone – EEZ)

මෙම කලාපය පරම ආර්ථික කලාපය මෙන් ම සමුද්‍ර දූෂණය වැළැක්වීමේ කලාපය නමින් ද හඳුන්වයි.

එය නාවික සැතපුම් 24 සිට නාවික සැතපුම් 200ක් දක්වා විහිද යයි. එනම්, කිලෝමීටර් 44.4 සිට කිලෝමීටර් 370 දක්වා වන වන ප්‍රදේශය එම කලාපයට අයත් වේ.

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කලාපය තුළ, සමුද්‍ර සම්පත්, බලශක්ති නිෂ්පාදනය, විද්‍යාත්මක පර්යේෂණ සහ පාරිසරික සංරක්ෂණය පිළිබඳ සුවිශේෂී අයිතිවාසිකම් රාජ්‍යයකට ඇති බව ය.

ඉරාන නෞකාව "ප්‍රහාරයට" ලක් වූයේ කොතැන ද?

මාර්තු 4 වන දා ඉරාන නාවික හමුදාවට අයත් "යාත්‍රාවක්" ගාල්ල වරායේ සිට නාවික සැතපුම් "40ක් පමණ දුරින් අනතුරට" ලක්ව තිබුණු බව ශ්‍රී ලංකා නාවික හමුදාව මුලදී පැවසීය.

කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, ආසන්න වශයෙන් ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් මෙම සිදුවීම සිදුව ඇති බව ය.

"මාර්තු 4 වන දා අලුයම 5 පසු වී විනාඩි 8 සහ විනාඩි 30 අතර කාලය තුළ අපේ ජල තීරයෙන් ඔබ්බෙන්, ආසන්න වශයෙන් ගත් විට ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරන බව වාර්තා වුණා," ජනාධිපතිවරයා පැවසීය.

එම තොරතුරු මත පදනම්ව අප මෙම සිදුවීම සිදුවූ බව කියන ස්ථානයේ චන්ද්‍රිකා රූප පිරික්සා බැලූ අතර එම දත්ත අනුව ඉරාන නෞකාව "ප්‍රහාරයට" ලක් වූ ස්ථානය ඉහත සිතියමේ දැක්වෙන පරිදි අනුමාන කළේ ය.