ඉන්දියාවේ T20 ලෝක කුසලාන වීරයා බවට පත් වූ බොහෝ දෙනෙකුට අමතක වූ ක්‍රීඩකයා

    • Author, ආනන්ද වාසු
    • Role, ක්‍රිකට් ලේඛකයෙක්
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඉරිදා අහමදාබාද්හිදී නවසීලන්තයට එරෙහිව පැවති T20 ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාව විශිෂ්ට ලෙස ජය ගැනීමත් සමග සංජු සැම්සන් විසින් සිය අසම්භාව්‍ය ක්‍රිකට් දිවියේ වැදගත් ම පරිච්ඡේදය ලියනු ලැබීය.

තමන්ට වැඩි අවස්ථාවන් ලැබෙනු ඇතැයි අපේක්ෂා නොකළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී, සංජු සැම්සන් තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා බවට පත්විය.

ඒ, ඉන්දියාව නවසීලන්තය ලකුණු 96කින් පරාජය කර සිය ශූරතාව ආරක්ෂා කර ගැනීමට සමත්වීමත් සමග ය.

සැම්සන් ලකුණු 89ක් ලබා ගත්ත ද ඔහු තරගයේ වීරයා නොවීය. එම සම්මානය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට හිමි විය. දින කිහිපයකට පෙර, එංගලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේදී, වැඩි ම ලකුණු ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය ලබා ගත්තේ සැම්සන් වුවත් ඒ අවස්ථාවේ ඔහු අවධාරණය කළේ බුම්රාට එම ගෞරවය ලැබිය යුතු බවයි.

"සියලු ම ගෞරවය බුම්රාට හිමි විය යුතුයි," අවසන් පූර්ව තරගයේදී තම සම්මානය ලබා ගැනීමෙන් පසු සැම්සන් පැවසීය. "ඇත්තට ම මේක ඔහුට හිමිවිය යුතුයි. ඔහු ඩෙත් ඕවරවලදී ඒ ආකාරයට පන්දු යැව්වේ නැත්නම්, මං මෙතන හිටගෙන ඉන්නේ නැහැ."

මෙය හුදෙක් ව්‍යාජ නිහතමානීකමක් නොවේ, එය පරිණත පිතිකරුවෙකු තම සාර්ථකත්වයට කණ්ඩායමේ සගයෙකුගේ කැපී පෙනෙන දස්කම් සැලකිය යුතු ලෙස උපකාරී වූ බව අවබෝධ කර ගැනීමකි.

සියුම් කරුණ නම්, සැම්සන්ගේ පරිණත ඉනිම නොතිබෙන්නට, ඉන්දියාව මෙවර T20 ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීමකින් තොරව ම තරගාවලියෙන් ඉවත් වීමට ඉඩ තිබීම ය.

ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොල්කටාහිදී පැවති ඉන්දියාවේ සුපිරි අට වටයේ අවසන් තරගය ඉන්දියාවට නිල නොවන අර්ධ අවසන් පූර්ව තරගයක් විය.

නොදැවී ලකුණු 97ක් ලබා ගනිමින් සැම්සන් ලකුණු පුවරුව සකස් කළේ ය. මෙය සම්ප්‍රදායික විලාසිතාවේ ඉනිමක් මිස නූතන ආකර්ෂණීය එකක් නොවීය. සැම්සන්ට වඩාත් ම සාම්ප්‍රදායික ක්‍රීඩා විලාසයක් ඇත, ඔහු ක්‍රීස් එකේ එතරම් ම චලනය නොවන අතර ඔහු ක්‍රීඩා කරන සෑම පහරක් ම, ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට සැබෑ "ක්‍රිකට් පහරක්" ලෙස ක්ෂණිකව හඳුනාගත හැකිය.

සැම්සන්ගේ පිතිකරණය ගොඩනැගී ඇත්තේ නිරවද්‍ය පාද ක්‍රියාකාරිත්වය, සමබරතාව සහ කල්මැනීම මත ය. කඩුලු රකින පිතිකරුවෙකු ලෙස, සැම්සන්ට කණ්ඩායමේ අනෙක් සෙසු ක්‍රීඩකයින් මෙන් දැඩි පුහුණුවක් ලබා ගැනීමට සිදුවී ඇත්තේ ඔහු මත පැටවී ඇති දැඩි කාර්ය භාරය නිසා ය.

ඔහු අන් සියල්ලන් මෙන් මනා ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්තය, නමුත් ඔහුගේ ශක්තිය මුල් බැස ඇත්තේ ඔහුගේ නිහතමානී ස්වභාවය තුළ මිස අද බොහෝ යෞවනයන් අපේක්ෂා කරන පරිදි පරිපූර්ණත්වයට මූර්තිමත් කරන ලද ඉන්ස්ටග්‍රෑම්-හි කැපී පෙනෙන සික්ස්-පැක් උදරය තුළ නොවේ.

නමුත් සැම්සන් තරුණයෙකු ද නොවේ.

31 හැවිරිදි සැම්සන් ජීවිතයේ බොහෝ අත්දැකීම්වලට මුහුණ දී තිබේ. ඔහු ප්‍රථම වරට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන විට, එනම් 2015 දී, යොවුන් වියේ පසුවිය. ඔහු එවකට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) නිෂ්පාදනයක් වූ අතර, වසර ගණනාවක් තිස්සේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රබලයෙක් විය.

සැම්සන්ගේ දක්ෂතා කෙරෙහි වැඩි අවධානය යොමු වූයේ IPL තරගවලියෙන් වුව ද, ඔහු බිහි වූයේ දේශීය රංජි කුසලානය සහ ඒ හා සමානව ආකර්ෂණීය නොවන තරගාවලිවලිනි.

ඔහු වසර ගණනාවක් තිස්සේ හිස් ක්‍රීඩාංගණවල සහ වැඩි අවධානයක් දිනා නොගන්නා දේශීය තරගාවලිවල මහත් සේ වෙහෙස වී සිය දක්ෂතා ප්‍රදර්ශනය කළේය.

පසුගිය දශකය තුළ ඔහු දැරූ සියලු වෙහෙස මහන්සියේ සහ ඔහු පෙන්වූ ඉවසීමේ කූටප්‍රාප්තිය මාර්තු 8 වන ඉරිදා සටහන් විය.

දීර්ඝ කාලයක් තිස්සේ, ඉන්දියාව වෙනුවෙන් T20 ක්‍රිකට් පිටියේ ඉහළ ම ස්ථානයේ රැඳී සිටීමට සැම්සන්ට අවස්ථා ලැබුණත් ඔහුගේ IPL සාර්ථකත්වය ජාත්‍යන්තර ලකුණු බවට පරිවර්තනය වූයේ නොමැත.

ඔහුගේ පළමු ඉනිම 23 තුළ ඔහුට ලබා ගැනීමට හැකිවූයේ එක් අර්ධ ශතකයක් පමණි. නමුත් ප්‍රතිඵල නොලැබෙන විට පවා සැම්සන් ඔහුගේ ක්‍රමය ගැන විශ්වාස කළ අතර ඔහුගේ ක්‍රමය ගැන අව්‍යාජ බලාපොරොත්තුවකින් සිටියේය.

සැම්සන් යනු සාමාන්‍යයෙන් නිරන්තරව ලකුණු අතර සිටින ආකාරයේ පිතිකරුවෙක් නොවේය. ඒ අර්ථයෙන් ගත් විට ඔහු ආරක්ෂාකාරී පිතිකරුවෙකු ලෙස හැඳින්වීමට ද නොහැකිය. ඒ ඔහු පිටිය තුළ ස්ථාවර වූ විට, ඔහු වේගයෙන් ලකුණූ රැස් කරන ප්‍රහාරත්මක පිතිකරුවෙකු වන නිසාවෙනි.

මේ අනුව, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඔහු ලකුණු 275ක් රැස් කර ඇත්තේ විශ්මයජනක ලෙස 199ක ප්‍රහාරත්මක ලකුණු වේගයක් පවත්වා ගනිමිනි.

මෙම ලෝක කුසලානයට පෙර පැවති ඉන්දියාවේ ද්විපාර්ශ්වික තරගාවලිවලදී එතරම් හොඳ දස්කම් ප්‍රදර්ශනය නොකිරීම නිසා සැම්සන් ලෝක කුසලානයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතර නොසිටියේය. ඉන්දියාවේ මුල් පෙළ පිතිකරුවන් අතුරින් ලකුණු ලබා ගැනීමට අරගල කරමින් සිටි අභිෂේක් ෂර්මා මත ඇතිව තිබූ පීඩනය අවම කිරීම සඳහා ආරම්භක පිතිකරුවෙකු වශයෙන් සැම්සන් කැඳවන ලදී.

රින්කු සිංට තම රෝගී පියාගේ ප්‍රතිකාර වෙනුවෙන් කණ්ඩායම හැර යාමට සිදු නොවූයේ නම්, සැම්සන්ට කණ්ඩායමේ මුල් පෙළ ක්‍රීඩා කීරීමේ අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබිණි. විස්සයි 20 ක්‍රිකට් යනු සුළු වෙනසකින් ජය පැරදුම තීරණය කරන ක්‍රීඩාවක් වන නමුත් ජයග්‍රහණය උදෙසා සුළු වාසනාවක් ද තිබිය යුතු ය.

සැම්සන්ට කිසිවක් පහසුවෙන් ළඟා කර ගැනීමට අවස්ථාව ලැබුණේ නොමැත.

ඔහු මේ මොහොත සඳහා ජීවිත කාලය පුරාවට ම සූදානම් වූ අතර, එම ගමන් මග අතරතුර ඔහු තමාට අත්කර ගත හැකි ජයග්‍රහණයන් තාවකාලිකව පෙන්වූ නමුත් ඔහුට පැහැදිලිව ම ලැබිය යුතු ආකාරයේ සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි විය.

මෙම තරගාවලියේදී සැම්සන් තම ක්‍රීඩා විලාසය වෙනස් කරමින් තම ස්ථානය රැක ගැනීමට වේගයෙන් ලකුණු රැස් කිරීමට ක්‍රියා නොකළේ ය. අවසානයේ කණ්ඩායමට අවශ්‍ය වූයේ සැම්සන්ගේ ක්‍රමයට ලකුණු රැස් කරන ක්‍රීඩකයෙකි.

සැම්සන් උසස් ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩා ලෝලීන්ගේ වීරයා බවට පත්විය.

සංජු සැම්සන්ගේ හොඳ ම ක්‍රිකට් දක්ෂතා තව ම පැමිණ නැතත්, ඔහු මේ වන විට ප්‍රදර්ශනය කර ඇති දක්ෂතා නිසා ම ඔහු ගැන වැඩි කතා බහක් මතුව තිබේ.