පලාගිය සහ විශ්‍රාම යන හමුදා සාමාජිකයින් අපරාධකරුවන් වීම වැළැක්විය හැක්කේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සිටින සියලු සාමාජිකයින් වහා ම අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක අමාත්‍යශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා නියෝගයක් නිකුත් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ලේකම්වරයා විසින් ඊට අදාළ උපදෙස් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත සඳුදා (පෙබ: 24) නිකුත් කරනු ලැබූ බව ය.
ආරක්ෂක අමාත්‍යශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ, හමුදා සේවයෙන් පලා ගොස් ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සම්බන්ධයෙන් මහජනතාවට ද තොරතුරු ලබා දිය හැකි බව ය.
මෑත කාලීනව සිදුවූ ඝාතන මෙන් ම ඊට පෙර ද වාර්තා වූ ඝාතන සහ අපරාධ රැසකට ත්‍රිවිධ හමුදාවලින් පලාගිය පුද්ගලයින් සම්බන්ධ බවට පොලිස් වාර්තාවල සඳහන් විය.
මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ඇතැම් පිරිස් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් හමුදා සේවයෙන් පලාගොස් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධ වන බව ය.
හමුදාවෙන් පලාගිය පිරිස් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමත් සමග දශක තුනකට අධික කාලයක් පැවති යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසුව ත්‍රිවිධ හමුදාවෙන් සිය සේවය නිම කර ඉවත්ව යන හෝ හමුදාවෙන් පලා යන සෙබළුන් හමුදා සේවයෙන් ඉවත් වීමේදී ඔවුන්ව නැවත සමාජගත කිරීම පිළිබඳව නිසි ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ කතාබහක් නැවත මතුව තිබේ.
'හමුදාවෙන් පලාගිය පිරිස ගණනය කරමින් ඉන්නවා'
සංඛ්‍යාත්මක වශයෙන් හමුදා සේවයෙන් පලාගොස් සිටින පිරිස් පිළිබඳව තොරතුරු ලබා ගනිමින් සිටින බව ද ලේකම්වරයා පැවසුවේ ය.
"සෑහෙන්න පිරිසක් ඉන්නවා හමුදා සේවයෙන් පලාගිය අය. අපි සංඛ්‍යාත්මකව ඒ තොරතුරු ගැන විස්තර ලබා ගනිමින් ඉන්නවා. ඒ වගේ ම හමුදාවෙන් පලාගිය ඕනෑ ම කෙනෙකුට ඇවිත් භාර වෙන්න පුළුවන්. හමුදාවේ නීතිය අනුව පලා ගිය අයට නැවත ඇවිත් භාර වෙන්න හැකියාව තියෙනවා. නමුත් එහෙම භාර නොවන අය ඉන්නවා නේ. ඒ නිස යි මේ තීරණය ක්‍රියාත්මක කරන්නේ,"
හමුදා සේවයෙන් පලාගොස් සිටින පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඇත්නම් ළඟ ම ඇති පොලිසියට හෝ හමුදා කඳවුර වෙත ලබා දීමට මහ ජනතාවට අවස්ථාව ඇති බව ද හමුදාවෙන් පලා ගිය පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියේ සහය ලබා ගන්නා බවත් ඊට අමතරව ත්‍රිවිධ හමුදාවන් හි පිහිටුවා ඇති හමුදා පොලිසියේ ද සහය ලබා ගන්නා බවත් හෙතෙම පැවසීය.
මේ අතර, හමුදා සේවයෙන් පලාගොස් ඇති පිරිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් යම් හෝ අපරාධයකට සම්බන්ධ වී තිබේ ද යන්න පිළිබඳව පියවර ගන්නේ දැයි, බීබීසී සිංහල කළ විමසීමට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"ඒකට පරීක්ෂණයක් සිදුකරනවානේ.. ඒ පරීක්ෂණවල තොරතුරු අනුව අපි අවශ්‍ය පියවර ගන්නවා," ඔහු පැවසුවේය.
'හමුදා සේවයෙන් පලා ගිහින් පාතාලයට සම්බන්ධ වෙන ප්‍රවණතාවක්'
පසුගිය සෙනසුරාදා (පෙබ 22) පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ ඇතැම් පිරිස් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් හමුදා සේවයෙන් පලාගොස් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධ වන බව ය.
"අපි අවධානය යොමු කළා මෑත කාලයේ සිදුවූ සිදුවීම් හරහා. හමුදා සාමාජිකයින් ගොඩක් අත්අඩංගුවට පත්වුණා. ඒකට පිළියම් විදියට. ඇත්තට ම සමාජ ප්‍රශ්නයක් මේ ඇතුළේ තියෙන්නේ."
"අපි ඇත්තට ම පරීක්ෂණයක් මගින් සනාථ කර ගන්නවා තමුන්ගේ සම්පූර්ණ සේවා කාලය ඉවර වීමට පෙර නීත්‍යනුකූල නොවන ආකාරයට හමුදාවෙන් පලාගිය හමුදා නිලධාරීන් පාතාලය සමග සම්බන්ධ වෙන ලොකු ප්‍රවණතාවක් තියෙනවා."
"එහෙම අයව අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක වෙන්න කියලා අපි දවස් කිහිපයකට පෙර විධානයක් දුන්නා. අවුරුද්දක් දෙකක් වගේ කෙටි කාලයක් තුළ අවි පුහුණුව ලබාගෙන එළියට යනවා කියන්නේ එයාලා පාතාලය සමග සම්බන්ධ වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි යි. ඒ අයට එරෙහිව අපි හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට පහසුකම් සපයා දී තිබෙනවා. ඒ තීරණයට අපි ඇවිත් තියෙනවා," ආරක්ෂක අමාත්‍යශ ලේකම්වරයා එහිදී පැවසුවේ ය.

හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් ප්‍රචණ්ඩත්වයට යොමුවන්නේ ඇයි ?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඒ අනුව හමුදා සේවයෙන් විශ්‍රාම යන සහ පලාගොස් සිටින හමුදා සාමාජිකයින් නැවත සමාජගත කිරීමේදී කටයුතු කළ යුත්තේ කෙසේ ද?
ඔවුන් මුහුණ දෙන මානසික අභියෝග පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය කුමක් ද? යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය මහනුවර ජාතික රෝහලේ වැඩබලන වෝහාරික අධිකරණ විශේෂඥ මනෝ වෛද්‍ය චිත්තහාරි අබේනායකගෙන් කරුණු විමසීමක් සිදු කරන ලදී.
එහිදී ඇය සඳහන් කළේ, හමුදා සේවයෙන් බැහැර වන පුද්ගලයින් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පෙළඹෙන හේතු පිළිබඳව මනා අධ්‍යයනයක් සිදුකිරීම වැදගත් බව ය.
වෝහාරික අධිකරණ විශේෂඥ මනෝ වෛද්‍ය චිත්තහාරී අබේනායක සඳහන් කළේ, කරුණු කිහිපයක් හේතුවෙන් ආරක්ෂක අංශවල සේවය කළ පිරිස් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු විය හැකි බව ය.
ඇය පැවසුවේ, ආරක්ෂක අංශවල සේවය කරන පුද්ගලයින් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොමුවීම සම්බන්ධයෙන් විදේශ රටවල පර්යේෂණ සිදුකර ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ එවැනි කරුණු සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර ඇත් ද යන්න තමන් නොදන්නා බවත් ය.
''සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන මතය තම යි අපරාධ වැඩි වෙන්න හේතුව නිතර නිතර අපරාධ දකින නිසා ඒ අය ඒකට පුරුදු වෙන්න පුළුවන්. තව එකක් තමයි යුදමය කටයුතුවලට දිගින් දිගට ම දායක වීමෙන් සමහර මානසික රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.''
''එතැනදී මේ අය පශ්චාත් කම්පන ආතති ආබාධ (PTSD), මානසික අවපීඩනය සහ කාංසාව වැනි මානසික රෝගී තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේ තියෙන නිසා ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න පුළුවන්.''
''ඒ වගේ ම මත්පැන් භාවිතය නිසාත් මෙවැනි අය ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට යොමු වෙන්න පුළුවන් අවස්ථාව වැඩි කියලා විදේශ රටවලදී සිදුකරලා තියෙන පර්යේෂණවලදී හොයාගෙන තිබෙනවා. ඒ වගේ ම යුද්ධයේදී මොළයට ඇති වන හානි නිසාත් මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.''
''හමුදාවේ සැලසුම් සහිතව නියමිත කාල සටහනක් අනුව වැඩ කටයුතු වෙන්නේ. එතැනදී නියෝග නිකුත් කරනවා ඉහළ නිලධාරීන්. නමුත් ගෙදරදී ඒ වගේ තත්ත්වයක් නැති නිසා ඒ අයට ගෙදර පරිසරයට හුරුවීමේදී විවිධ මානසික වශයෙන් ගැටලුසහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සේවයෙන් විශ්‍රාම යාමේදී ආදායම් අඩුවීම සහ ලැබෙන පිළිගැනීම අවම වීම නිසාත් මේ පුද්ගලයින්ට ඇති වන මානසික පීඩනයක් තියෙනවා.''
''ඒ වගේ ම මේ අයට අවි පුහුණුවක් තියෙනවා වගේ ම ඒ අයට අවිවලට තියෙන ඇක්සස් එක නිසා මේ වගේ අයගෙන් සිදුවෙන්න පුළුවන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාව අනිත් අයට වඩා වැඩි වෙන්න පුළුවන්," ඇය පැවසීය.
ආරක්ෂක අංශ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමෙන් තත්ත්වය වෙනස් වෙයි ද?
හමුදා සේවයෙන් ඉවත් වන්නන් පුනරුත්ථාපනය කළ යුත්තේ මන්ද? යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට වෝහාරික අධිකරණ විශේෂඥ මනෝ වෛද්‍ය චිත්තහාරි අබේනායක ලබා දුන්නේ, මෙවන් පිළිතුරකි.
''හමුදා සේවයෙන් ඉවත් වන සාමාජිකයින්ගේ මානසික රෝගී තත්ත්වය වැඩි යි කියලා ලෝකයේ හොයාගෙන තියෙනවා. මම අර කලින් සඳහන් කරපු PTSD වගේ මානසික ගැටලු තත්ත්වයන් තියෙන නිසා.''
''ඒ වගේ ම මත්ද්‍රව්‍ය භාවිතය ගැනත් ඒ අයව පුනරුත්ථාපනය වෙන්න ඕන. ලංකාවේදී කරපු පරීක්ෂණවලදීත් මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ ම තමයි සේවයෙන් විශ්‍රාම ගියාට පස්සේ සමාජයෙන් ලැබෙන පිළිගැනීම නොලැබෙ යි කියන මානසිකත්වය මතත් ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම අවශ්‍ය වෙනවා,'' ඇය පැවසුවා ය.
'වෘත්තීය පුහුණුවක් ලබාදීම වැදගත්'
විශ්‍රාම ගිය ආරක්ෂක අංශ සාමාජිකයින් සිටින පවුලක සාමාජිකයින්, මෙවැනි තත්ත්වයන්ට මුහුණ දිය යුතු ආකාරය ගැන දැනුවත් විය යුතු බව ද වෝහාරික අධිකරණ විශේෂඥ මනෝ වෛද්‍ය චිත්තහාරී අබේනායක පැවසුවා ය.
පවුලේ සාමාජිකයින්ට මෙන් ම දිගු කාලයක් පවුලෙන් ඈත්වී සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකුට ද සේවයෙන් විශ්‍රාම ලබා නැවත පවුල සමග එකතුවිමේදී අනුගමනය කළ යුතු පියවර ගැන දැනුවත් කිරීම අවශ්‍ය කරුණක් බව ඇය පෙන්වා දුන්නා ය.
එමෙන් ම හමුදා සේවයෙන් විශ්‍රාම යන පුද්ගලයෙකුට නැවත ජීවනෝපාය මාර්ගයක් ආරම්භ කිරීම සඳහා වෘත්තීය පුහුණුවක් ලබා දීම ඉතා වැදගත් බව ඇය මෙහිදී අවධාරණය කළා ය.
විශ්‍රාම යන ආරක්ෂක අංශ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීම හා වෘත්තීය පුහුණුව ලබා දීම සමාජය තුළ අපරාධ අවම කිරීමට හේතු වන ප්‍රධාන කරුණක් වන බවට කරුණු හෙළි වී ඇතැයි ද ඇය පෙන්වා දුන්නා ය.














