ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්මේනියාව සහ අසර්බයිජානය: නගෝර්නෝ-කරබාක් ගැටුම පිටුපස ඇත්තේ කුමක්ද?
සෝවියට් සංගමයේ ජනරජයන් ලෙස පැවති කොකේසියානු කලාපයට අයත් ආර්මේනියාව සහ අසර්බයිජානය යන රටවල් අතර යළි ගැටුම් ඇවිල ගියේය.
දශක ගණනාවක් ඈතට දිවෙන මේ ගැටුමේ හදවත නගෝර්නෝ-කරබාක් (Nagorno-Karabakh) කලාපයයි. එම භූමිය අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගෙන තිබුණ ද එය පාලනය කරනු ලබන්නේ ආර්මේනියන් ජනතාව විසිනි.
එකී කලාපය මුල් කරගනිමින් දෙරට 80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ දී රුදුරු සටනක යෙදී සිටියහ. ඔවුන් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවත් කිසිදා නිශ්චිත සාම ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශවය අපොහොසත් විය.
නගෝර්නෝ-කරබාක් අසර්බයිජානයේ කොටසක් වුවත් එහි බහුතරය ආර්මේනියන් ජන කොට්ඨාසයට අයත් වෙති. 80 දශකයේදී සෝවියට් සංගමයේ බිඳ වැටීම හමුවේ, නගොර්නෝ-කරබාක් කලාපය ආර්මේනියාවේ කොටසක් බවට පත් වීම සඳහා ඡන්දය ලබා දුනි. ඒ හේතුවෙන් හටගත් යුද්ධය, 1994 වසරේ ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයෙන් අනතුරුව නතර විය.
එතැන් පටන් නගෝර්නෝ-කරබාක් අසර්බයිජානයේ කොටසක් වශයෙන් පැවතියත් එය පාලනය කරනු ලබන්නේ ආර්මේනියාවේ සහාය හිමි, බෙදුම්වාදී ආර්මේනියන් ජන කොට්ඨාසය විසිනි. ලෝක බලවතුන්ගේ මැදිහත්වීමෙන් දශක ගණනාවක් සාකච්ඡා පැවතියත් දෙරට අතර කිසිදාක නිශ්චිත සාම ගිවිසුමක් අත්සන් තබා නැත.
ආර්මේනියාවේ බහුතරය ක්‍රිස්තු ලබ්ධිකයන් වන අතර ඛනිජ තෙල් සම්පතින් පොහොසත් අසර්බයිජානයේ බහුතරය මුස්ලිම්වරු වෙති. තුර්කිය, අසර්බයිජානය සමග සමීප සබඳතා පවත්වන අතරේ රුසියාව, ආර්මේනියාවේ මිත්‍ර පාර්ශවයක් වෙයි. එසේ වුව ද රුසියාවට අසර්බයිජානය සමග ඇත්තේ ද හොඳ සබඳතාවකි.
කොකේසියානු කලාපය අග්නිදිග ආසියාවට අයත් උපායමාර්ගික වශයෙන් වැදගත් කඳුකර කලාපයකි. සියවස් ගණනාවක් ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන දෙපාර්ශ්වයටම අයත් වෙනස් පාලනයන් එහි බලය සඳහා තරඟ කර තිබේ.
නූතන ආර්මේනියාව සහ අසර්බයිජානය යන දෙරටම 1920 ගණන්වල සෝවියට් සංගමය පිහිටුවීමේදී එහි කොටස්කරුවන් බවට පත් විය. නගොර්නෝ-කරබාක්, බහුතර ආර්මේනියානු ජනයා විසූ කලාපයක් වුවත් සෝවියට් දේශය විසින් එහි බලය ලබා දෙනු ලැබුවේ අසර්බයිජාන් බලධාරීන් වෙතය.
පසුව ගෙවුණු දශක ගණනාව ඇතුලත සිය කලාපයේ බලය ආර්මේනියන් බලධාරීන් අතට හුවමාරු කරන ලෙස නගොර්නෝ-කරබාක් හි වෙසෙන ආර්මේනියන් ජනයා අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියහ. නමුත් 80 දශකයේදී සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමග නගොර්නෝ-කරබාක් කලාපයේ පාර්ලිමේන්තුව එය ආර්මේනියාවේ කොටසක් බවට පත්වීම සඳහා නිල වශයෙන් ඡන්දය ලබා දුනි.
අසර්බයිජානය බෙදුම්වාදී ව්‍යාපාරය මර්දනය කිරීමේ උත්සාහයක යෙදෙන අතරේ ඊට ආර්මේනියාවේ සහය හිමි විය. ඉන් අනතුරුව ආර්මේනියාව සහ අසර්බයිජානය යන දෙරටම මොස්කව් පාලනයෙන් ස්වාධීන වීමත් සමග මහා පරිමාණ යුද්ධයක් ආරම්භ විය.
දස දහස් ගණනක් ඉන් මරණයට පත් වූ අතර මිලියනයක් දක්වා පිරිසකට උන්හිටිතැන් අහිමි විය. දෙපාර්ශවය විසින්ම වාර්ගික ශුද්ධයක් සහ සමූහ ඝාතන සිදු කරනු ලැබ ඇතැයි වාර්තා විය.
රුසියාවේ මැදිහත්වීමෙන් 1994 වසරේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර, ආර්මේනියානු හමුදා නගෝර්නෝ-කරබාක් කලාපයේ බලය තහවුරු කර ගත්හ. එම ගිවිසුමෙන් පසු නගෝර්නෝ-කරබාක් තවදුරටත් අසර්බයිජානය යටතේම පැවතිය ද එතැන් පටන් එය වැඩි වශයෙන්ම පාලනය වෙමින් තිබුණේ ආර්මේනියානු ජනයා විසින් ගෙන යනු ලබන, ආර්මේනියනු ආණ්ඩුවේ සහාය ලබන බෙදුම්වාදී, ස්වයං ප්‍රකාශිත ජනරජයක් විසිනි.
සටන් විරාමයෙන් පසු ආර්මේනියානු සහ අසර්බයිජාන් හමුදා වෙන් කර නගෝර්නෝ-කරබාක් දේශ සීමාවක් ද ස්ථාපනය කරනු ලැබිණි.
එතැන් පටන් යුරෝපයේ ආරක්ෂක සහ සහයෝගිතාව පිළිබඳ සංවිධානයේ (OSCE) මැදිහත්වීමෙන් දෙපාර්ශවය අතර සාම සාකච්ඡා පවත්වා ඇත. OSCE යනු ප්‍රංශය, රුසියාව සහ එක්සත් ජනපදය මුලසුන දරන 1992 වසරේ පිහිටුවා ගන්නා ලද සංවිධානයකි.
නමුත් මේ දක්වා දෙපාර්ශ්වය නිශ්චිත සාම ගිවිසුමකට අත්සන් තබා නොමැත. ගතව ගිය දශක තුන පුරා එහි ගැටුම් පැවත තිබේ. අවසන්වරට එහි දරුණු ගැටුමක් ඇවිල ගියේ 2016 වසරේදීය. එහිදී දෙපාර්ශ්වයේම හමුදා භටයින් ගණනාවක් මරණයට පත් විය.
මේ ගැටුම භූ දේශපාලනය නිසා තවත් සංකීර්ණ වී ඇත. 1991 වසරේදී අසර්බයිජානයේ නිදහස පිළිගත් පළමු නේටෝ රාජ්‍යය තුර්කියයි.
අසර්බයිජානයේ හිටපු ජනපති හෙයිදර් අලියෙෆ් විසින් වරක් දෙරට හඳුන්වනු ලැබුවේ "රාජ්‍යයන් දෙකකින් සමන්විත එක් ජාතියක්" වශයෙනි. දෙරටම තුර්කි සංස්කෘතිය සහ ප්‍රජාවන් බෙදා ගනිති. තුර්කි ජනාධිපති රෙජෙප් තයියෙප් එර්දොවාන් අසර්බයිජානයට සිය ජාතියේ සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබේ. තවදුරටත් තුර්කියට ආර්මේනියාව සමග නිල සබඳතා නොමැත.
1993 වසරේදී, නගෝර්නෝ-කරබාක් මුල් කරගත් යුද්ධය අතරතුර තුර්කිය අසර්බයිජානයට සහාය දීම සඳහා ආර්මේනියාව සමග ඇති දේශසීමාව වසා දැමුවේය.
මේ අතර ආර්මේනියාවට රුසියාව සමග ඇත්තේ හොඳ සබඳතාවකි. ආර්මේනියාව තුළ රුසියානු හමුදා කඳවුරක් පිහිටා ඇති අතර දෙරටම සාමූහික ආරක්ෂක ගිවිසුමකට අයත් හමුදා සන්ධානයක (CSTO) සාමාජිකයෝ වෙති. කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් විසින් අසර්බයිජානය සමග ද යහපත් සබඳතාවක් පවත්වාගෙන යනු ලබයි. මේ මොහොතේ පවතින ගැටුම් නවතා දමා සටන් විරාමයකට පැමිණෙන ලෙස ද මොස්කව් පාලනය ඉල්ලීමක් කර ඇත.
2018 වසරේදී දීර්ඝ කාලයක් බලයේ සිටි සයිර්ෂ් සාගිස්යාන්ගේ පාලනය අතුගා දමා ආර්මේනියාවේ සාමකාමී විප්ලවයක් සිදු විය. වීරෝධතාවන්ට නායකත්වය දුන් නිකෝල් පාෂිනියාන් එම වසරේ පැවති නිදහස් මැතිවරණයෙන් පසු එරට අගමැති ධුරයට තේරී පත් විය.
ගැටුම් පහත හෙලීමට අගමැති පාෂිනියාන්, අසර්බයිජානයේ ජනාධිපති ඉල්හාම් අලිඑෆ් සමග එකඟතාවකට පැමිණි අතර දෙරට හමුදා අතර පළමුවරට සෘජු දුරකතන සබඳතාවක් ස්ථාපනය කෙරිණි. "ජනයා සාමයට සූදානම් කරනු වස් ස්ථීරසාර පියවර ගැනීමේ" අවශ්‍යතාව සඳහන් කරමින් දෙපාර්ශවය 2019 වසරේදී නිවේදනයක් නිකුත් කළේය.
කෙසේ වුවත් එම වචනවලින් කිසිවක් සිදුවී නොමැත. අලුතෙන් ඇවිල ගොස් තිබෙන ගැටුම ආරම්භ කරනු ලැබුවේ කුමන පාර්ශවයක් දැයි යන්න අපැහැදිලිමුත් දෙපාර්ශවය අතර මාස ගණනක සිට උණුසුම්කාරී වාතාවරණයක් පැවතිනි. ජුලි මස සිට ගැටුම්වලින් දෙපාර්ශ්වයේම පිරිස් මරණයට පත්ව ඇත.
මේ ගැනත් කියවන්න: