'නීතියේ ප්‍රතිපාදන තියෙනවා පොලිස් නිලධාරීන්ටත් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිව්වි කරන්න' -පොලිස්පති

Acting IGP Priyantha Weerasooriya

ඡායාරූප මූලාශ්‍රය, Department of Government Information

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන නව විමර්ශන කඩාකප්පල් කිරීමේ උත්සහයන් පිළිබඳව බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, (විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති) රවී සෙනවිරත්න පැවසීය.

"පරීක්ෂණ කඩාකප්පල් කිරීමට ඇතැම් කණ්ඩායම් දරන උත්සහයන් බුද්ධි අංශ හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තියෙනවා. මට පැහැදිලිව කියන්නට අවශ්‍යයි, අපි මෙම පුද්ගලයින් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා," අද (පෙබරවාරි 22) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසුවේ ය.

වර්තමානයේ රටේ ඇති වී තිබෙන සංවිධානාත්මක අපරාධ රැල්ල සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ වැඩබලන පොලිස්පතිවරයා මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

ගණේමුල්ල සංජීව ගැන මීට පෙර ලැබුණු බුද්ධි තොරතුර

මීට දින කිහිපයකට පෙර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ඝාතනයට ලක්වූ සංවිධානත්මක අපරාධකරුවෙකු බව කියන 'ගණේමුල්ල සංජීව' හෙවත් සංජීව කුමාර සමරරත්නගේ ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇති බවට තොරතුරු ලැබී තිබුණු බව ත් එම අවස්ථාවේදී ඊට අදාළ ක්‍රියාමාර්ග ගනු ලැබූ බව ත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී එම මාධ්‍යවේදියා මෙලෙස වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළේ ය.

ප්‍රශ්නය: "ඊයේ පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ප්‍රකාශයක් කරනවා, මීට සති දෙකකට පමණ ඉහතදී 'බුද්ධි අංශ මගින් වාර්තා කළා ගිනිඅවිය රැගෙන ආ කාන්තාව විසින් මේ වගේ ප්‍රහාරයක් ගණේමුල්ලේ සංජීවට එල්ල කිරීමේ සූදානමක් තිබ්බා කියලා'. එහෙම තොරතුරක් ඇත්තට ම බුද්ධි අංශ මගින් ලැබුණා ද? ඒ වගේ ම වෙඩික්කරු අත්අඩංගුවට ගත්තේ ඩුබායිවලින් ලැබුණු, මේක සැලසුම් කරපු කට්ටියගේ තොරතුරක් මත ද?"

පිළිතුර: "එහෙම තොරතුරක් ලැබුණේ නැහැ නිශ්චිත විදිහට ස්ත්‍රියක් ම සම්බන්ධ වෙනවා කියලා. අපිට තොරතුරක් ලැබිලා තිබුණා, කොළඹදී වෙඩි තැබීමක් නෙමෙයි, ඊට පෙර සතියේ තිබුණා ගම්පහ අධිකරණයට යන්න, ගණේමුල්ල සංජිව ඉදිරිපත් වෙන්න.

ඒ සම්බන්ධයෙන් මට තොරතුරු ලැබුණු වහා ම මම ගම්පහ කොට්ඨාස භාර නිලධාරීට කතා කරලා ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. ගරු මහේස්ත්‍රාත්තුමාට දැනුම් දීලා, මේක අවලංගු කරලා, වර්චුවල් එවිඩන්ස් ලීඩ් කරන්න කියලා. නමුත් ඒක එදා ආවේ නැහැ. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණේ නැහැ.

අපිට නිශ්චිතව කියන්න බැහැ ඒ තොරතුරු ලැබුණේ ඔවුන්ගෙන් කියලා. සාමාන්‍ය ක්‍රියාදාමය තමයි... අපිට ලැබෙන දත්ත එක්ක, අවශ්‍ය තොරතුරු එක්ක අපි ක්‍රියාත්මක වුණා මාර්ග බාධක දාන්න. ඒ මාර්ග බාධකයේදී තමයි ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නේ."

මේ අතර, "ගණේමුල්ල සංජීවට අනතුරක් ඇති බව දැන දැනත්" ඔහු අධිකරණයට ඉදිරිපත් කළ හේතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන බව වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී නගන ලද තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

කොටහේන ප්‍රදේශයේදී ඊයේ (පෙබ 21) රාත්‍රියේ වෙඩි තැබීම සිදුවූ ස්ථානය පරිස්ක්ෂා කරන පොලිස් නිලධාරීන්
ඡායාරූප ශීර්ෂ වැකිය, කොටහේන ප්‍රදේශයේදී ඊයේ (පෙබ. 21) රාත්‍රියේ වෙඩි තැබීම සිදුවූ ස්ථානය පරික්ෂා කරන පොලිස් නිලධාරීන්

ලංකාවේ අපරාධ කල්ලි ගැන අනාවරණයක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු සිටින බවට හඳුනාගෙන ඇති බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෙහිදී පැවසුවේ ය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් "නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා" අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර විදෙස් රටවලින් ද ඊට අවශ්‍ය සහය නොඅඩුව හිමිවන බව ය.

"ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු බුද්ධි අංශ හරහා ලබාගෙන තියෙනවා. මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල නායකයින් විදෙස්ගත වී මෙම අපරාධ ක්‍රියාත්මක කරනවා."

"සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය වැඩි ම ප්‍රදේශ විදිහට බස්නාහිර පළාත සහ දකුණ පළාත හඳුනාගෙන තියෙනවා. පසුගිය කාලය තුළ විදේශ රටවල රැඳී සිටි අපරාධකරුවන් 19 දෙනෙක් මෙරටට රැගෙන එන්න හැකි වුණා. ඒ වගේ ම ජාත්‍යන්තර පොලිසිය හරහා විදේශගතව සිටින සැකකරුවන් අත්අඩංගුවට ගන්න රතු නිවේදන 199ක්, නිල් නිවේදන 90ක් සහ කහ නිවේදන 4ක් නිකුත් කරලා තියෙනවා. සංවිධානාත්මක අපරාධ පමණක් නොව වෙනත් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් වෙත නිකුත් කරන ලද නිවේදන ද මෙහි ඇතුළත් වෙනවා. ඊයේ [පෙබ 21] ඩුබායි ඉඳලා ලංකාවට අරන් ආපු OnmaxDT සිද්ධියට සම්බන්ධ සැකකරුත් ඒ වගේ සිද්ධියක්," වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේ ය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්

ඡායාරූප මූලාශ්‍රය, Department of Government Information

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්

සිදුවූ අපරාධ ගැන ඉදිරිපත් කළ දත්ත

මෙම වසර තුළ පමණක් මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් 17ක් වාර්තා වී ඇති බව සඳහන් කරන වැඩබලන පොලිස්පතිවරයා කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම් 5ක් වාර්තා වී ඇති බව ද මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය.

"2024 වෙඩි තැබීම් 75ක් සහ කපා කෙටීමේ සිද්ධි 18ක්, ඒ කියන්නේ සම්පූර්ණ සිදුවීම් ගණන 93ක් වාර්තා වෙලා තියෙනවා.

ඒ වගේ ම මේ අවුරුද්දේ මේ දක්වා වාර්තා වෙලා ඇති වෙඩි තැබීමේ සිදුවීම් ගණන 17ක් සහ කපා කෙටීමේ සිද්ධි 5ක්, ඒ කියන්නේ සම්පූර්ණ සිදුවීම් ගණන 22ක් වාර්තා වෙලා තියෙනවා. ඒ සිදුවීම් වලින් මෙම වසරේ විසඳා ඇති ගණන 17ක්."

ඇතැම් සිදුවීම්වලට පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් ඍජුව හා වක්‍රව සම්බන්ධ බව ත්, ඒ අනුව එවැනි නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව ත් ඔහු තවදුරටත් පැවසීය.

"ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක්, එක යුද්ධ හමුදා නිලධාරියෙක් සේවයෙන් ඉවත්ව ගිය යුද්ධ හමුදා නිලධාරීන් 7ක් වගේ ම ගුවන් හමුදා නිලධාරියෙක් මේ අතර ඉන්නවා."

නව රජය බලයට පත්වීමෙන් පසු පොලිස් භාරයට ගත් අවිආයුධ සම්බන්ධයෙන් ද වැඩබලන පොලිස්පතිවරයා එහිදී දත්ත ඉදිරිපත් කළේ ය.

"නව රජය බලයට පත්වුණාට පස්සේ සිදුකළ විමර්ශනවලදී T56 13ක්, රිවෝල්වර් 15ක්, පිත්තෝල 21ක්, බෝර 12 ගිනිඅවි 75ක්, රිපීටර් 7ක්, බෙහෙත් කොටන තුවක්කු 805ක් සහ වෙනත් ගිනිඅවි 4ක් පොලිස් භාරයට ගෙන තියෙනවා."

නීතිවිරෝධී ගිනිඅවි ගැන තොතුරු ලබා දෙන පුද්ගලයින්ට ලබා දෙන මුදල් තෑගි සම්බන්ධයෙන් අද (පෙබ. 22) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු එහිදී පැවසීය.

"අපි තීරණය කරලා තියෙනවා T-56 ගිනි අවියක් ගැන තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් ලබා දෙන්න. මොක ද මේ එළියේ තියෙන ගිනිඅවි අපි හොයා ගන්න ඕන."

වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, 2023, 2024 සහ 2025 වසර තුළ අපරාධ සිදුවීම්වල වැඩි වීමක් ඇති බව ත් එය පිළිගන්නා බව ත් ය.

"දැනට කිව්වා වගේ මෙම සිදුවීමක් ගත්තොත් ඉතිහාසය තුළ, 2023, 2024 සහ 2025 සාමාන්‍ය විදිහට වැඩිවීමක් තියෙනවා. ඒ වැඩිවීම අපි පිළිගන්නවා. ඒ වැඩිවීමට හේතුව තමයි ඔවුන්ට අනාරක්ෂිත බව නිසා විදේශයන්ට ගිහිල්ලා මේ කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් එක්ක ම අපි දකිනවා අවි ආයුධ ප්‍රමාණයක් සමාජය තුළ සංසරණය වෙනවා," ඔහු තවදුරටත් පැවසීය.

ස්ථානීය පරික්ෂාවක යෙදී සිටින පොලිස් නිලධාරීන් පිරිසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ථානීය පරික්ෂාවක යෙදී සිටින පොලිස් නිලධාරීන් පිරිසක්

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තව ම ක්‍රියාත්මකයි. ඒ පනත අවලංගු වෙලා නැහැ'

'ගණේමුල්ල සංජීව' ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අනුව කටයුතු කිරීම සහ කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය යාම පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ය.

එහිදී වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පැවසුවේ, දැනට පවතින නීතිය අනුව කටයුතු කිරීම විමර්ශනයේ කටයුත්තක් මිස එය බැහැර කර නොමැති බව ය.

"නීතියේ ප්‍රතිපාදන තියෙනවා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිව්වි කරන්න. ඒක ඔබටත් තියෙනවා වගේ ම පොලිස් නිලධාරීන්ටත් තියෙනවා. පොලිස් නිලධාරියෙකුට ඊට වඩා වගකීමක් සහ වගවීමක් තියෙනවා පුද්ගලික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරද්දී. එතකොට දැනට පවතින නීතියක් තුළින් ක්‍රියාත්මක වීම විමර්ශනයේ කටයුත්තක් මිසක්, අපි එය බැහැර කරලා නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තව ම ක්‍රියාත්මකයි. ඒ පනත අවලංගු වෙලා නැහැ. පවතින නීතියක් තුළින් අපරාධ විමර්ශනයක් ක්‍රියාත්මක කිරීම ගැටලුවක් නැහැ," වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.

මේ අතර, මානව හිමිකම් කඩවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවකට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් පිටතට රැගෙන යාමේදී අනුගමනය කළ යුතු බවට නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව කටයුතු කළා දැයි තවත් මාධ්‍යවේදියෙක් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළේ ය.

"මේ ගැන විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ ගැන කරුණු අනාවරණය කරන්න ඉක්මන් වැඩියි කියන එකයි මගේ අදහස," ඊට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ ය.

'දීර්ඝ කාලීන දේශපාලන රැකවරණය සමගින් පාතාලය පෝෂණය වීමක ප්‍රතිඵලයක්'

මෙම මාධ්‍ය හමුවට එක්වූ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික එයාර් මාර්ෂල්) සම්පත් තුයියකොන්තා පැවසුවේ, "ඉතිහාසය ගත්විට දීර්ඝ කාලීන දේශපාලන රැකවරණය සමගින් පාතාලය පෝෂණය වීමක ප්‍රතිඵල අද අප දකිමින් සිටින" බව ය.

මීට පෙර පැවති රජයන් සමයේදී නීතියට පිටින් යමින් අවි නිකුත් කිරිම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසට ත්‍රිවිධ හමුදාව වෙත උපදෙස් ලබා දී තිබෙන බව ද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.