ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බීමතින් රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම මොකක් ද?
ශ්‍රී ලංකාවේ සිදුවන රිය අනතුරුවලට එක් ප්‍රධාන ම හේතුවක් වනුයේ බීමතින් රිය පැදවීමයි.
උත්සව සමයේ බීමතින් රිය පදවන රියදුරන් සොයා කරනු ලබන මෙහෙයුම් පොලිසිය විසින් තීව්‍ර කරනු ලැබ ඇත.
බීමත් රියදුරන් පරීක්ෂා කරනු ලබන ස්වසන පරීක්ෂණ කට්ටල 150,000ක් ලංකාවට ආනයනය කර පොලිස් ස්ථානවලට බෙදා හැර උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් දියත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
දෙසැම්බර් 25 වැනිදා උදෑසන 6 සිට 26 වැනිදා උදෑසන 6 දක්වා දිවයින පුරා දියත් කළ මෙහෙයුම් 623කින් බීමතින් රිය පැදවූ පුද්ගලයින් 395 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසීය.
බීමත්ව කියලා හඳුනා ගත්තොත් සිද්ධ වෙන්නේ කුමක් ද?
රියදුරෙකු බීමතින් සිටින බවට පොලිස් නිලධාරීන් විසින් හඳුනා ගනු ලැබුව හොත් එම රියදුරා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් බීමතින් දැයි පරීක්ෂා කිරීමේ බැලුමක් ලබාදෙයි.
අදාළ පරීක්ෂණය සඳහා බැලූන නොමැති නම්,එවැනි අවස්ථාවලදී සැක සහිත රියදුරන් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනෙනු ඇත.
ඉන් අනතුරුව පැයක පමණ කාලයකින් පසු, ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනෙන බව පොලිසිය පැවසීය.
අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.
බීමත්ව රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම මොකක් ද?
බීමත්ව රිය පදවන රියදුරන්ට එරෙහිව පොලිසිය විසින් අදාළ පොලිස් බලප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලබයි. එසේ නඩු පැවරීමේදී අධිකරණය රුපියල් 25,000ක අවම දඩයක් නියම කරනු ලබයි.
එමෙන්ම රියදුරු බලපත්‍රය මාස 2 කට හෝ මාස 3කට අත්හිටවනු ඇත. මෙම වරද සඳහා ම දෙවන හා තුන්වන අවස්ථාවන්හිදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුව හොත්, පනවනු ලබන දඩය සහ රියදුරු බලපත්‍රය අත්හිටවනු ලබන කාලසීමාව දීර්ඝ වනු ඇත.
එමෙන්ම බීමතින් රිය පදවා රිය අනතුරක් සිදුකළ හොත් ලැබෙන දඬුවම මීට වඩා බරපතල විය හැකිය.
2019 අංක 10 දරන මෝටර් වාහන (සංශෝධන) පනතතේ 216 වගන්තියට අනුව බීමතින් රිය ධාවනය සඳහා රුපියල් 25000-රුපියල් 30000 අතර දඩ මුදලක් නියම වන අතර මාස 3 ක් දක්වා සිර දඬුවම් සහ මාස 12ක් දක්වා රියදුරු බලපත්‍රය අත්හිටුවීමට හැකිය.
216 (අ) වගන්තියට අනුව බීමත්ව මුදලකට හෝ දීමනාවකට මගීන් ප්‍රවාහනය කරයි නම් රු.25000-රු.30000 දඩ මුදලක් මෙන්ම මාස 6 ක් දක්වා සිර දඬුවම් හෝ එම දෙකම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම කළ හැකිය.
බීමත්ව රිය පදවා යම් පුද්ගලයකුගේ මරණය සිදු කිරීම සඳහා 216 (අ) යටතේ දඩය රු.100000- රු.150000 හෝ වසර 2 කට නොඅඩු සහ වසර 10 ට නොවැඩි කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීම හෝ එම දඬුවම් දෙකම හෝ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම යන දෙකටම යටත් කරනු ලබයි.
216 ආ( i) වගන්තියට අනුව බීමත්ව රිය පදවා සුලු තුවාල සිදු කිරීමේ වරදට දඩය රු.30000-රු.50000 වන අතර සිර ඳඩුවම වසර එකකට නොවැඩි කාලයක් සදහා ද එම දඬුවම් දෙකම ද රියදුරු බලපත්‍රය අවලංගු කිරීම ද සිදු කෙරේ.
බීමත්ව රිය පදවා බරපතල තුවාල සිදු කිරීමට 216 ආ (ii ) රු.50000 - රු.100000 අතර දඩ මුදලකට යටත් වන අතර වසර 5 දක්වා සිර දඬුවමත් ඉහත දඬුවම් දෙකම හෝ ඊට අමතරව රියදුරු බලපත්‍රය අවලංගු කිරීමත් සිදු කරයි.
මත්ද්‍රව්‍ය භාවිත කරලා නම් පොලිසියට හදුනා ගන්න පුළුවන් ද?
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ , මත්පැන් හැර වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් ද පොලිසිය සතු බවය. “කිට් එකක් තියෙනවා එකෙන් මුත්‍රා වලින් සහ කෙළ වලින් හඳුන ගන්න පුලුවන් ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චි කරල තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරනවා. ඔහු වාර්තාවක් ලබා දෙනවා මොහු මොනවද පාවිච්චි කරලා තියෙන මත්ද්‍රව්‍ය කියලා. ඊට පස්සේ ඒක උසාවි දැම්මට පස්සේ අනිවාර්යෙන් මාස 6කට රිමාන්ඩ් කරනවා.”
රිය අනතුරු අවම කිරීමට විශේෂ මෙහෙයුම්
පොලිසිය සඳහන් කළේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වලින් දෛනිකව බීමත් රියදුරන් 10 – 12 අතර සංඛ්‍යාවක් වාර්තා වන බවය.
සිකුරාදා සහ සෙනසුරාදා ඇතුළුව සතියකට විශේෂ මෙහෙයුම් 3ක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළේය.
එම මෙහෙයුම් වලින් බීමත් රියදුරන් වැඩි වශයෙන් ග්‍රහණය කර ගැණෙනු ඇත.
බීමත් රියදුරන් ග්‍රහණය කර නඩු පැවරීම තුළින් බීමතින් රිය පදවා සිදුවන රිය අනතුරු අවම කර ගැනීම පොලිසියේ අපේක්ෂාව වී තිබේ.