ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කුර්දිවරුන් යනු කවුද සහ PKK යනු කුමක්ද?
- Author, ජෙරමි හොවෙල්
- Role, බීබීසී ලෝක සේවය
PKK නොහොත් කුර්දිස්තාන් කම්කරු පක්ෂය දශක හතරකට වැඩි කාලයක් තිස්සේ තුර්කියට ප්‍රශ්නයක් වී ඇත.
වාමාංශික මූලයක් සහිත මෙම කණ්ඩායම 1970 දශකයේ අගභාගයේදී පිහිටුවන ලද අතර 1984 දී ඔවුහූ තුර්කි රජයට එරෙහිව සන්නද්ධ අරගලයක් දියත් කරමින් තුර්කිය තුළ ස්වාධීන කුර්දි රාජ්‍යයක් ඉල්ලා සිටියහ.
කුර්දි ජාතිකයින් කවුද සහ ඔවුන්ට ඔවුන්ගේම ජාතික රාජ්‍යයක් නැත්තේ ඇයි?
කුර්දිවරු යනු ගිනිකොනදිග තුර්කිය, ඊසානදිග සිරියාව, උතුරු ඉරාකය, වයඹදිග ඉරානය සහ නිරිතදිග ආර්මේනියාව පුරා පැතිරී ඇති මෙසපොතේමියාවේ කඳුකරයේ සහ තැනිතලාව පුරා ව්‍යාප්තව ජීවත් වු ආදිවාසී ජනතාවකි.
කුර්දි ජාතිකයින් මිලියන 25ත් 35ත් අතර පිරිසක් මෙම ප්‍රදේශයේ ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇත. ඔවුන් මැද පෙරදිග (අරාබිවරුන්, පර්සියානුවන් සහ තුර්කි ජාතිකයින්ට පසුව) හතරවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම ලෙස සැලකුවද, ඔවුන්ටම කියා ජාතික රාජ්‍යයක් නොමැත.
කුර්දිවරු වසර සිය ගණනක් ඔටෝමාන් අධිරාජ්‍යයේ පාලනය යටතේ ජීවත් වූහ. පළමු ලෝක සංග්‍රාමය අවසානයේ එය බිඳ වැටුණු විට, බොහෝ කුර්දි ජාතිකයන් බොහෝ විට "කුර්දිස්තානය" ලෙස හඳුන්වනු ලබන තමන්ගේම නිජබිම නිර්මාණය කිරීම ගැන සලකා බැලීමට පටන් ගත්හ. ජයග්‍රාහී බටහිර මිත්‍ර පාර්ශවයන් පැවසුවේ 1920 Sèvres ගිවිසුමෙන් එය සිදුවිය හැකි බවයි.
කෙසේවෙතත් 1923 දී ලෝසැන් ගිවිසුම අත්සන් කරන ලද අතර එමගින් තුර්කියේ නූතන දේශසීමා නිර්වචනය කරන ලද අතර එයට කුර්දි රාජ්‍යයක් ඇතුළත් නොවීය.
කුර්දි ජාතිකයන් ඔවුන් ජීවත් වූ සෑම රටකම සුළුතරයක් බවට පත් විය. ඊළඟ වසර 80 තුළ කුර්දි ජාතිකයන් ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමට ගත් සියලු උත්සාහයන් යටපත් විය.
තුර්කිය PKK තර්ජනයක් ලෙස සලකන්නේ ඇයි?
කුර්දි ජාතිකයන් තුර්කි ජනගහනයෙන් 15% සහ 20% අතර වේ.
1920 සහ 1930 කාලයන් හිදී තුර්කියේ ඇති වූ විරෝධතාවන්ට ප්‍රතිචාර වශයෙන්, බොහෝ කුර්දි ජාතිකයන් නැවත පදිංචි කරන ලද අතර කුර්දි නම් සහ ඇඳුම් පැළඳුම් තහනම් කරන ලදී. කුර්දි භාෂාව භාවිතය සීමා කළ අතර කුර්දි ජනවාර්ගික අනන්‍යතාවයක පැවැත්ම පවා ප්‍රතික්ෂේප කරන ලදී. එම පිරිස් "කඳුකර තුර්කි ජාතිකයින්" ලෙස නම් කරන ලදී.
1978 දී අග්නිදිග තුර්කියේ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන අබ්දුල්ලා ඕචලන්, තුර්කිය තුළ ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා සිටිමින් PKK පිහිටුවන ලදී. 1984 දී කණ්ඩායම විසින් සන්නද්ධ අරගලයක් ආරම්භ කරන ලදී.
එතැන් සිට PKK සහ තුර්කි හමුදා අතර සටන් හේතුවෙන් තුර්කිය, සිරියාව සහ ඉරාකයේ 40,000 ක් පමණ මිය ගොස් ඇත. තුර්කිය තුළ සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්ද අවතැන් වී ඇත.
PKK ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස හඳුන්වමින් තුර්කිය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල එම කණ්ඩායම තහනම් කර තිබේ.
තුර්කිය තුළ PKK කණ්ඩායමේ අභිලාෂයන් මොනවාද?
1990 ගනන්වල දී, PKK ස්වාධීන රාජ්‍යයක් ඉල්ලීම වෙනුවට කුර්දිවරුන්ට වැඩි ස්වයං පාලනයක් ඉල්ලා සිටීම සඳහා සිය අවධානය යොමු කර තිබිණි.
"අපට තුර්කියෙන් වෙන් වූ රාජ්‍යයක් පිහිටු වන්න අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ තුර්කියේ දේශසීමා තුළ නිදහසේ අපේ ම භූමියක ජීවත් වීමටයි." 2016 දී BBC වෙත අදහස් දක්වමින් PKK හි හමුදා නායක සෙමිල් බයික් පැවසුවේය.
"කුර්දිවරුන්ගේ සහජ අයිතීන් පිළිගන්නා තුරු අරගලය දිගටම පවතිනවා," ඔහු පැවසීය.
කෙසේ වෙතත්, තුර්කිය පවසන්නේ PKK "තුර්කියේ වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන" බවයි.
1990 ගණන්වල මැද භාගයේදී තුර්කි හමුදා සහ PKK අතර දරුණු සටන් පැවතුනි. තුර්කියේ ගිනිකොන දෙසින් සහ නැගෙනහිරින් පිහිටි කුර්දි ගම්මාන දහස් ගණනක් විනාශ වූ අතර, කුර්දි ජාතිකයන් සිය දහස් ගණනකට තුර්කියේ වෙනත් නගර වෙත පලා යාමට සිදු විය.
සාම ගිවිසුම් ඇති කර ගැනීමට PKK මීට කලින් උත්සාහ කර තිබේද?
1999 දී එහි නායක අබ්දුල්ලා ඕචලන් රාජ්‍යද්‍රෝහී චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිරගත කිරීම PKK වෙත එල්ල වූ විශාල පහරක් විය.
ඉන් ටික කලකට පසු, PKK පස් වසරක ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ අතර, සිය ප්‍රතිරූපය වෙනස් කිරීමට, සිය ආයාචනයන් පුළුල් කිරීමට සහ සාමකාමී දේශපාලන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට උත්සාහ කළේය.
ඔවුහූ තුර්කියේ දේශපාලනය තුළ ඉඩක් මෙන්ම කුර්දිවරුන්ට වැඩි සංස්කෘතික අයිතිවාසිකම් සහ සිරගත කරන ලද PKK සාමාජිකයින් නිදහස් කරන ලෙස ද ඉල්ලා සිටියහ.
තුර්කිය ඔවුන් සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ අතර PKK සාමාජිකයින්ට සීමිත සමාවක් පමණක් දෙන ලදී.
2009 සහ 2011 අතර PKK සහ තුර්කි රජය නෝර්වේහිදී රහස් සාකච්ඡා පැවැත්වූ නමුත් ඒවා අසාර්ථක විය.
2013 මාර්තු මාසයේදී ඕචලන් රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු නව සටන් විරාමයක් ඉල්ලා සිටි අතර PKK සටන්කාමීන්ට තුර්කියෙන් පිටවන ලෙස ඉල්ලා තිබිණි. කෙසේ වෙතත්, එම සටන් විරාමය 2015 ජූලි මාසයේදී බිඳ වැටුණි.
2015 සිට, පර්යේෂණ සංවිධානයක් වන ක්‍රයිසිස් ගෲප් පවසන පරිදි, තුර්කියේ සහ ඉරාකයේ තුර්කි ආරක්ෂක හමුදා සහ PKK සටන්කාමීන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 7,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
2015 සහ 2016 දී සටන් වඩාත් දරුණු විය, ඒවා බහුලව පැවතියේ ප්‍රධාන වශයෙන් ගිනිකොනදිග තුර්කියේ යි.
2019 වන විට, තුර්කි හමුදා PKK සටන්කාමීන් බොහෝමයක් තුර්කියෙන් පලවා හැර ඇති අතර, බොහෝ සටන් උතුරු ඉරාකයේ සහ උතුරු සිරියාවේ කුර්දිස්තාන් ප්‍රදේශයට මාරු වී තිබේ.
සිරියාවේදී, තුර්කි හමුදා, සිරියානු ජාතික හමුදාව නම් මිත්‍ර කණ්ඩායමක් සමඟ එක්වී, PKK හි සිරියානු ශාඛාව ලෙස තුර්කිය සලකන කුර්දි ප්‍රමුඛ YPG කණ්ඩායම සමඟ සටන් කරමින් සිටියි.
2024 ඔක්තෝම්බර් මාසයේ සිට, තුර්කි ආණ්ඩුව, අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයා වන ඩෙව්ලට් බහ්සෙලි සමඟ PKK සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර, මර්මාරා මුහුදේ පිහිටි අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වන ඉම්රාලි දුපතේ පිහිටි බන්ධනාගාරයේ සිටින ඕචලන් හමුවීම සඳහා සංචාර ද ඊට ඇතුළත් කර ඇත.