ගුණරත්න වන්නිනායක සහ කොස්තාපල් අතර නඩුව: බන්ධනාගාර අධිකාරිට මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

- Author, බීබීසී සිංහල
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ නීතිඥ ගුණරත්න වන්නිනායක අතර ඇති වූ සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් මානසික රෝග වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලිඛිතව හේතු දක්වන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (නොවැ: 19) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.
අදාළ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.
අදාළ සිදුවීම වූ අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයාගේ මානසික තත්ත්වය පිළිබඳව විමසා බලා ඒ සම්බන්ධයෙන් මානසික රෝග වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට එදින ම මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර සිටියේ ය.
ඊට පසුදින පොලිස් කොස්තාපල්වරයා බන්ධනාගාර රෝහලට ඉදිරිපත් කළ ද මානසික රෝග වෛද්‍ය වාර්තාවක් ගැනීමට කටයුතු නොකළේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසීය.
එවැනි වෛද්‍ය වාර්තාවක් මෙතෙක් අධිකරණය වෙත නොලැබී ඇති බව ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.
දෙපාර්ශවයේ කරුණු දැක්වීම්
නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල රණගල සහ ගීත්ම ප්‍රනාන්දු අධිකරණය හමුවේ මෙසේ පැවසීය .
"ස්වාමිනි, මානසික රෝග වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ඔබතුමා විසින් කරන ලද නියෝගය තවමත් බලාත්මක වන බැවින් ඉදිරි දිනයේදී හෝ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් මානසික රෝග වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා.
සැකකාර පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාර නිලධාරියා සම්බන්ධයෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් සිල්වා මෙසේ පැවසීය.
"ස්වාමිනි, පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් මානසික රෝග වෛද්‍ය වාර්තාවක් කැඳවනවා නම් මමත් කැමති යි."
ඒ අනුව මෙම නඩුව 2026 වසරේ පෙබරවාරි මස 02 වන දින නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
සමථ වීම ප්‍රතික්ෂේප කරයි
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පසුගිය දා පොලිස් කොස්තාපල්වරයෙකු සමග ඇති වූ සිද්ධියට අදාළව සිය සේවාදායකයාට සමථ විය නොහැකි බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳුදා (නොවැ: 17) අධිකරණය හමුවේ කියා සිටියහ.
සාක්ෂි සම්පිණ්ඩන වාර්තා හයක් සමග වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස පොලිසිය පවසා සිටියේ, පසුගිය නොවැම්බර් 8 වන දින සමථ මූල මණ්ඩලය වෙත දෙපාර්ශවය ම කැඳවා තිබුණ ද පොලිස් කොස්තාපල්වරයා පමණක් සමථ මූල මණ්ඩලයට පැමිණි අතර, නීතිඥ ගුණරත්න වන්නිනායක නොපැමිණි බව ය.
පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනය මගින් පටිගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී තැටිය හා බන්ධනාගාර බස් රථයේ ඇති කැමරාවෙන් පටිගත වී ඇති දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට ද විමර්ශන නිලධාරීහු ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනියගෙන් ඉල්ලා සිටියහ.














