නව අංක තහඩු නිකුත් කිරීම : අලුත් වාහන හිමිකරුවන් දැනගත යුතු කරුණු 4ක්

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

"වසර 25කට පසු" ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම වෙනුවෙන් නව සැපයුම්කරුවෙකු සමග ගිවිසුම්ගත වීම මාර්තු 10 වන දා සිදුවිය.

ඒ අනුව, South Asian Technologies PVT Limited නමැති සමාගම වසර 5ක කාලයක් සඳහා මෙරට අංක තහඩු නිකුත් කිරීමේ බලයලත් ආයතනය ලෙස කටයුතු කරනු ඇත.

නිසි සැපයුම්කරුවෙකු නොමැති වීම හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් අංක තහඩු නිකුත් කිරීම නතර කර තිබුණු අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් අංක තහඩු ලක්ෂ 4ක් පමණ මුද්‍රණය කිරීමට නොහැකි වී තිබිණු බව ය. ඉන් 65%ක් පමණ යතුරුපැදි බව ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ, මේ වන විට නව සැපයුම්කරු වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊට අදාළ මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවත් සති තුනක් වැනි කාලයක් තුළ එම කටයුතු නිම කරන බවට අදාළ සමාගම දැනුම් දීමක් කර ඇති බවත් ය.

ඒ අනුව, ඔවුන්ට "අප්‍රේල් මස අග හෝ මැයි මස මුල" මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට කොමසාරිස් ජනරාල්වරයා විශ්වාසය පළ කළේ ය.

මේ අතර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී මාර්තු 10 වන දා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ, මෙම ගිවිසුම "අත්සන් කළ දින සිට මාස තුනක් ඇතුළත" සමාගම "ක්‍රියාත්මක විය යුතු බවත්" එසේ නොවන්නේ නම්, එම ගිවිසුම "අහෝසි" වන බවත් ය.

1. නව අංක තහඩු ලැබෙන්නේ කාට ද?

නව සමාගම සමග ගිවිසුම්ගත වූ දින, එනම් 2026 මාර්තු 10 වන දින සිට ලියාපදිංචි කෙරෙන මෝටර් රථ සඳහා එම සමාගම මගින් අංක තහඩු නිකුත් කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ බීබීසී සිංහල වෙත පැවසීය.

කෙසේ වෙතත්, ඊට පෙර, එනම් 2025 මැයි 1 සිට එම දිනය දක්වා ලියාපදිංචි වී ඇති මෝටර් රථ සඳහා අංක තහඩු නිකුත් කරන්නේ මෙම නව සමාගම මගින් ද නොඑසේ නම් පෙර පැවති සමාගම මගින් ද යන්න මේ දක්වා තීරණය කර නොමැති බව ඔහු සඳහන් කළේ ය.

"ගිවිසුම දවසේ ඉඳලා නේ ගන්න වෙන්නේ," කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කර "හැකි ඉක්මනින්" කටයුතු කරන බව ඔහු අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බීබීසී සිංහල වෙත තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, නව අංක තහඩු මුද්‍රණය කිරීම "මාස දෙකක් වැනි" කාලයක් තුළ ආරම්භ කිරීමට සමාගම බලාපොරොත්තු වන බව ය.

2. අංක තහඩු නිකුත් කරන්නේ කොහොම ද?

මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් නොවන අතර එය පෙර පරිදි ම සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.

"ඒක වෙන දා වගේ ම තමයි, දිස්ත්‍රික් කාර්යාලයෙන් ගන්න පුළුවන්. එදා ම ඕනේ නම් ප්‍රධාන කාර්යාලයෙන් ගන්න පුළුවන්, එක් දින සේවයෙන්," ඔහු පැහැදිලි කළේ ය.

3. ගාස්තුවල වෙනසක් සිදුවනවා ද?

නව අංක තහඩු නිකුත් කළ ද ඒ සඳහා කෙරෙන කළ ගාස්තුවල වෙනසක් නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ ය.

"පරණ ගැසට් එක ම තමයි මේකටත් අදාළ වෙන්නේ," ඔහු පැවසීය.

4. අංක තහඩුවල වර්ණවල වෙනසක් සිදු වනවා ද?

ඉදිරියේදී නිකුත් කෙරෙන නව අංක තහඩුවල වර්ණවල වෙනසක් සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ බීබීසී සිංහල වෙත පැවසීය.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කෙරෙන බව ඔහු සඳහන් කළේ ය.

"වාහන හඳුනා ගැනීම සඳහා යම් යම් වර්ණවල වෙනස්කම් කරලා තියෙනවා. පළාත නැහැ. රජයේ, රාජ්‍ය තාන්ත්‍රික වගේ පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඉලෙක්ට්‍රික්වලට කොළ පාට තීන්දු කරලා තියෙනවා," ඔහු පැහැදිලි කළේ ය.

එමෙන් ම, මීට පෙර අංක තහඩු සමග ලබා දුන්, ස්ටිකරය තවදුරටත් ලබා නොදෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මේ අතර, රියැදුරු බලපත්‍ර 525,000ක් පමණ මේ වන විට මුද්‍රණය කර අවසන් බවත් ඉන් ලක්ෂ 5කට වැඩි ගණනක් මේ වන විටත් බෙදා හැර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.

ඉකුත් වසරේ ආනයනය කළ වාහන ගණන

ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දෙන ලද දත්තවලට අනුව, 2025 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 වන දා දක්වා මෙරට ගෙන්වා ඇති වාහන ගණන 398,207කි.

ඉන් 90,245ක් මෝටර් කාර් වන අතර මගී ප්‍රවාහන බස් හා වාහන සංඛ්‍යාව 2,744ක් වේ.

එම කාල සීමාව තුළ මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ඇත්තේ යතුරු පැදි වන අතර එම ගණන 277,976කි.

ප්‍රවාහන වාහන 11,380ක් සහ වතු වාහන 8,164ක් එම කාල සීමාව තුළ මෙරටට ගෙන්වා ඇති අතර වෙනත් ඛාණ්ඩවලට අයත් වාහන 32,776ක් ද ගෙන්වා ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ දත්ත වාර්තාවල සඳහන් වේ.