ගණේමුල්ලේ සංජීව: මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගයේදී හෙළි වූයේ මොනවා ද ?

ඡායාරූප මූලාශ්‍රය, screenshot
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (පෙබරවාරි 24 වැනිදා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකෙරිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කර ගැණුනි.
'සැකකරුව සිරමැදිරියට දාන්න කිව්වා'
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන්, වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සේවයේ නියුතුව සිටි කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් හේවාපතිරණගේ තරංග සාක්ෂි දෙමින් සිද්ධිය වූ දින පෙරවරු 9.30 හෝ 9.35 ට පමණ අධිකරණයේ නඩු විමසීම් ආරම්භ වූ බව පැවසීය.
"එදින යෙදිලා තිබුණේ skype තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමයි. පෙරවරු 9.40 ට පමණ අධිකරණ ශාලාවේ වසා දමා තිබූ දොර විවෘත කරමින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සැකකරුවෙකු විවෘත අධිකරණය තුළට රැගෙන ආවා. එක් බන්ධනාගාර නිලධාරියකු මා අසලට පැමිණ කිව්වා 'ගණේමුල්ලේ සංජීව' අරන් ආවා කියලා. මම සැකකරුව සිරමැදිරියට දාන්න කිව්වා. ඒ වෙලාවේ බන්ධනාගාර නිලධාරියා කිව්වා මේ සැකකරුට හතුරෝ ඉන්න නිසා කූඩුවේ දාන්න බෑ කියලා. පස්සේ බංකුවේ වාඩි කරන්න කිව්වා. මහේස්ත්‍රාත්වරිය විමසුවොත් ඔබතුමාල ම හේතු පැහැදිලි කරන්න කියලත් මම බන්ධනාගාර නිලධාරියාට පැවසුවා. පසුව මේ සැකකරුව බංකුවේ වාඩි කෙරෙව්වා. නඩු තිහක් පමණ skype තාක්ෂණය ඔස්සේ ගත්තාට පසුව skype සම්බන්ධතාවය බිඳ වැටුණා. පසුව ගණේමුල්ල සංජීවගේ නඩුව කැඳෙව්වා. විත්තිකරු විත්ති කූඩුවට ඉදිරිපත් කළා."
"ඒ වෙලාවේ මහේස්ත්‍රාත්තුමිය සැකකාර ගණේමුල්ලේ සංජීවගෙන් විමසුවා නඩුවට ඇප තිබ්බද කියලා. ඒ වෙලාවේ ගණේමුල්ලේ සංජීව සඳහන් කළා ඇප තියන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරියාගෙන් ප්‍රශ්න කළා අධිකරණ නියෝග නැතුව ඇයි මේ සැකකරු රැගෙන ආවේ කියලා."
"ඊට පිළිතුරු දීම සඳහා බන්ධනාගාර නිලධාරියා ඉදිරියට පැමිණියා. ඔහුට නවය කියන වචනය පමණයි කියන්නට ලැබුණේ. එකපාරට ම වෙඩි ශබ්ද තුන හතරක් ඇසුණා. ඇතුළේ සිටි පිරිස කෑ ගහන්න පටන් ගත්තා. නීතිඥ ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් විත්ති කූඩුව පැත්තට හැරිලා යමක් කරනව දැක්කා. ඒ සමග තමයි වෙඩි ශබ්ද ආවේ." පොලිස් කොස්තාපල්වරයා පැවසීය.
"මම ඒ පුද්ගලයාගේ මුහුණ දැක්කේ නෑ. නිල් පාට ටයිපටියක් ඇඳ සිටියා. පසුව ඒ පුද්ගලයා දොර ඇරගෙන පිට ට පැන ගියා. අතේ මොකුත් තිබ්බේ නෑ. පසුව මම විනිසුරු ආසනය දෙස බැලුවා. එහි විනිසුරුතුමිය හිටියේ නෑ. පසුව අපි පරීක්ෂා කළා. පසුව විනිසුරුතුමිය බෙන්ච් එක යට තමයි සිටියේ. පසුව අපි ඇයව ආරක්ෂිතව නිල මැදිරියට රැගෙන ගියා. මහේස්ත්‍රාත්තුමිය කම්පනයකට පත්වී සිටියා.පසුව වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකාර ගණේමුල්ලේ සංජීව විත්ති කූඩුව තුළ උඩුබැලි අතට අතට වැටී සිටියා." යනුවෙන් සඳහන් කළේය.

'ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා කෑ ගැහුවා'
ඉන් අනතුරුව සාක්ෂි දුන් සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සිටි නීතිඥවරයෙකු වන ප්‍රියන්ත පුෂ්පකුමාර සමරනායක සාක්ෂි දෙමින් තමන් සිද්ධිය වූ දින පෙරවරු 8.30 ට පමණ අධිකරණ ශාලාව තුළට පැමිණි බව පැවසීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"පෙරවරු 9.30 ට පමණ නඩු කටයුතු ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී උස පුද්ගලයෙකු ෆයිල් කවරයකින් මුහුණ වසාගෙන අධිකරණ ශාලාව තුළට පැමිණියා. ඔහුගේ ඇස් විතරයි මම දැක්කේ. මම මේ පුද්ගලයා නීතිඥවරයෙක් කියලා හිතුවේ නෑ. මම හිතුවා මේ පුද්ගලයා සී.අයි.ඩී එකේ හෝ නාකොටික් එකේ ඔෆිසර් කෙනෙක් කියලා. පසුව ගණේමුල්ලේ සංජීවගේ නඩුවක් කැඳෙව්වා. බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුව විත්ති කූඩුවට ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්තුමිය ඇහුවා සැකකරු ගෙන් ඇප තියල ද කියල. ඔහු කිව්වා ඇප තියන්නේ නැහැ කියලා. පසුව මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසුවා අධිකරණ නියෝග නැතුව ඇයි අරන් ආවේ කියලා. ඊට බන්ධනාගාර නිලධාරීන් යමක් ප්‍රකාශ කළා. ඒ සමගම අර උස පුද්ගලයා පිටිපස්සෙන් යමක් අරගෙන සංජීව දෙසට එල්ල කළා. ඒ සමඟම වෙඩි සද්ද ආවා. වෙඩි සද්ද පහක් පමණ ඇසුණා. පසුව ඒ පුද්ගලයා පිස්තෝලය බිම දමා දොර ඇරගෙන පිටව ගියා. පසුව රුක්ෂාන් කියන නිලධාරියා 'ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා' කියලා කෑ ගැහුවා. කට්ටිය කෑගහන්න පටන් ගත්තා. සංජීව කූඩුවේ වැටිලා හිටියා මම දැක්කා" යනුවෙන් සඳහන් කර සිටියේ ය.
ඉන් අනතුරුව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් අනුර විජේසිරි සාක්ෂි ලබා දුන්නේ ය.
ඔහු සඳහන් කළේ වෙඩි තැබීම සිදු වූ ඉකුත් 19 වැනිදා පෙරවරු 9.15 ට පමණ තමා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාව තුළට පැමිණි බව ය.
" එදා පෙරවරු 9.30 ට පමණ අධිකරණ කටයුතු ආරම්භ වුණා. එදින skype තාක්ෂණය ඔස්සේ නඩු විමසීම යෙදී තිබූ නිසා අධිකරණ ශාලාව තුළ සිටි සිවිල් පුද්ගලයින් ඉන් ඉවත් කළා. අධිකරණ කාර්යය මණ්ඩලය, බන්ධනාගාර නිලධාරින්, පොලිස් නිලධාරීන් හා නීතිඥවරු අධිකරණය තුළ රැඳී සිටියා. පෙරවරු 9.45 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවෙකු අධිකරණය තුළට අරන් ආවා. පසුව ඔහුව බන්ධනාගාර සිර මැදිරිය අසල බංකුවක වාඩි කළා. පසුව ඔහුගේ නඩුව කැකැඳෙව්වා. පසුව නීතිඥ මහත්තයෙක් වගේ හිටපු කෙනෙක් විත්ති කූඩුවේ සිටි සැකකරු වෙත වෙඩි ප්‍රහාර එල්ල කළා. වෙඩි තැබීම් පහක් පමණ සිදු කළා. ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා උසාවිය ඇතුළේ හිටපු කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා. පසුව වෙඩි තැබූ පුද්ගලයා දොර ඇරගෙන පලා ගියා. ඒ වෙලාවේ එස්.ටී.එෆ් නිලධාරීන් ආවා. සිවිල් පුද්ගලයෝ පඩිපෙළේ වැටී සිටියා. එස්.ටී.එෆ් නිලධාරීන් පඩිපෙළේ ඉන්නවා දැක්කා" යැයි සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ ය. පසුව විත්තිකූඩුව අසළ රිවෝල්වරයක් වැනි ගිනි අවියක් තිබෙනවා මම දැක්කා." යනුවෙන් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ලබන 27 වන දා දක්වා කල් තිබිණි.














