සංවිධානාත්මක අපරාධ සහ වෙඩි තැබීම් පාලනය කිරීමේ පොලිස් මූලෝපායන් සාර්ථක ද?

පොලිස්පති ධූරයේ වැඩ භාර ගත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ කර මතට පැටවෙන ප්‍රධානතම අභියෝගයක් වනුයේ රටපුරා දිනපතා සිදුවන වෙඩි තැබීම් පාලනය කර ජනජීවිතය සුරක්ෂිත කිරීමය.

ඡායාරූප මූලාශ්‍රය, Screenshot

    • Author, බීබීසී සිංහල

පොලිස්පති ධූරයේ වැඩ භාර ගත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ කර මතට පැටවෙන ප්‍රධානතම අභියෝගයක් වනුයේ රට පුරා දිනපතා සිදුවන වෙඩි තැබීම් පාලනය කර ජනජීවිතය සුරක්ෂිත කිරීමය.

ඒ මක්නිසා ද යත්, විශේෂයෙන් ම බස්නාහිර හා දකුණු පළාත තුළ දිනපතා ම පාහේ සිදුවන වෙඩි තැබීම් පිළිබඳ ජනතාව තුළ බියක් මතු වී තිබීම හේතුවෙනි.

වෙඩි තැබීමකට පෙර සමාජ මාධ්‍ය මාධ්‍යය මගින් පූර්ව අනතුරු ඇඟවීමක් හෝ ඉඟියක් ලබා දෙමින් මෙම වෙඩි තැබීම් සිදුකිරීම දැන් නව ප්‍රවණතාවක් බවට පත්ව තිබේ.

මෙවැනි වෙඩි තැබීමක ඉලක්කය ඔබ නොවූව ද ඇතම් විට ඉලක්ක නොකරන පුද්ගලයින් ද මෙවැනි ස්ථානයක සිටියහොත් නිකරුණේ වින්දිතයන් බවට පත්වීමට ඉඩ තිබේ. ඉන් පීඩාවට පත්වන්නේ අදාළ පුද්ගලයා පමණක් නොවේ, නිවසක ආදයම් උපයන්නා ඔහු නම් එය සමස්ථ පවුල ම ඛේදනීය තත්ත්වයකට පත් විය හැකි ය. සංවිධානත්මක අපරාධ සහ වෙඩි තැබීම් පාලනය සඳහා මාලිමා ආණ්ඩුව සහ පොලිසිය මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක ද? මේ, ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

ජීවිතවල අනරක්ෂිත බව

මාලිමා ආණ්ඩුව බලයට පත්වීමට පෙර වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර පවසා තිබුණේ, මෙම ක්‍රියා මර්දනය සඳහා අවශ්‍ය වන්නේ "පෝය දෙකක" කාලයක් බව ය.

"ජාතික ආරක්ෂාව සඳහා ටියුෂන් දෙන්නම්," යැයි පවසමින් නියෝජ්‍ය ආරක්ෂක ධූරයට පත්වූ ඔහු මේ වන විට විශ්වාසභංගයකට මුහුණ දීම අභියස සිටියි.

දිනපතා සිදුවන වෙඩි තැබීම්, සංවිධානත්මක අපරාධ කල්ලි අතර ගැටුම් බවත්, එමගින් ජාතික ආරක්ෂාවට ගැටලුවක් නැතැයි හුවා දැක්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු උත්සහ දරති.

ඔවුන් අවධාරණය කරන්නේ, මෙවැනි වෙඩි තැබීම් සිදුවුව ද ජාතික ආරක්ෂාව සූරක්ෂිත කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එහෙත් දිනපතා සිදුවන මේ වැනි වෙඩි තැබීම් හමුවේ ජනතාව සුරක්ෂිත ද? ඍජුව ඉලක්ක කරන්නේ වෙනත් පුද්ගලයෙකු වුව ද, වෙඩි තැබීමක් සිදුවන වේලාවක, එවැනි ස්ථානයක සිටිය හොත් ඕනෑ ම පුද්ගලයෙකු මෙවැනි වෙඩි තැබීමක වින්දිතයෙකු වීමට ඉඩ ඇති බව මෙම සිදුවීම් ගැන විශ්ලේෂණය කිරීමේදී පෙනි යන කාරණයකි.

එලෙස බලන විට ඕනෑ ම පුද්ගලයෙකුගේ ජීවිතවල අනරක්ෂිත බවක් මෙම වෙඩි තැබීම් නිසා සිදුව තිබේ.

අගෝස්තු 14 වන දින වැඩ භාර ගත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිසියේ දැක්ම ලෙස කියා සිටියේ, අපරාධ හා ප්‍රචණ්ඩත්වය ගැන බියකින් තොරව විශ්වාසයකින් යුතුව ජීවත්විය හැකි පරිසරයක් බිහි කිරීම බව ය.

එය යථාතර්ථයක් බවට පත් කිරීමට තමා ඇතුළු සියලු නිලධාරීන්ගෙන් ඉහළ කාර්යසාධනයක් අපේක්ෂා කරන බව ද නව පොලිස්පතිවරයා කියා සිටියේ ය.

ප්‍රියන්ත වීරසූරිය පොලිස්පති ධූරයට පත්කර පැය 24 තුළ ම වෙඩි තැබීමේ සිද්ධි තුනන් වාර්තා විය.

ඉන් එක් සිද්ධියක් මීගොඩ, මුතුහේනවත්ත නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිදුවූ අතර, අගෝස්තු 13 වන දා රාත්‍රී 10ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අහසට වෙඩි තබා පලා ගොස් තිබිණි.

හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර කෙරිණි.

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් තවත් වෙඩි තැබීමක් වාර්තා විය.

2025 ජනවාරි 1 වන දා සිට අද දිනය දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ වෙඩි තැබීම් ගණන 82කි.

ඉන් මරණයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 44කි. තුවාල ලැබූ පිරිස 48කි.

මෙම වෙඩි තැබීම්වලින් සිද්ධි 62ක් සංවිධානත්මක අපරාධවලට සම්බන්ධ ඒවා බව පොලිස් සංඛ්‍යා දත්ත අනාවරණය කරයි. ඉන් මරණ 39ක් හා තුවාල ලැබීම් 39ක් සිදුව තිබේ.

පොලිසිය මොක ද කියන්නේ?

දින දින තැන තැන සිදුවන වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුඩ්ලර්ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

ඔහු කියා සිටියේ, "බොහෝ වෙඩි තැබීම් සියල්ල ම වගේ සංවිධානත්මක අපරාධකරුවන් අතර සිදුවීම්. ඔවුන්නොවුන් එකිනෙකා පරයා යන්නට ගන්න ප්‍රතිඵලයක්."

"සංවිධානත්මක කල්ලි 52ක් හඳුනා ගෙන තිබෙනවා. විදේශ රටවල සිට ක්‍රියාත්මක වන්නේ. මෙහෙ මත් කුඩුවලට ඇබ්බැහි වූවන්ට කුඩා ප්‍රතිලාභ ලබා දී ඔවුන්ගෙන් ඉලක්ක සපුරා ගැනීමට කරන තත්ත්වයක් මේක."

"මේ සියලු ම අපරාධ ජාලගත අපරාධ. ලංකාවේ විවිධ සංවිධාන, පිටරට සංවිධානව, රටවල් කිහිපයක එකතුවෙලා හැදිච්ච ජාලගත අපරාධ.

මේවා හුදෙක් ම ක්‍රියා කරන්නේ මුදල් හරහා යන ව්‍යාපාරයක්. මෙය ඔවුන් ඔවුන් එකිනෙකා පරයා යන අභියෝගාත්මකත තරගයක් විදිහට අපි දකින්නෙන්. මුදල් වැඩි කර ගන්නට සෙසු අයව ජීවන ගමනෙන් අවසන් කරලා හරි තමුන්ගේ අවස්ථාව උදා කරගන්නයි කටයුතු කරන්නේ."

"මේ අපරාධවලදී ශ්‍රී ලංකා පොලිසියේ, යුද්ධ හමුදාවේ සෙසු අය ද අපරාධකරුවන් හැටියට සම්බන්ධ වෙලා තියෙන බව අපි සැලකිය යුතුයි. ඒක අනාවරණය වෙලා තියෙනවා. ඒක තමා සත්‍ය කතාව. මේ වනවිට පොලිස් නිලධාරීන් 58 දෙනෙක් අත්අඩංගුවට අරගෙන වැඩ තහනම් කරලා තියෙනවා. සෑම නිලධාරියෙක් පිළිබඳ පරීක්ෂාවෙන් යුතුව කටයුතු කරමින් ඉන්නවා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අපරාධ විමර්ශනය සඳහා පොලිසිය ගනු ලබන ප්‍රයත්නයන් ඉහළ තත්ත්වයක පවතින බවයි.

මෙලෙස නීතිය ක්‍රියාත්මක කරන අතරතුරු ඇතැම් විවෘත වරෙන්තු නිකුත් වූ සැකකරුවෝ රටින් පලා ගොස් අධිකරණය මගහැර විදෙස් ගතව සිටිති.

නව රජය බලයට පත්වීමත් සමග 2025 වසරේ මේ දක්වා කාලය තුළ සැකකරුවන් 11 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට ගෙන්වා ගැනීමට පොලිසියට හැකිව තිබේ.

මීට අමතරව විවෘත වරෙන්තු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය සමග කටයුතු කරමින් රතු නිවේදන ලබා ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 20කට අධික ය.

වෙඩික්කරුවන් 32ක් අත්අඩංගුවට

වෙඩි තැබීමේ සිද්ධිවලට සම්බන්ධ වෙඩික්කරුවන් 32 දෙදෙනක් වසරේ මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

"අවි සංසරණය වෙන්නේ කුලියට. එක අවියක් වෙඩික්කරුවන් අතට පත්වුණාම ඒක තවත් අපරාධවලට යොදා ගැනෙනවා," ඔහු පැවසීය.

T56 ගිනිඅවි, පිස්තෝල, රිවෝලවර් ඇතුළු ගිනිඅවි 1516ක් වසරේ මේ දක්වා කාලය තුළ පොලිස්භාරයට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

වෙඩි තැබීමේ සද්ධිවලට සම්බන්ධ වෙඩික්කරුවන් 32 දෙදෙනක් වසරේ මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Screenshot

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙඩි තැබීමේ සිද්ධිවලට සම්බන්ධ වෙඩික්කරුවන් 32 දෙදෙනෙක් වසරේ මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය

දැඩි ආරක්ෂාව යොදවා ඇති ස්ථානවල වෙඩි තැබීම් සිදුවන්නේ කොහොම ද?

වෙඩි තැබීමේ සිද්ධි වාර්තා වන ස්ථාන පිළිබඳ සලකා බැලීමේදී ඇතැම් සිද්ධි වාර්තා වී තිබුණේ, පොලිස් ස්ථානවලට සමීප හා පොලිස් නිලධාරීන් නිතර ගැවෙසන ප්‍රදේශ ආශ්‍රිතවම ය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

අපරාධකරුවන් ඉතා සූක්ෂම ලෙස පොලිසිය සිටින ස්ථාන මගහැර ක්‍රමෝපායන් යොදවා මෙම අපරාධ සිදුකරන බව ඔහු පැවසීය.

ඇතැම් අවස්ථාවලදී පොලිසිය ආසන්නයේ වුවත්, පොලිසිය ස්ථානගත කර ඇති ස්ථාන නිවැරදිව හඳුනා ගෙන අපරාධකරුවන් ප්‍රයෝගාත්මක ලෙස මෙම අපරාධවල නියැලී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

වාර්තා වී ඇති අපරාධවලින් ඉතා ම වැඩි ප්‍රතිශතයක් සම්බන්ධයෙන් යුක්තිය පසඳලීමට හැකිව ඇතැයි ද ඔහු පැවසීය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිවලදී වෙඩික්කරුවන්, යතුරු පැදිකරුවන්, සහ ආධාර අනුබල දුන් පුද්ගලයින් වශයෙන් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, ඊට අලුත් තරුණ දක්ෂ නිලධාරීන් යොදවා ඇති බවයි.

පොලිසිය ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක් ද?

මෙම සිද්ධි සම්බන්ධයෙන් proactive සහ reactive වශයෙන් පොලිසිය ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

ඒ අනුව proactive ක්‍රියාමාර්ග ලෙස, පොලිස් නිලධාරීන් යෙදවීම සහ මහජන ආරක්ෂක කමිටුවල සහය ලබා ගැනීම සහ ජනතාව දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා පැවසුවේ, පෙරවරු 4.30ට සිට පොලිස් නිලධාරීන් මාර්ග රාජකාරී සඳහා යොද වන බවයි.

දිවයින පුරා පොලිස් ස්ථාන 608ක නිලධාරින් යොදවා විශේෂ මෙහෙයුම් ද ක්‍රියාත්මක වන්නේ මේ යටතේයි.

මත්කුඩු ජාවාරම් පාලනය සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), රාජ්‍ය බුද්ධි සේවය (SIS), යුද්ධ, නාවික හා ගුවන් හමුදා ඒකාබද්ධ තෝරාගත් ප්‍රදේශවල තෝරාගත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, එහි ප්‍රතිඵල දක්නට ඇති බවයි.

"වෙඩික්කරුවන් අත්අඩංගුවට ගෙන මේකට තිත තබන්න කටයුතු කරගෙන යනවා," යැයි උදය කුමාර වුඩ්ලර් පැවසීය.

වසරේ මේ දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් හෙරෙයින් කිලෝග්‍රෑම් 934ක්, අයිස් කිලෝග්‍රෑම් 1402ක්, හෂීස් කිලෝග්‍රෑම් 422ක්, කොකේන් කිලෝග්‍රෑම් 27ක්, ගංජා කිලෝග්‍රෑම් 11000ක් මත් පෙති ලක්ෂ 34ක් පොලිස් භාරයට ගෙන තිබේ.

විශේෂ මෙහෙයුම් මගින් දින වරෙන්තුකරුවන් 35,579 දෙනකු සහ විවෘත වරෙන්තුකරුවන් 23,600ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

මෙම සිද්ධි සම්බන්ධයෙන් proactive සහ reactive වශයෙන් පොලිසිය ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Screenshot

'යුක්තිය පසඳලීමට පොලිසිය පමණක් වගකිව යුතු නෑ'

"සමස්ථ පොලිසිය පමණක් වගකිවයුතු නැහැ. වත්මන් පොලිස්පතිවරයා අධිකරණය, නීතිපති දෙපාර්තෙම්න්තුව සහ බන්ධනාගරය සමග සාකච්ඡා කර මෙම ගැටලු සඳහා විසඳුම් සොයන්න කටයුතු කරගෙන යනවා."

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ වෙමින් තරුණයින් "නිරපරාදේ" සිය ජීවිත අඳුරු කරගන්නා බවයි.

"තරුණ දුව පුතාගේ හැසීරීමේ වෙනසක් තියෙනවා නම් වහා ම අවධානයට යොමු කරන්න," ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

071 8 598 888 යන දුරකතන අංකයට ඇමතීම මගින් සියලු අපරාධ පිළිබඳ දැනුම් දීමට හැකියාව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.