රතු වරෙන්තු: අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගන්නේ කෙසේද ?

රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට පසුගිය දෙසැම්බර් මස 17 වෙනිදා සිට ආරම්භ කෙරුණු යුක්තියේ මෙහෙයුමට අද (පෙබරවාරි 26වැනිදා) වන විට දින 70ක් ගෙවී ගොස් අවසන් ය.
පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් විදේශගතව සිටිමින් මෙරට තුළ එවැනි ක්‍රියාකාරකම් කරන බවට කරුණු හෙළි වී ඇති බව පොලිසිය අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කර තිබේ.
විදේශගතව සිටියදි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණි අපරාධකරුවන් කවුද ?
විදේශ ගතව සිට මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කළ අවස්ථා කිහිපයක් මෑත කාලයේදී දැක ගත හැකිවිය.
2015 වසරේදී ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදා' පකිස්ථානයේදි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලදී.
එමෙන්ම 2019 වර්ෂයේ ඩුබායි හිදී මෙරට තුළ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවීමේ චෝදනාවන්ට අවශ්‍යව සිටි මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක ඇතුළු පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු දිවයිනට රැගෙන එනු ලැබිය.
එමෙන්ම මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හරක් කටා සහ කුඩු සලිඳු යන දෙදෙනා මැඩගස්කර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ 2023 වසරේදීය.
මේ අතර පසුගිය පෙබරවාරි මස 15 වෙනිදා කුඩු සලිඳු ගේ ප්‍රධාන ගෝලයා වන පියුම් හස්තික නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබිය.
විදේශගතව සිටින සැකකරුවන් නැවත ගෙන්වා ගන්නේ කෙසේද ?
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරටට අත්‍යවශ්‍යව සිටින විදෙස්ගත සැකකරුවන් නැවත ගෙන්වා ගැනීමට රතු වරෙන්තු 46ක් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව බීබීසී සිංහල වෙත පැවසුවේය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මීට සති දෙකකට කලින් තිබුණු වාර්තාව අනුව ඉන්ටර්පෝල් එක හරහා අත්‍යවශ්‍ය සැකකරුවන් 46 දෙනෙකු ගැන රතු වරෙන්තු නිකුත් කරලා තිබුණා."
"ඉන්ටර්පෝල් එක කරන්නේ අපි නිකුත් කරන රතු වරෙන්තුව හරහා අදාළ සැකකරුවන් ගැන තොරතුරු සොයා බලා ඔවුන් ඉන්න රටේ බලධාරීන්ට වගේම රතු වරෙන්තුව නිකුත් කරපු රටේ බලධාරීන්ට දැනුම් දෙනවා."
"ඒ අනුව අදාළ රටවල් දෙකේ බලධාරීන් සාකච්ජා කරලා ඒ සැකකරුව අත්අඩංගුවට ගෙන නැවත අදාළ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ විදේශ රටක සිටින අපරාධකරුවෙකු මෙරට නිලධාරීන්ට ගොස් අත්අඩංගුවට ගෙන නැවත ගෙන ඒමට නොහැකි බවයි.
"වෙන රටක ඉන්න අපරාධකරුවෙක්ව අපට ඒ රටට ගිහිල්ලා අත්අඩංගුවට ගන්න විදිහක් නැහැ. ඒ රටේ තියෙන නීති රීති අනුවයි ඒ දේවල් කෙරෙන්නේ."
"අපේ රතු වරෙන්තුවක් තිබ්බම ඒ අය දැනුම් දෙනවා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. එතකොට අපි ඒකට අදාළ සාක්ෂි ආදිය සියල්ල ලබා දෙනවා. සමහර ඒවා තියෙනවා අපි මෙහේ මහාධිකරණයේ නඩු දාලා තියෙන්න ඕන අදාළ සැකකරුවන් ගැන කටයුතු කරනවද කියලා සලකා බලන්න හරි. ඔය වගේ ලොකු කටයුත්තක් තියෙනවා සිදුකරන්න." අමාත්‍යවරයා පැවසුවේය.
මේ දක්වා යුක්තියේ මෙහෙයුමෙන්...
යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළේය.
"මෙම මෙහෙයුමෙන් පොලිසිය භාරයට ගත් වාහන සහ ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 725ක. එතකොට අපි වැටලීම් සිදුකර තිබෙනවා 58,562ක්. අත්අඩංගුවට ගෙන තියෙන පිරිස 58, 234ක්."
"ඒකෙන් රඳවා තබා ගැනීමේ නියෝග මත 1,871ක් රඳවා ගෙන ඉන්නවා. වත්කම් විමර්ශන ආරම්භ කර තියෙනවා සැකකරුවන් 234 දෙනෙකුගේ. පුනුරුත්ථාපනයට යොමු කරලා තියෙනවා සැකකරුවන් 2,100ක් විතර."
"මෙහෙයුම පටන් ගද්දි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4,715ක් ලේඛණ ගත කරලා තිබ්බා. ඉන් 3,234ක් මේ වෙද්දී අත්අඩංගුවට ගෙන තිබෙනවා." එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේය.
‘මටයි පොලිස්පතිතුමාටයි ජීවිත තර්ජන තියෙනවා’
යුක්තියේ මෙහෙයුමත් සමග තමන්ට සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජනයක් තිබෙන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව ටිරාන් අලස් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම දැනට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීම සඳහා ද ඇතැම් පිරිස් කටයුතු කරන බවට මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
"මටයි පොලිස්පතිතුමාටයි ජිවිත තර්ජනයක් තියෙනවා කියලා බුද්ධි තොරතුරු ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම පොලිස්පතිතුමාව කොහොම හරි පොලිස්පති ධුරයෙන් අයින් කර ගන්න සමාජ මාධ්‍යවලට විතරක් නෙමේ සමහර දේශපාලඥයින්ටයි, සමහර නිලධාරීන්ට පවා මුදල් පවා වියදම් කරනවා කියලා කතාවක් තියෙනවා." අමාත්‍යවරයා පැවසුවේය.
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ( පෙබරවාරි 21) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය.
" මේ රටේ කුඩු සහ පාතාලය සියයට සියයක් ඉවර කරනවා කියලා මට කියන්න බැහැ. එහෙම ලෝකෙ කොහෙවත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි ලොකු වෙනසක් සිදුවුනාට පස්සෙත් මේ මෙහෙයුම නතර කරන්නේ නැහැ, සමහර විට මෙහෙයුමේ සැර අඩු වෙන්න පුළුවන් වැඩේ ඉවර වුණාට පස්සේ. එතකම් මේක නතර කරන්නේ නැහැ." අමාත්‍යවරයා එහිදී පැවසුවේය.












