ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයෙන් බේරාගත් රතු සෙබළා
1983 සැප්තැම්බර් 26 වෙනි දා න්‍යෂ්ඨික ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු අඟවන සෝවියට් මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය මත හදිසි අනතුරු ඇඟවීමක සංඥාවන් ප්‍රදර්ශනය වන්නට විය.
එදින එහි කාර්ය භාර නිලධාරියාව සිටි සෝවියට් රතු හමුදාවේ නිලධාරියෙකු වූ ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් (Stanislav Petrov) එම හදිසි අනතුරු ඇඟවීම් පිරික්සද්දී පරිගණක තිරය මත දුටුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට රුසියාව කරා වේගයෙන් ඇදී එන මිසයිල පෙළකි.
වහාම ක්‍රියාත්මක වූ ස්තනිස්ලාෆ් එය ව්‍යාජ අනතුරු ඇඟවීමක් බව තේරුම් ගත් අතර ඔහු එම සිද්ධිය ඉහළ නිලධාරීන්ට වාර්තා නොකිරීමට ප්‍රවේශම් විය.
ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් ඉක්මන් තීන්දුවක් ගත්තේ නම් ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයට මුහුණ දෙන්නේ එදිනයි.
සෝවියට් දේශයේ බල පැවැත්වුන දැඩි මාධ්‍ය වාරණය හමුවේ ඔහුගේ එම ක්‍රියාව එදා ලෝකයට අනාවරණය නොවුනත්, සෝවියට් පාලනය බිඳ වැටී සීතල යුද සමයේ පුවත් අනාවරණය වීමත් සමග ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් එදා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහු න්‍යෂ්ඨික යුද්ධයක් වලක්වන ලද බව ලෝකයට හෙළිදරව් විය.
ලොව පළමු න්‍යෂ්ඨික යුද්ධය වැළැක්වීමේ ගෞරවය හිමි එම සෝවියට් රතු සෙබළා පසුගිය මැයි මාසයේ දිවියෙන් සමුගෙන ඇතත් ඔහුගේ මරණය ද මාස කීපයක් ලොවට රහසක්ව තිබිණ.
ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් දිවියෙන් සමුගන්නා විට 77 වෙනි වියේ පසුවිය.
ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් (Stanislav Petrov) 2013 වසරේ බීබීසිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් 1983 සැප්තැම්බර් 26 වෙනි දා ඔහු ලද අත්දැකීම ලෝකයට විස්තර කළේය.
"එල්ල වෙමින් පවතින මිසයිල ප්‍රහාරයක් පිළිබඳව සියලු සංකේත පරිගණක තිරය මත ප්‍රදර්ශනය වුනා. මම ඒ මොහොතේ එල්ල වෙමින් තිබුණ අනතුර ගැන මට ඉහළ අණදෙන නිලධාරීන්ට වාර්තා කළා නම් කිසි කෙනෙක් ඊට විරුද්ධව වචනයක් වත් කතා කරන්නේ නැහැ" ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් එම බීබීසී සාකච්ඡාවේ දී කියා සිටියේය.
"මට ඒ මොහොතේ කරන්න තිබුණේ එක දෙයයි.ඒ ටෙලිපෝනය අරගෙන මට ඉහළින් සිටි අණ දෙන්නන්ට කතා කිරීම. ඒත් මට පුටුවෙන් නැගිට ගන්න බැරි වුනා. ඒ වෙලාවේ මට දැනුනේ මම රත් වෙච්ච තාච්චියක් උඩ වාඩිවෙලා ඉන්නවා වගෙයි"
ලබා තිබුණ පුහුණුව අනුව ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් ඒ මොහොතේ කළ යුතු වුණේ වහාම සෝවියට් යුද හමුදා ප්‍රධානීන් සම්බන්ධ කර ගැනීමයි.
එහෙත් ඒ වෙනුවට ඔහු ගත් පියවර වුණේ යුද හමුදා මූලස්ථානයේ ඒ මොහොතේ නිල රාජකාරියේ නිරතව සිටි නිලධාරියා අමතමින් පරිගණක පද්ධතියේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් ප්‍රදර්ශනය වෙන බව එම නිලධාරියාට දැනුම් දීමයි.
ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් ගත් තීන්දුව වැරදි එකක් වීනම් විනාඩි කීපයක් ඇතුළත සෝවියට් දේශය න්‍යෂ්ටික ප්‍රහාරයකට ගොදුරු වනු ඇත.
අනිත් අතින් සෝවියට් සංගමය අනුමාන න්‍යෂ්ටික ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරමින් සිය මිසයිල මුදා හැරියේ නම් 1983 සැප්තැම්බර් 26 වෙනිදා ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයෙන් විනාශ වනු නිසැකය.
එපමණක් නොව එය තුන්වෙනි ලෝක මහා සංග්‍රාමයේ ආරම්භයත් සනිටුහන් කරනු ඇත.
"අර පරිගණක සංඥා ලැබී මිනිත්තු විසි තුනකට පස්සෙ මම තේරුම් ගත්තා කිසිම දෙයක් සිදුවෙලා නැති බව. මොකක් හරි ප්‍රහාරයක් එල්ල වුනානම් ඒ වෙනකොට මම ඒ බව දැන ගන්නවා. එහෙම එයක් නොවීම කොයි තරම් සැනසීමක්ද?" ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් එසේ පවසමින් සැහැල්ලු සුසුමක් පිට කළේය.
සිදුව ඇත්තේ කුමක්ද?
වලාකුළු මත පතිත හිරු එලිය අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල් හැටියට සෝවියට් චන්ද්‍රිකා මගින් වැරදි ලෙස හඳුනා ගෙන ඇති බව එම සිද්ධිය සම්බන්ධයෙන් පසුව පැවැත්වුන පරීක්ෂණයක දී හෙළිදරව් විය.
සිය රැකියාවෙන් සමු ගන්නා විට ලුතිනන් කර්නල් ශ්‍රේණියේ සිටි ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් පසුගිය මැයි මාසයේ 19 වෙනිදා දිවියෙන් ද සමුගෙන ඇත.
එයින් මාස හතරකට පමණ පසුව ඔහුගේ මරණය ලෝකය දැන ගත්තේ එක්තරා දුරකථන පනිවුඩයකට පිං සිදු වන්නටය.
එම දුරකථන පණිවුඩයේ සුලමුල කුමක්ද?
ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් සම්බන්ධයෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරමින් ඔහු පිළිබඳව අප මෙතෙක් කියැවූ කතාව පළමු වරට ලෝකයට හෙළි කරන අලද්දේ ජර්මන් ජාතික සිනමාවේදී කාල් ෂුමාර්කර් Karl Schumacher) විසිනි.
පසුගිය සැප්තැම්බර් හත් වෙනිදා 'කාල්' සිය මිතුරා වූ 'ස්තනිස්ලාෆ්'ට දුරකථන ඇමතුමක් ගත්තේ ඔහුට උපන් දින ශුභ පැතුම් පිරිනැමීමටයි.
එහත් දුරකතනයට පිළිතුරු සපයන ලද්දේ ස්තනිස්ලාෆ් නොව ඔහුගේ පුත් දිමිත්‍රි පෙත්රෝෆ් විසිනි.
ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් දිවියෙන් සමුගත් පුවත ලෝකය දැන ගත්තේ එම දුරකථන පණිවුඩයෙනි .