මැද පෙරදිග මුළුමනින් ම යුද්ධයක් ඇතිවීමට ඇති අවස්ථා මොනවා ද?

ගාසා තීරයේ යුද්ධය දිග්ගැස්සෙමින් තිබේ.

ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ භූමි ආක්‍රමණයක් සිදුකරමින් පවතින අතර ඉරානය ඊශ්‍රායලය දෙසට මිසයිල 200කට ආසන්න ප්‍රමාණයක් එල්ල කර ඇත. ඊශ්‍රායලය යේමනයේ හූති කැරලිකරුවන්ට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ.

ගැටුම් අඛණ්ඩව උත්සන්න වීම ලොව පුරා දේශපාලනඥයන් සහ විශ්ලේෂකයින් මැද පෙරදිග සමස්ත යුද්ධයකට අවතීර්ණ වීම පිළිබඳ භීතිය ප්‍රකාශ කිරීමට හේතු වී ඇත.

මෙය සිදුවීමේ සම්භාවිතාව කුමක්ද සහ එය ලොව පුරා ගැටුමක් දක්වා වර්ධනය විය හැකිද යන්න පිළිබඳව අපි කලාපය ආවරණය කරන බීබීසී වාර්තාකරුවන්ගෙන් විමසුවෙමු.

නවල් අල්-මගාෆි, ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර විමර්ශන වාර්තාකරු

මැද පෙරදිග වත්මන් තත්වය විස්තර කිරීමේදී "ආසන්නයේ පවතින" යන වාක්‍ය ඛණ්ඩය බොහෝ විට භාවිතා වේ. ගාසා තීරයේ ජීවිත 40,000කට වඩා අහිමි වූ අතර සතියක් තුළ ලෙබනනයේ 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, මානුෂීය හානි ප්‍රමාණය පුදුම සහගතය. මිලියන ගණනක් අවතැන් වී ඇති අතර මුළු ප්‍රදේශම නටබුන් වී ඇත. එය ආසන්නතම යුද්ධයකට "පෙරළීමේ" අපේක්ෂාව භයානක ය.

දශක ගණනාවකට පසු කලාපය තුළ ඇති වූ භයානකම අර්බුදයක් අපි දකිමින් සිටිමු.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණයෙන් පසු ඉකුත් සතියේ ඊශ්‍රායලයේ සැමරුම් පැවැත්විණි.

හමාස් සංවිධානයේ නායක නස්රල්ලා සහ ඉස්මයිල් හනියේ යන දෙදෙනාගේම අභාවය ඉරානයේ ඊනියා ප්‍රතිරෝධයේ අක්ෂය බිඳ දැමීමට උත්සහ කරන්නන්ට තාවකාලික තෘප්තියක් ගෙන දෙන්නට ඇතත්, එවැනි සැමරුම් නොමේරූ ඒවා බව නොඅනුමානය.

අවිවාදිතව, ඊශ්‍රායලය ප්‍රධාන නායකයින් තුරන් කරදමා ඇති ඉලක්කගත ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර මගින් හිස්බුල්ලා සංවිධානයට සැලකිය යුතු පසුබෑමක් එල්ල කර ඇත.

හමාස් සංවිධානයට එරෙහිව වසරක් පුරා ගෙන ගිය සටන් හේතුවෙන් ගාසා තීරයේ මිලියන ගණනකගේ ජීවිතවලට විනාශකාරී බලපෑමක් ඇති කර තිබේ.

එය කණ්ඩායමේ හැකියාවන් සැලකිය යුතු ලෙස හීන කර ඇත. නමුත් එමගින් දේශපාලන හා මිලිටරි බලවේගයක් ලෙස හමාස් සංවිධානයේ අවසානය සටහන් නොකරනු ඇත.

එවැනි කණ්ඩායම් ගොඩනඟා ඇති දියුණුව සහ බලපෑම් සහගත බව පවත්වා ගෙන යන ආකාරය හඳුනා ගැනීමට වෙනත් ආකාරයකින් සිතන අය අසමත් වී තිබේ. මේවා ගැඹුරින් ආයතනගත වූ සංවිධාන වන අතර, ඒවා ක්‍රියාත්මක වන සමාජ හා දේශපාලන ව්‍යුහය තුළ වෙන් කළ නොහැකි ලෙස තැන්පත් වී ඇත.

නස්රල්ලාගේ ඝාතනය සහ ඉරානයේ ප්‍රතිචාරය, කලාපය ඉතා අනතුරු දායක ලෙස පූර්ණ යුද්ධයට සමීප කර තිබේ.

ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල නායකයන්ගෙන්ගේ ප්‍රකාශ වලින් ඇඟවෙන්නේ ගැටුම තවදුරටත් තීව්‍ර කිරීම නොවැළැක්විය හැකි බව ය. ඊට සෘජුවම සතුරන් දෙදෙනා පමණක් නොව ලෙබනනය, සිරියාව, යේමනය සහ ඉරාකය හා ඉරානයේ පිටුබලය ලබන හමුදා මෙන්ම එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළුව ඊශ්‍රායලයේ බටහිර මිත්‍ර රටවල් ද සම්බන්ධ වනු ඇත.

දැන් මතු වන ප්‍රශ්නය වන්නේ ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවය.

“මැදපෙරදිග මුහුණත වෙනස් කිරීමට වසර 50කට පසු ඇති ලොකුම අවස්ථාව මෙයයි” යනුවෙන් හිටපු ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් X පණිවුඩයක් නිකුත් කළේ, “මෙම ත්‍රස්තවාදී රෙජීමය මාරාන්තික ලෙස අඩපණ කිරීමට” ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කළ යුතු බව යෝජනා කරමිනි.

ඔහුගේ මෙම වචන නිල අභිප්‍රායන් පිළිබඳ කිසියම් සංඥාවක් නම්, අප කලාපයේ සැබවින්ම පෙර නොවූ විරූ සහ විනාශකාරී දෙයක් අද්දර සිටිය හැකිය.

ගාසා තීරයේ යුද්ධය ආරම්භයේ සිට, ගැටුම් උත්සන්න වීම සමනය කිරීමේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් යලි යලිත් අඩපණ වී ඇති අතර ප්‍රධාන බලවතුන් ට සටන් වැළැක්වීමට හෝ සැලකිය යුතු ලෙස බලපෑම් කිරීමට පවා නොහැකි බව ඔප්පු වී ඇත.

මෙම අඛණ්ඩ අසාර්ථකත්වය, කලාපයට සහ එහි ජනතාවට බිහිසුණු සංඥා ගෙන දෙන, ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ දිගුකාලීන ජාත්‍යන්තර බැඳීම් පිළිබඳ නීතිරීති පවා ක්‍රියාත්මක කිරීමට එකට එක්වීමට නොහැකි ගැඹුරින් බිඳී ගිය ගෝලීය තත්ත්වයක් ඉස්මතු කරයි.

නිස්රීන් හැටූම්, බීබීසී පුවත් අරාබි වාර්තාකරු, බේරූට්

සමස්ත යුද්ධයක් යනු ලෙබනන් වැසියන් විඳදරාගැනීමට සූදානම් දෙයක් නොවේ.

සැබවින්ම, සිරියාව, ඉරානය, ඉරාකය, යේමනය සහ සමහර විට ජෝර්දානය ඇතුළත් අසල්වැසි රටවල්වල සමස්ත යුද්ධයක් පිළිබඳ භීතිය පැන නැගී තිබේ. අඟහරුවාදා ඉරාන මිසයිල ප්‍රහාර ඊශ්‍රායලයට එල්ල කිරීමෙන් පසු එම බිය අවම වශයෙන් දෙගුණයක් වී ඇති අතර ඉරානය තවත් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ද ඇත.

ඉරානය නැවත ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළහොත්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයට සහාය දක්වන සෙසු බටහිර රටවල්ද ඊට මැදිහත් විය හැකි අතර, සමස්ත යුද්ධයක වෙනස්කම් තවදුරටත් වැඩි කරයි.

ඊශ්‍රායලය ඉලක්ක කරන්නේ, ලෙබනන් හමුදාව නොව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායම ය.

ලෙබනන් නිල ස්ථාවරය වන්නේ පුළුල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට උත්සාහ කිරීමයි.

සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා ප්‍රංශයේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් හරහා ලෙබනන් නිලධාරීන් පැය 24 පුරාම වැඩ කරමින් සිටිති. සියලුම උත්සාහයන්, එක්සත් ජාතීන්ගේ 1701 යෝජනාව ක්‍රියාත්මක කරමින්, ලෙබනන් හමුදාව බල ගැන්වීම, සහාය දීම සහ ලෙබනනයේ දකුණු දිග කලාපයට යෙදවීම අරමුණු කර ගෙන ඇත.

අභ්‍යන්තරව, ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සහ ව්‍යවස්ථාපිත ආයතන සක්‍රීය කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයන් පවතී.

ලෙබනනය තුළ යුද්ධයකට කිසිදිනක කැමැත්තක් තිබුණේ නොමැත. විශේෂයෙන්ම 2019 ඔක්තෝම්බර් මාසයේ සිට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වී ඇති බැවින්, ගැටුම්වලින් මිනිසුන් හෙම්බත් වී ඇත.

බොහෝ මිනිසුන්ට යුද්ධයකින් තොරව සාමයෙන් ජීවත් වීමට අවශ්‍ය වී තිබේ. සමහර ලෙබනන් ජාතිකයන් විශ්වාස කරන්නේ ඔවුන් මෙම යුද්ධයට ඇද දමා ඇති බවත් මෙම යුද්ධය ඔවුන්ගේ යුද්ධයක් නොවන බවට ය.

බොහෝ අය විශ්වාස කරන්නේ තමන්ට ස්ථිර සාමයෙන් ජීවත් විය හැකි පරිසරයක් ඇති කිරීම උදෙසා, අරාබි-ඊශ්‍රායල් ගැටුම නතර කිරීමට කාලය පැමිණ ඇති බවය.

සමස්ත යුද්ධයක් වැළැක්වීම සිදුවිය හැක්කේ ලෙබනනය කඩා වැටීම වැළැක්වීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් තුළින් පමණි.

මිලිටරි මෙහෙයුම් තුළින් කල්පවත්නා විසඳුමක් ලබා දී නොමැති බවත්, ගැටුම් අවසන් කිරීම සඳහා සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රික මාධ්‍යයන් වෙත යොමු වීම වඩාත් ප්‍රතිඵලදායක විය හැකි බවත් පෙර පැවති යුද්ධ මගින් සනාථ කර තිබේ.

අප ආපසු හැරී බැලුවහොත්, 2006 දී, ඊශ්‍රායලය සමඟ යුද්ධය පැවතියේ දින 34 ක් පමණක් වන අතර ඒ වෙනස් තත්ත්වයන් යටතේ ය. ගාසා තීරයේ යුද්ධයක් නොතිබූ අතර සිරියාවේ, ඉරාකයේ, ඉරානයේ සහ යේමනයේ සම්බන්ධයක් නොතිබුණි.

2006 යුද්ධයේදී සිදු වූ දේ මෙන් නොව, විවිධ කලාපීය පාර්ශකරුවන් ගණනාවක් ඊට සම්බන්ධ වී ඇති බව අමතක නොකළ යුතුය. තවද ලෙබනනය, නිල මට්ටමින් දුර්වල රාජ්‍යයක් වන අතර, එම තත්ත්වය පාලනය කිරීමට නොහැකි හමුදාවක් ඔවුන්ට ඇත.

මුහානද් ටුටුන්ජී බීබීසී පුවත් අරාබි වාර්තාකරු , ජෙරුසෙලම

සැලකිය යුතු කලාපීය හෝ ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි පෙර නොවූ විරූ සිදුවීම් රැසක් මැද පෙරදිග කලාපය ඇත්විඳ තිබේ. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා හෝ ඉරානය අතර සිදුවෙමින් පවතින ගැටුම් උත්සන්න වීම, යම් අවස්ථාවක දී පූර්ණ යුද්ධයක් දක්වා ව්‍යාප්ත වීමේ හැකියාව යෝජනා කළ හැකිය.

එහෙත් මෑතකාලීන වැදගත් සිදුවීම් ලෙස (හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය සහ ඊශ්‍රායල විසින් හිස්බුල්ලා මහලේකම් හසන් නස්රල්ලා ඝාතනය මෙන්ම හමාස් සහ හිස්බුල්ලාහි ජ්‍යෙෂ්ඨ දේශපාලන සහ හමුදා නායකයින් ඝාතනය වැනි) සිදුවීම් මැද පෙරදිග කලාපයේ යුද්ධයකට තුඩු දී නොමැත.

ඊශ්‍රායලයේ කටයුතු පිළිබඳව සහ හිස්බුල්ලා සමඟ ඊශ්‍රායලයේ අතීත යුද්ධ පිළිබඳ ගවේෂණය කරන මාධ්‍යවේදීන් වශයෙන්, ඊශ්‍රායලය විසින් හසන් නස්රල්ලා ඝාතනය කිරීම මගින් ඉරානය සම්බන්ධ විය හැකි පූර්ණ යුද්ධයක් වහාම ඇතිවිය හැකි යැයි අපි සැක කළෙමු.

කෙසේවෙතත්, එය සිදුවුයේ නැත.

කලාපීය පාර්ශවකරුවන් සැමවිටම උත්සාහ කරන්නේ එවැනි සිදුවීම් තුළින් කලාපීය යුද්ධයක් ඇවිලවීම වැළැක්වීම වන අතර එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.

කෙටි කාලීනව මෙම උත්සාහයන්වල සාර්ථක බවක් පෙනෙන්නට තිබුණද, ප්‍රශ්නය ඉතිරිව පවතී: ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ප්‍රකෝපකාරී ක්‍රියාවන් ආපසු හැරවිය නොහැකි පූර්ණ යුද්ධයකට තුඩු දිය හැකිද?

ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි කලාපීය යුද්ධයක් සඳහා වන ගිනි පුපුර ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතී.

අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලය සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලය ඉලක්ක කර ගැනීම එය ආසන්න වශයෙන් අවුළුවාලූ අතර, ඉරානය සිය භූමියෙන් ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර සිය ගණනක් එල්ල කිරීමට පොළඹවාලනු ලැබීය.

එක්සත් ජනපදය තත්ත්වය පාලනය කිරීමට සමත් විය. එම අවස්ථාවේ දී, අපි වාර්තා කළේ, ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායලය දෙසට එකවර පියාසර කරන බැලස්ටික් මිසයිල 100 ක් පමණ එල්ල වූ අවස්ථාවක බයිඩන් සහ නෙතන්යාහු අතර සංවාදයක් ඇති වූ බවයි.

ඇමතුම අතරතුර, නායකයින් දෙදෙනා යමක් කිරීමෙන් විය හැකි ප්‍රතිඵල හොඳින් සලකා බලමින් "තත්ත්වය සමනය කර ගැනීම" ගැන සාකච්ඡා කර තිබුණි. කිසිදු ප්‍රතිප්‍රහාරයකට ඊශ්‍රායලය සමග සම්බන්ධ නොවන බවද ඇමෙරිකාව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, හනියේ සහ නස්රල්ලාගේ ඝාතන සහ ඊශ්‍රායලය හිස්බුල්ලා වෙත එල්ල කරන ලද ප්‍රහාර ඇතුළු සිදුවීම් මාලාව, ඉරානය පෙරට වඩා සෘජුව හා බලවත් ලෙස ප්‍රතිචාර දැක්වීමේ උභතෝකෝටිකයට තල්ලු කර ඇත.

ඊශ්‍රායලයේ ප්‍රතිචාරය, එරට නිලධාරීන් අනතුරු අඟවා ඇති පරිදි, මෙම ගැටුම උත්සන්න වීමේ හැකියාව තීරණය කිරීමේ තීරණාත්මක සාධකයක් ලෙස පවතී.

ප්‍රධාන ප්‍රශ්නය නම් ඊශ්‍රායලය සත්‍ය වශයෙන්ම ඉරානය ඉලක්ක කර පූර්ණ යුද්ධයකට ඇදගෙන යාමට අදහස් කරන්නේද, නැතහොත් තත්ත්වය ප්‍රයෝජන ගනිමින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දෙනු ඇති ද යන්නයි. මෙය ඊශ්‍රායලයේ දිගුකාලීන අරමුණකි.

ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම, ජීවිත හානිවලට වඩා ද්‍රව්‍යමය හානියක් සිදු කිරීම හේතුවෙන් පාලනය කළ හැකි වුවද, එමගින් ඊශ්‍රායලයේ අභිප්‍රායන්හි ස්වභාවය වෙනස් කළ හැකි යැයි සමහරු කනස්සල්ලට පත් විය හැකිය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මැද පෙරදිග කලාපය තුළ සැලකිය යුතු වෙනස්කම් ඇති කිරීමට උත්සාහ කරයි.

ඉරානය ඉලක්ක නොකර මෙය කළ නොහැකි බව ඔහු විශ්වාස කරන අතර ඊශ්‍රායලය විසින් එය විස්තර කරනු ලබන්නේ "සර්පයාගේ හිස" ලෙස ය.

හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ලැබූ ජයග්‍රහණවලින් පසුව ඊශ්‍රායලය තුළ ප්‍රීතිමත් හැඟීමක් පවතී.

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය විසින් පාලනය කළ නොහැකි අන්දමේ විශාල පියවරක් ගනු ඇතැයි යන්න විශ්වාස කිරීමට මෙය මාර්ගයක් ලෙස සමහරු දකිනු ඇත.

මෙය කලාපීය යුද්ධයක් අවුළුවාලිය හැකි අතර, ඉරානය සැලකිය යුතු ලෙස ඉලක්ක කර ඇත්නම්, එය තවත් පාර්ශවයන් සම්බන්ධ විය හැකි ගෝලීය ගැටුමකට තුඩු දිය හැකි ය.

එවැනි පූර්ණ යුද්ධයකට හේතුව විය හැකි හැක්කේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීමට ඊශ්‍රායලයේ ඇති අභිප්‍රාය විය හැකිය.

ඉරානය ඊශ්‍රායලයට එල්ල කරන සෘජු ප්‍රහාර සැබෑ අරමුණ හෝ චේතනාව සැඟවීමේ කඩතුරාවක් විය හැකිය.

විශාලම ප්‍රශ්නය නම්: එක්සත් ජනපදය ඊශ්‍රායලයට මෙය කිරීමට ඉඩ දෙයිද? යන්න පිළිබඳ වය.

ඉමාන් එරිකාට්, BBC පුවත් අරාබි වාර්තාකරු, පලස්තීන භූමි ප්‍රදේශවල සිට

බිය සමග මුසුවූ සතුට: අඟහරුවාදා රාත්‍රියේ ඉරානය ඊශ්‍රායලය දෙසට මිසයිල 200ක් පමණ එල්ල කළ අවස්ථාවේ පලස්තීනුවන්ගේ සාමාන්‍ය මනෝභාවය මෙතුලින් විස්තර කළ හැකිය. ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට බොහෝ දෙනෙක් මේ මොහොත එනතුරු බලා සිටියහ. ඔවුන් විශ්වාස කළේ ගාසා තීරයට සහ පලස්තීන ප්‍රදේශවලට සහාය වීම සඳහා විදේශ මැදිහත්වීමක වැදගත්කමයි.

ඉරාන මිසයිල පතිත වූ පලස්තීන භූමි ප්‍රදේශ පලස්තීනුවන්ට ඡායාරූප ගැනීමේ ස්ථාන බවට පත්ව ඇත.

මෙය පූර්ණ යුද්ධයක් බවට පත් විය හැකි බවට ඔවුන් විශ්වාස කරයි.

ජූලි මාසයේදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසුව හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීම පුලුල් යුද්ධයක් සඳහා වාතාවරණයක් නිර්මාණය කර ඇත.

භූමියේ ඇති තත්ත්වය බොහෝ පලස්තීනුවන්ට පළමු සහ දෙවන ආරාබි නැඟිටීම පිළිබඳ මතකයන් යළි අලුත් කර ඇත. දහස් සංඛ්‍යාත පලස්තීනුවන් අවතැන් කළ1948 ඊශ්‍රායල් අරාබි යුද්ධය වන "නක්බා" සමයේ සිට ජීවත් වූ අය පවා පවසන්නේ ඉතිහාසය පුනරාවර්තනය වෙමින් ඇති බව ය.

නක්බා යනු 1948 මැයි 14 වන දින ඊශ්‍රායලය සිය ස්වාධීනත්වය ප්‍රකාශ කළ දිනය වූ අතර, පසුදින ආරම්භ වූ යුද්ධයේදී, එම භූමියේ ජීවත් වූ පලස්තීනුවන් 750,000 ක් දක්වා වූ පිරිස පලා ගිය හෝ ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හරින ලදී.

බොහෝ පලස්තීනුවන් විශ්වාස කරන්නේ, අද පලස්තීන ප්‍රදේශ තුළ පවතින වර්තමාන තත්ත්වය ඊශ්‍රායල ආක්‍රමණ වඩාත් දරුණු නව මට්ටමකට පැමිණ ඇති බව පෙන්නුම් කරන බවයි.

වසර ගණනාවක් තිස්සේ පලස්තීන පාලනාධිකාරිය පහත සඳහන් කරුණු අවධාරණය කර ඇත:

  • හමුදා මෙහෙයුම් නතර කරන දේශපාලන විසඳුම් වෙත යොමුවීමේ වැදගත්කම
  • ගැටුම්වලින් ඉවත් වී ද්වීරාජ්‍ය විසඳුමේ දැක්ම ආරක්ෂා කර ක්‍රියාත්මක කිරීම සහතික කරන දේශපාලන විසඳුම් දෙසට යොමු වීම

ඔවුන් විශ්වාස කරන්නේ මෙය පලස්තීනුවන්ට ඊශ්‍රායලය සමඟ 1967 කාලවකවනුවේ පැවති දේශසීමා අනුව රාජ්‍යයක් ලබා දෙනු ඇති බව ය.

2023 ඔක්තෝබර් 7 වන දින ගාසා තීරයේ නවතම යුද්ධයේ ආරම්භයේදී පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මැදිහත් වී වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

ඔහුගේ එම ඉල්ලීමට ජාත්‍යන්තර සහය ලදමුත් භූමියේ හමුදා මෙහෙයුම් අඛණ්ඩව පවතී. මේ හේතුවෙන් සාම ක්‍රියාවලිය යලි පණ ගැන්වීමේ අවස්ථාවන්ට වඩා කලාපය තුළ පුළුල් යුද්ධයක් ඇතිවීමේ හැකියාව බෙහෙවින් ප්‍රබල බව බොහෝ පලස්තීනුවන්ගේ විශ්වාසය තහවුරු කර ඇත.

කැස්රා නජී, BBC පුවත් පර්සියානු වාර්තාකරු

ඉරානයේ සිට සෘජුවම බැලස්ටික් මිසයිල 200කින් පමණ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට ඉරාන උත්තරීතර නායක අලි කමේනි විසින් ගත් තීරණය පහසු තීරණයක් නොවේ.

ඔහු සාමාන්‍යයෙන් ඉක්මන් නොසැලකිලිමත් තීරණ නොගනී. ඔහු විසින් හඳුන්වන "උපායමාර්ගික ඉවසීමට" ඔහු වැඩි කැමැත්තක් දක්වයි.

එහෙත් ඔහු සහ ඔහුගේ ආණ්ඩුව ඔවුන්ගේම දැඩි මතධාරීන්ගෙන් සහ කලාපයේ ඔවුන්ගේ බළල් අත් මෙන් ක්‍රියාකරන සටන්කාමී සාමාජිකයින්ගෙන් දැඩි පීඩනයකට ලක්ව ඇත්තේ ඊශ්‍රායලය හිස්බුල්ලා නායකත්වයේ හිස ගසා දැමීමට එරෙහිව මිලිටරිමය වශයෙන් ප්‍රතිචාර දක්වන ලෙස ය.

දකුණු දිග බේරූට් හි සිය තිප්පොලකට එල්ල වූ දැවැන්ත ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ජෙනරාල්වරයෙකු මරා දැමීම සම්බන්ධයෙන් ද දැඩි ප්‍රතිචාර දක්වන ලෙස ද දැඩි මතධාරීන්ගෙන් පීඩනය එල්ල වී තිබේ.

ජුලි මාසයේ ටෙහෙරානයේ දී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඉරානයට විශාල හානියක් සිදු විය.

ඔහු මරා දැමූ පිපිරීම ඉරානයේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල බුද්ධි අංශ ක්‍රියාකාරීන්ගේ ක්‍රියාවක් බව බොහෝ දෙනා විශ්වාස කළහ.

නමුත් තම රටට විශාල යුද්ධයක් කිරීමට නොහැකි බව ඉරානයේ උත්තරීතර නායකයා දනී.

හමුදාමය වශයෙන් ඉරානයට ඊශ්‍රායලය සමග සැසඳීමට නොහැකි අතර ගුවන් බලය අතින් ඊශ්‍රායලය ඉරානයට වඩා පූර්ණ උසස් භාවයකින් යුක්ත ය.

ඉරානයේ ගුවන් කලාපය ඊශ්‍රායල ගුවන් යානා සඳහා විශාල වශයෙන් විවෘත ය. එක්සත් ජනපදයේ සහ වසර ගණනාවක ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ඉරානය ආර්ථික වශයෙන් පසුබෑමට ලක්ව සිටියි.

දේශපාලනික වශයෙන්, ඉරාන රජය එරට වෙසෙන ජනතාව අතර බෙහෙවින් අප්‍රසාදයට පත් සිටියි.

දේශීය වශයෙන් තවත් ප්‍රශ්න ගණනාවක් ඇති බැවින්, ඉරාන පුරවැසියන්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් ඊශ්‍රායලය සමඟ යුද්ධයකට සහාය දක්වනු ඇත. එය තවත් සම්බාධක සහ තවත් ආර්ථිකමය වශයෙන් වේදනාවක් ගෙන ඒමට ඉඩ ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ. බොහෝ අය ඊශ්‍රායලය සතුරෙක් ලෙස දකින්නේ නොමැත.

එහෙත්, උත්තරීතර නායකයාට අවදානමක් ගැනීමට සිදු විය, මිලිටරි සහ බුද්ධි අංශ ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරවලට සමාන ප්‍රතිචාරයක් පමණක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර, ඔහුගේ ගණනය කිරීම් අනුව එය ඉරානයට දරා සිටිය හැකිය.