ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ජාත්‍යන්තර ප්‍රමිතියෙන්' යුත් අලුත් වාහන අංක තහඩුවේ ඇතුළත් වන සුවිශේෂී ලක්ෂණ මොනවා ද?
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාව තාවකාලිකව නතර කර තිබූ තුළ වාහන ආනයනය මේ වසර මුල සිට ආරම්භ වුව ද, එලෙස ගෙන්වන ලද බොහෝ වාහන සඳහා වාහන අංක තහඩු මෙතෙක් ලැබී නැත.
ඒ අනුව, අලුත් වාහනවල අංක තහඩුව වෙනුවට තාවකාලිකව කාඩ්බෝඩ් කැබැල්ලක හෝ වෙනත් පුවරුවක ඇඳි වාහන ලියාපදිංචි අංක සහිත රථවාහන මහා මාර්ගවල දැකිය හැකි ය.
මෝටර් වාහනයක් අලුතින් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම අත්‍යවශ්‍ය වුව ද අංක තහඩුවල හිඟතාවක් හේතුවෙන් අලුත් මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුක් කිරීම 2025 අප්‍රේල් 28 වන දා සිට අත්හිටුවනු ලැබී ය.
'වාහන 165,512කට නව අංක තහඩු නිකුත් කර නැහැ'
වාහන අංක තහඩු නිකුත් කිරීම නැවතී මාස 6කට ආසන්න කාලයක් ගතව ඇතත් මෙම ගැටලුව මෙතෙක් විසඳී නොමැති පසුබිමක වාහන ලක්ෂ ගණනකට නව අංක තහඩු ලබා ගත නොහැකි වී ඇති අතර, ඊට හේතු වී ඇති කරුණු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ඔක්තෝබර් 08 වන දා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
2025 සැප්තැම්බර් 30 දිනට වාහන අංක තහඩු නිකුත් කර නොමැති වාහන සංඛ්‍යාව 165,512ක් බව ද ඇමැතිවරයා මෙහිදී කියා සිටියේ ය.
වසර 25ක කාලයක් එක ම ආයතනයක් මගින් වාහන අංක තහඩු ලබාගෙන ඇති බව පැවසූ අමාත්‍ය බිමල් රත්නායක මෙවර ආයතන තුනක් ටෙන්ඩර් අයැදුම් කර ඇති බව ද පැවසීය.
"2000 අගෝස්තු 01 වෙනි දා තමයි පළමු වතාවට ලංකාවේ ඉංග්ලිෂ් නම්බර් සහිත නම්බර් ප්ලේට් ඉෂූ කළේ. එම ටෙන්ඩරයට ඉදිරිපත් වෙලා තිබුණෙත් ඇක්සස් ආයතනය, ඉන්පසුව 2008 සහ 2019 දී නැවත ටෙන්ඩර් කැඳවීම් කරලා තියෙනවා, සමහර දිගු කිරීම් එක්ක. ඒ සියලු ම ඒවාට ඇක්සස් සමාගම තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ, ඔවුන් පමණ ම යි. වෙන කිසි ම ආයතනයකට සුදුසුකම් ලැබිලා නැහැ. වසර විසි පහක් එක ම ආයතනය තමයි මෙම නම්බර් ප්ලේට් ලබාගෙන තිබෙන්නේ. අපි 2025 මේ පිළිබඳව අලුතින් ටෙන්ඩර් කැඳවීමක් කළ පසුව දැනට සමාගම් 3ක් තමන්ගේ ටෙන්ඩර් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව නීත්‍යනුකූල ක්‍රමයකට ප්‍රසම්පාදන කටයුතු සිදුකෙරනවා."
තවමත් අංක තහඩු නිකුත් කරන්න බැරි ඇයි?
නව අංක තහඩුව සඳහා විශේෂ ආරක්ෂණ ලක්ෂණ 7ක් ඇතුළත් බවත් ඒවා පරීක්ෂා කිරීමේදී ඇති වූ ගැටලු හේතුවෙන් අංක තහඩු නිකුත් කිරීම තවමත් ප්‍රමාද වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
"වාහන අංක තහඩු ලබා දීම අපි සැලසුම් කළාට වැඩිය ප්‍රමාදයක් තියෙනවා. නව වාහන අංක තහඩුවල විශේෂ ආරක්ෂිත ලක්ෂණ 07ක් අඩංගු වෙනවා. මේ ලක්ෂණ 07 ලංකාවේ පරීක්ෂා කිරීම පිළිබඳව අපි භාර දුන්නා මොරටුව සරසවියට. ඔවුන් මාස තුනක වගේ කාලයක් ගත්තා. ඒ වගේ ම ඔවුන්ට පුළුවන් කියලා ප්‍රකාශ කළේ එයින් 06ක් පමණ යි. ඒ නිසා 07 වෙනි එක පිළිබඳ පරීක්ෂා කිරීම ජාත්‍යන්තර වශයෙන් සිදුකරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රමාදය වෙලා තිබෙන්නේ. ඒ වගේ ම දිගු කාලීනව මේක එක ම සමාගමක් අතේ අවුරුදු 25ක් පමණ සිදුවීම නිසාත් සමහර සංකීර්ණතා ඇති කරලා තියෙනවා."
අලුත් අංක තහඩුවේ ඇතුළත් වන බව කියන සුවිශේෂතා මොනවා ද?
ඉදිරියේදී ලබා දීමට අපේක්ෂා කරන නව වාහන අංක තහඩුවට ඇතුළත් විශේෂ ලක්ෂණ පිළිබඳව බීබීසි සිංහල සේවය වැඩිදුරටත් කරුණු සොයා බැලී ය.
නව වාහන අංක තහඩුව ජාත්‍යන්තර ප්‍රමිතීන් 7ක් යටතේ, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව (ISO 7591-1982) ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.
ඒ අනුව, අංක තහඩු සඳහා භාවිත කරන ද්‍රව්‍යවලට පහත සඳහන් නිශ්චිත ලක්ෂණ තිබිය යුතු ය:
අංක තහඩුවේ ඇලුමිනියම් උපස්ථරය ඒ.එස්.ටී.එම්. බී209 ප්‍රමිතීන්ට හෝ වෙනත් ඊට සමාන ප්‍රමිතියකට අනුකූල විය යුතු ය. ඒ.එස්.ටී.එම්. හැර වෙනත් ආකාරයක ප්‍රමිතියක් අනුගමනය කරන්නේ නම්, ඊට අදාළ සමානතාව සම්බන්ධ ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කළ යුතු ය.
ඇලුමිනියම් උපස්ථරය අවම වශයෙන් 99.0%ක සංශුද්ධතාවකිනුත්, 6%ක බිඳී යාමට පෙර දිගු කිරීමේ හැකියාවකිනුත් සමන්විත විය යුතු ය.
තහඩුවේ ඝනකම: මිලිමීටර් 1.00 (දරා ගැනීමේ හැකියාව: ± මිලිමීටර 0.03)
අංක තහඩුවේ ඇලුමිනියම් උපස්ථරයට අවම වශයෙන් වර්ග මිලිමීටරයක් මත නිව්ටන් 60ක උපරිමයක් තිබිය යුතු ය.
තහඩුවේ ඉදිරිපස ඇනෝඩීකරණය (ආරක්ෂණ ලෝහ පටලයක් ගැල්වීම) හෝ ක්‍රෝමේට් ආලේපනය කිරීම කළ යුතු අතර, එහි ප්‍රතිලෝම පරාවර්තක ස්ථරයක් ද අඩංගු විය යුතු ය. සම්පූර්ණ ස්ථරයේ සහ ආලේපනයේ අවම ඝනකම මයික්‍රෝමීටර 120ක් විය යුතු ය. තහඩුවේ පසුපස ඇනෝඩීකරණය හෝ ක්‍රෝමේට් ආලේපනය කිරීම කළ යුතු අතර, පැහැදිලි එපොක්සයිඩ් ආරක්ෂණ වාර්නිෂ් අලේපනයක් ද තිබිය යුතු ය. සම්පූර්ණ ස්ථරයේ සහ ආලේපනයේ අවම ඝනකම මයික්‍රෝමීටර 4ක් විය යුතුය. වාර්නිෂ් ආලේපනය රසායනික වශයෙන් නිෂ්ක්‍රීය, නම්‍යශීලී හා ආලෝකය විනිවිද යන සහ පහසුවෙන් හැඩය වෙනස් කළ හැකි විය යුතු ය.
නිමි අංක තහඩු, 'මෝටර් වාහන සඳහා ඇති ප්‍රතිලෝම පරාවර්තක ලියාපදිංචි තහඩු' සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතිය වන අයි.එස්.ඕ. 7591 (ප්‍රමිතියේ සඳහන් සියලු ම පරාමිතීන්) සමග ද අනුකූල විය යුතු ය.
අයි.එස්.ඕ. 7591 තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට සුදුසුකම් ලබා ඇති ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පරීක්ෂණ සහ සහතික කිරීමේ ආයතනයක් සාම්පලවලට අදාළ අනුමැතිය ලබා දුන් පසු, අංක තහඩුව සඳහා පරීක්ෂණ සහතිකයක්, තෝරා ගත් ලංසුකරු විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.
මීට පෙර අංක තහඩු සැකසීම සිදුකළ ආයතනය විසින් ජනාධිපති කාර්යාලය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව පැවසූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා එම කටයුතු අවසන් වූ වහා ම ප්‍රසම්පාදන කටයුතු අවසන් කර වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළේ ය.