'අවසන් පූර්ව වටය සිහිනයක් වූ' ඉන්දියාව තෙවන වරටත් ලෝක ශූරයෝ වෙති

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

පන්දු වාර 20 තරග ආකෘතියේ ලෝකයේ ම ප්‍රබලයින් තමන් බව ඉන්දියාව තුන් වන වරටත් අද (මාර්තු 08) තහවුරු කළේ ය.

ඒ, 2026 පන්දු වාර 20 ලෝක කුසලානය ජයග්‍රහණය කරමිනි.

2024 වසරේදී ද ශූරයින් බවට පත්වූ ඉන්දියාව මෙවර අඛණ්ඩ දෙවන වරට ශූරයින් බවට පත්වීම විශේෂත්වයකි.

නවසීලන්තය සමග අහමදාබාද්හි පැවති අවසන් තරගයෙන් ඉන්දියාවට ලකුණු 96ක ජයක් හිමි විය.

ආරම්භක පිතිකරුවන් ගොඩනැගූ ඉන්දීය ඉනිම

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක මිෂෙල් සැන්ට්නර් මුලින් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව, ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය ලකුණු 98ක වේගවත් ලකුණු සබඳතාවක් ගොඩනැගීය.

එහිදී, මෙම තරගාවලියේ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කරමින් අභිෂේක් ෂර්මා පන්දු 18කදී අර්ධ ශතකයක් වාර්තා කළේ ය.

ඔහු ලකුණු 52ක් රැස් කළ අතර සංජු සැම්සන් ලකුණු 89ක් රැස් කළේ ය.

ඉෂාන් කිෂන් පන්දු 25කදී ලකුණු 54ක් රැස් කළ අතර, පන්දු 8කදී ලකුණු 26ක් රැස් කිරීමට ෂිවම් ඩුබේ සමත් විය.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කළේ ය.

ඉන්දියාව, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 250 සීමාව පසු කළේ, තුන් වන වරට ය.

නවසීලන්ත ඉනිම

ලකුණු 256ක ඉලක්කයක් සමගින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය රැඳී තිබුණේ ද, ආරම්භක පිතිකරුවන් වන ටිම් සයිෆර්ට් සහ ෆින් ඇලන් මත ය.

එහෙත්, පසුගිය තරගයේදී පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියක වේගවත් ම ශතකය රැස් කළ ෆින් ඇලන් ලකුණු 9කට දවා ගැනීමට ඉන්දියාව සමත් විය.

ටිම් සයිෆර්ට් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට යම් උත්සහයක් ගත්ත ද, පන්දු 26කදී ලකුණු 52කට ඔහු දැවී ගියේ ය.

නවසීලන්තය වෙනුවෙන් පිතිකරුවෙකු ලෙස සාර්ථක වූ අනෙක් ක්‍රීඩකයා වූයේ, නායක මිෂෙල් සැන්ට්නර් පමණි.

ඔහු ලකුණු 43ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 15කට කඩුලු 4ක් බිඳ දැමී ය.

සුපිරි 8 වටයේ පසුබෑමකට ලක්වූ ඉන්දියාව ශූරයින් බවට පත්වූ හැටි

සුපිරි 8 වටයේදී දකුණු අප්‍රිකාව හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දුන් ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීම ඉතා දුෂ්කර වී තිබිණි.

කෙසේ වෙතත්, සෙසු තරග 2 සාර්ථක ලෙස ජය ගැනීමෙන් පසු ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසිණි.

එහිදී, එංගලන්තයට එරෙහිව ලකුණු 253ක් රැස් කළ අතර, එංගලන්තයට එරෙහිව ලකුණු 7ක තියුණු ජයක් හිමි කර ගත්තේ ය.

ඒ අනුව, නවසීලන්තය සමග අවසන් තරගයට සුදුසුකම් ලැබූ ඉන්දියාව තෙවන වරටත් පන්දු වාර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.