ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායලය දකුණු ලෙබනනයට ගොඩබිම් ආක්‍රමණයක් අරඹයි
- Author, ජෝර්ජ් රයිට්
- Role, බීබීසී පුවත්
- Author, මැලෝරි මොන්ච්
- Role, බීබීසී පුවත්
ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානයට එරෙහි එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර තවත් උත්සන්න කරමින්, "සීමිත, ප්‍රාදේශීය සහ ඉලක්කගත ගොඩබිම් වැටලීම්" ලෙස විස්තර කරමින් දකුණු ලෙබනනයේ ගොඩබිම් වැටලීම් ආරම්භ කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට (IDF) අනුව මෙම මෙහෙයුම තුළින් ඉරානයේ සහය ලබන හිස්බුල්ලා කණ්ඩායමේ "යටිතල පහසුකම්" ඉලක්ක කර තිබේ. ඔවුන් "උතුරු ඊශ්‍රායලයේ තම ප්‍රජාවන්ට දැඩි තර්ජනයක්" බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය යොවුත් ගැලන්ට් මීට පෙර සඳහන් කර තිබුණේ තම හමුදාව ගොඩබිම් මෙහෙයුමක් සඳහා සූදානම්ව සිටින බවයි. ලෙබනන් දේශසීමා ආසන්නයේ සිටින සිය හමුදාවන්ට ඔහු කියා සිටියේ හිස්බුල්ලා ඉලක්ක කිරීම උදෙසා "ගුවන්, නාවුක සහ ගොඩබිමින්" හමුදා යෙදවීමට ඊශ්‍රායලය සූදානම් බවයි.
හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා කියා සිටියේ ලෙබනනය තුළ ඕනෑම ඊශ්‍රායල මෙහෙයුමක් සඳහා කණ්ඩායම සූදානම් බවයි.
තම හමුදා උතුරු ඊශ්‍රායලයේ සිට යුද ටැංකි සහ අනෙකුත් සන්නද්ධ රථ ඒකරාශී කිරීමෙන් පසු දේශසීමා හරහා ඉදිරියට ගිය බව ඊශ්‍රායල් ආරක්ෂක බලකාය (IDF) අඟහරුවාදා එරට වේලාවෙන් අලුයම 02:00 ට X හි පළ කරන ලද ප්‍රකාශයක් මගින් තහවුරු කළේය.
ලෙබනන් ආරක්ෂක මූලාශ්‍රයක් උපුටා දක්වන රොයිටර් පුවත් ඒජන්සියට අනුව, ලෙබනන් හමුදාව සිය දකුණු දේශසීමාවේ ස්ථානගත කර ඇති හමුදා අවම වශයෙන් කිලෝමීටර 5ක් (සැතපුම් 3ක්) උතුරු දෙසට වන්නට පසු පසට ගෙන තිබේ.
උතුරු ඊශ්‍රායලයේ අවතැන් වූවන්ට ආපසු සිය නිවෙස් කරා යාමට ඉඩ සැලසීම සඳහා “අපට ඇති සියලු මාධ්‍යයන්” භාවිතා කරන බව සඳුදා, ගැලන්ට් ලෙබනන් දේශසීමාවේ සිටින ඊශ්‍රායල හමුදාවලට පැවසුවේය.
කෙටි වීඩියෝවකින් ඔහු පැවසුවේ සිකුරාදා බේරූට්හිදී හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා "තුරන් කිරීම" "ඉතා වැදගත් පියවරක් වන නමුත් ඉන් සියල්ල අවසන් වන්නෙ නැහැ" යනුවෙනි.
"කළ යුතු සියල්ල කරනවා" යැයි පැවසූ ඔහු "අපි ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමෙන් සියලු බලය යොදවනවා" යැයි වැඩිදුරටත් පැවසීය.
ගාසා තීරයේ යුද්ධය ආරම්භයේදී හිස්බුල්ලා කණ්ඩායමේ රොකට් ප්‍රහාර සමඟ ආරම්භ වූ දේශසීමා සටන්වලින් වසරකට ආසන්න කාලයකට පසු දස දහස් ගනනක්වන සිය පුරවැසියන්ට ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යාම ආරක්ෂිත කිරීමට ඊශ්‍රායල රජය ප්‍රතිඥා දී ඇත.
ලෙබනන් සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය - එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරනු ලැබ ඇත - ඔවුන්ට ඊශ්‍රායලයේ ඉදිරි දේශසීමාවට ඔබ්බෙන් පුළුල් උමං ජාල මෙන්ම බංකර් සහ අනෙකුත් හමුදා යටිතල පහසුකම් ඇති බව දන්නා කරුණකි.
හොඳින් පුහුණු වූ සටන්කාමීන් දස දහස් ගණනක් සිටින බවට සැලකෙන හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී ෂෙයික් නයිම් කාසීම් පැවසුවේ තම කණ්ඩායම ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්ව සිටින බවයි. ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර "අවම" ලෙස විස්තර කළ ඔහු, මෙම සටන දිර්ඝ විය හැකි බව පැවසීය.
ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානය පසුගිය කාලසීමාව තුළ දැඩි ජීවිත හානි හා දරුණූ ප්‍රහාරවල අත්දැකීම් ලැබීය. - පේජර් සහ වෝකි ටෝකි පුපුරුවා හැරීමෙන් එල්ල වූ ප්‍රහාරය, සිය හමුදා අණ දෙන නිලධාරීන් ඝාතන රැල්ලකට නතුවීම , සිවිල් වැසියන්ට මරු කැඳවූ විනාශකාරී ගුවන් ප්‍රහාර - කණ්ඩායමේ නායක හසන් නස්රල්ලා සිකුරාදා බේරූට්හිදී බංකර් විනාශ කිරීමේ බෝම්බ (bunker-busting bombs) යොදා ගනිමින් මරා දැමීම වැනි ප්‍රහාර ඊට නිදසුන් ය.
හිස්බුල්ලා සංවිධානයේ බලකොටුව වන බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශයක් වන, ගුවන් තොටුපළට සමීප ඩහීහ් නගරය වෙත එල්ල වූ ගුවන් ප්‍රහාර සමග සඳුදා රාත්‍රීයේ අහස ආලෝකමත් විය.
මෙම ප්‍රහාර එල්ල වූයේ ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා කණ්ඩායමට සම්බන්ධ යැයි කියන ගොඩනැගිලිවලින් ඉවත් වන ලෙස නිවැසියන්ට අනතුරු ඇඟවීමෙන් මද වේලාවකට පසුවය.
දකුණු ලෙබනනයේ අයිටා අල්- ෂාබ් නගරයට දැඩි ෂෙල් ප්‍රහාර එල්ල වූ බවට ද වාර්තා විය.
එමෙන්ම සිදොන් නගරය ආසන්න ජනාකීර්ණ පලස්තීන සරණාගත කඳවුරක් පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ලකට ප්‍රහාර එල්ල වූ බව නිලධාරීන් පවසූ අතර මෙම ගැටුමේදී එම ගොඩනැගිල්ල ප්‍රහාරයට ලක් වූ පළමු අවස්ථාව මෙයයි.
ලෙබනන් බලධාරීන් පවසන්නේ පසුගිය සති දෙක තුළ පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර මිලියනයක් පමණ අවතැන් විය හැකි බව ය.
සඳුදා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ "අපිට දැන් සටන් විරාමයක් තිබිය යුතුයි" යනුවෙනි.
දේශසීමා ආක්‍රමණයක් සඳහා ඊශ්‍රායලය සැලසුම් කිරීම ඔබට පහසු ලෙස දැනෙන්නේ දැයි ඇසූ විට ජනාධිපති බයිඩන් වාර්තාකරුවන්ට පැවසුවේ “ඔබ දන්නවාට වඩා මම දැනුවත්. ඔවුන් නැවැත්වීම මට පහසුවක්.”
එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමි සඳුදා මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ සාකච්ඡා කළ අතර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ ඔවුන් ගැටුම විසඳීමේ උත්සාහයන් ගැන සාකච්ඡා කළ බව යි. දෙදෙනාම සටන් විරාමයක අවශ්‍යතාව අවධාරණය කළ අතර ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී හිස්බුල්ලා සංවිධානයේ පලස්තීන මිත්‍රපාර්ශවීය සංවිධානය වන හමාස් විසින් ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයින් ආපසු ඊශ්‍රායලයට ගෙන්වා ගත යුතු බවද ඔවුහු අවධාරණය කළහ.
යුරෝපා සංගමයේ සාමාජික රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලා තිබේ.යුරෝපා සංගමයේ (EU) විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් පැවසුවේ, "ඕනෑම හමුදා මැදිහත්වීමක් තත්ත්වය නාට්‍යාකාර ලෙස තවත් උග්‍ර කරන අතර එය වළක්වා ගත යුතු" බවයි.
මේ අතර, දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලදී ලෙබනනයේ හමාස් ප්‍රධානියා වන ෆතේ ෂෙරිෆ් අබු එල්-අමින් ඝාතනය කිරීම ඊශ්‍රායලය සහ හමාස් යන දෙපාර්ශවයම තහවුරු කර තිබේ.
ඊශ්‍රායල හමුදාව පැවසුවේ "ලෙබනනයේ හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හිස්බුල්ලා ක්‍රියාකාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීමේ වගකීම ෂෙරිෆ්ට පැවරී තිබූ" බව ය.
සඳුදා අලුයම මධ්‍යම බේරූට් කලාපයට අසල්වැසි නගරයක් වන කෝලා නගරයට එල්ල වූ තවත් ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන විමුක්තිය සඳහා වූ ජනතා පෙරමුණේ (PFLP), සාමාජිකයින් තිදෙනෙකු මිය ගිය බව පලස්තීන සන්නද්ධ කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එම නිවේදනයට අනුව ප්‍රහාරයෙන් මියගිය අය අතර හමුදා ආරක්ෂක ප්‍රධානී මොහොමඩ් අබ්දෙල්-ආල්, හමුදා අණදෙන නිලධාරී ඉමාඩ් ඔඩේ සහ සටන්කාමී අබ්දෙල් රහ්මාන් අබ්දෙල්-ආල් සිටින බවට නම් කර ඇත.
දේශසීමා විරහිත වෛද්‍යවරු (MSF) සංවිධානයේ ලෙබනනයේ සන්නිවේදන අධ්‍යක්ෂ, ජිනේන් සාද් BBCය වෙත පැවසුවේ කෝලා නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව "ඇත්තටම අපි දන්නේ නැහැ ආරක්ෂිත කොහොද නැද්ද කියලා" යනුවෙනි.
"අද ආරක්ෂිත දේ තව පැයකින් හෝ හෙට ආරක්ෂිත නොවෙන්න පුළුවන්," ඇය පැවසුවාය.
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර මීට පෙර පැවති දේශසීමා සටන් 2023 ඔක්තෝබර් 8 වන දින උත්සන්න විය - ගාසා තීරයේ සිට හමාස් තුවක්කුකරුවන් ඊශ්‍රායලයට එල්ල කළ පෙර නොවූ විරූ ප්‍රහාරයෙන් පසු දින - පලස්තීනුවන්ට සහයෝගීතාව දැක්වීම සඳහා හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ විවිධ ස්ථාන වෙත රොකට් ප්‍රහාර එල්ල කළහ.