ගතවූ වසර තුන තුළ වෙඩි තැබීම් 349ක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
දිනෙන් දින ශ්‍රී ලංකාවෙන් සිදුවන වෙඩි තැබීම ඉහළ යමින් පවතින අතර, ඊට සාපේක්ෂව වෙඩි තැබීම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතියි.
මෙලෙස වෙඩි තැබීම්වලට සම්බන්ධ යැයි සැකකරුවන් රැසක් ද ආසන්න කාලවකවානුව තුළ අත්අඩංගුවට ගැනුණු නමුත් දිනෙන් දින සිදුවන වෙඩි තැබීම්වල වෙනසක් සිදුව නැත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ පෙබරවාරි 19 වන දා ඝාතනය කරනු ලැබූයේ නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන පැමිණි වෙඩික්කරුවෙකුගේ වෙඩි තැබීමකින් ය.
මේ වන විට එම සිදුවීම සිදුවී මාස 3ක් ගත වී ඇති නමුත් එම සිද්ධියේදී තුවක්කුකරුට අධිකරණ භූමියේදී තුවක්කුව ලබා දුන් 'සෙව්වන්දි' නැමැති කාන්තාව මෙතෙක් සොයාගැනීමට නොහැකිව ඇත්තේ පොලීසිය විසින් ඇය පිළිබඳ තොරතුරු ලබා දෙන අයෙකුට ත්‍යාග මුදලක් ද ලබාදෙන බවට ප්‍රචාරය කර ඇති පසුබිමක ය.
සංවිධානාත්මක අපරාධකරුවන් බවට සැක කරන පුද්ගලයන් ඇතුළුව, විවධ හේතු මත ප්‍රසිද්ධ වී සිටින කිහිපදෙනෙකු ද ඉලක්ක කරගනිමින් මෑතකදී වෙඩි ප්‍රහාර එල්ල වූ අතර, මතභේදාත්මක චරිතයක් වූ ඩෑන් ප්‍රියසාද් අප්‍රේල් මාසයේ වෙඩි තැබීමකින් මිය ගිය අතර, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සම්බන්ධයෙන් මෑතකදී මතභේදාත්මක ප්‍රකාශ සිදුකළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව මීට දින කිහිපයකට ඉහතදී වෙඩි ප්‍රහාරයකට ලක් විය.
මෙලෙස සිදුවන වෙඩි තැබීම සම්බන්ධයෙන් බීබීසී සිංහල තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් සිදු කළ අතර, 2022, 2023, 2024 සහ 2025 මාර්තු 31 දක්වා කාලය තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 238ක් ඝාතනය වී තිබේ.
වැඩි ම සිදුවීම් බස්නාහිරින් සහ දකුණින්
පසුගිය වසර තුනේ හා මෙම වසරේ මාර්තු 31 දක්වා කාලය තුළ සිදුවූ ඝාතන රැල්ල සිදුවූ ස්ථාන පෙන්වන ඉහත සිතියම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන එක ප්‍රධාන කරුණක් වන්නේ නිරන්තරයෙන් වෙඩි තැබීම් සිදුව ඇත්තේ බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ බව ය.
දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් වෙඩි තැබීම් සිදුව තිබේ.
අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශය හා අහුන්ගල්ල පොලිස් බල ප්‍රදේශය තුළ 2022 සහ 2023 වසරේ සැලකිය යුතු වෙඩි තැබීම් සංඛ්‍යාවක් සිදුව තිබේ.
වෙඩි තැබීම් වාර්තා වීමේ වර්ධනයක්
මේ වන විට දිනකට එක් වෙඩි තැබීමක් වාර්තා වන තරමට ම වෙඩි තැබීම් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.
ආසන්න වසර කිහිපයේ දත්ත පිරික්සූ විට වෙඩි තැබීම් ක්‍රමිකව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන කරුණකි.
2022 වසරේ වෙඩි තැබීම සිදුවීම් සංඛ්‍යාව 81ක් වන අතරේ 2025 මාර්තු 31 දක්වා මෙම වසරේ පළමු කාර්තුවේ පමණක් වෙඩි තැබිමේ සිදුවීම් 35ක් වාර්තා වී තිබේ.
මාර්තු 31 සිට මේ වන විට ( මැයි තුන්වන සතිය වන විට) වාර්තා වී ඇති වෙඩි තැබීම සංඛ්‍යාව අනුව එම සංඛ්‍යාව ආසන්න වශයෙන් සිදුවීම් 60කට ආසන්න ප්‍රමාණයකට ඉහළ ගොස් තිබේ.














