ගල්කිස්ස අධිකරණ භූමියේ නීතිඥ - පොලිස් ගැටුම සමථ මණ්ඩලයට: අධිකරණයේදී හෙළි වූ කරුණු

පසුගිය ඔක්තෝබර් 10 වැනි දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමීය තුළදී පොලිස් නිලධාරියෙකුට නීතිඥවරයෙකු විසින් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ විශාල ලෙස හුවමාරු විය.
එහිදී අදාළ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරකුට පහර දුන් බවට චෝදනා කරමින් නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් කරන චෝදනාවක් එම වීඩියෝවේ අන්තර්ගත විය.
    • Author, බීබීසී සිංහල

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.

සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සිදු කිරීමේදී පැමිණිලිකාර නීතිඥ සංජීව ඇන්තනීගේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි පැමිණිලිකරුට සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් පහර දීමක් සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී නොමැති බව ගල්කිස්ස පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙන ලදි.

"මම වාහනේ ගන්න කිව්වා මට අනම් මනම් කිව්වා. මම දෙකක් ඇන්නා," යනුවෙන් සිද්ධිය වූ අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයා පවසන වීඩියෝවක් පැමිණිලිකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් සිල්වා 'සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොඩි ගමකින් පැමිණි දුප්පත් මිනිසෙක් බවත්, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ වසර හයක් සේවයේ නියුතුව සිට ඇති බවත් මීට පෙර කිසිදු විනය චෝදනාවකට ලක්වී නොමැති පුද්ගලයෙකු බවටත්' පවසමින් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ඉල්ලා සිටියේය.

සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සීසීටීවී දර්ශන ලබා ගැනීමට ගල්කිස්ස පොලිසිය අවසර ඉල්ලා සිටියද අධිකරණ භූමියේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය අක්‍රීයව පවතින බැවින් සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන කිරීමට හැකියාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.

ඒ අනුව සැකකාර කොස්තාපල්වරයා ඇප මත මුදාහැරීමටත් දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නොවැම්බර් මස 17 වන දින නැවත නඩුව කැඳවීමට නියෝග කළේය.

ඉන් අනතුරුව නීතිඥ ගුණරත්න වන්නිනායක පොලිසියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සහ පොලිස් විමර්ශනවලට දායක වී නොමැති බවට කරුණු වාර්තා කරමින් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් නීතිඥවරයාට එරෙහිව අද ( ඔක්තෝම්බර් 13 වැනිදා) දින නඩුවක් ගොනු කරන ලදී.

සාපරාධී බලහත්කාරය පෑම, රාජකාරියට බාධා කිරීම , ප්‍රසිද්ධ ස්ථානයක පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරීම, ආදී සියලුම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අවශ්‍ය කරුණු ඉදිරිපත්ව ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේදී අධිකරණ භූමියේ රැදී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇති බවත් සැකකාර නීතිඥවරයාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා නීතිඥවරයාට පසුගිය 12 වන දින ගල්කිස්ස පොලිසියේ පෙනී සිටින ලෙසට දන්වා තිබුණද මේ වන තෙක් ම නීතිඥවරයා පොලිසියේ පෙනී නොසිටි බවත් නීතිඥවරයාගේ දුරකථනය පවා මේවන විට ක්‍රියාවිරහිතව ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා රටින් පලා යෑමට කටයුතු කරන බවට බුද්ධි අංශ වෙත කරුණු වාර්තා වී ඇති බවත් ගල්කිස්ස පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

'ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක යනු අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් බවත්, රටින් පලා යෑමේ අවශ්‍යතාවයක් ඔහුට නොමැති බවත්' පවසමින් නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේය.

කෙටි දිනක් ඇතුළත ගල්කිස්ස පොලිසියට පැමිණ විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීමට සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට නියෝග කරන ලෙසට ගල්කිස්ස පොලිසිය කරන ලද ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර නීතිඥවරයා විමර්ශනවලට සහයෝගය ලබා නොදෙන්නේ නම් අත්අඩංගුවට ගැනීමක් කරන බවට ගල්කිස්ස පොලිසිය පැවසු අවස්ථාවේදී ඒ සඳහා තමාගේ විරුද්ධත්වයක් නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දන්වා සිටියේ ය.

සැකකාර නීතිඥවරයාගේ දුරකථන වාර්තා ලබා ගැනීමටත්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසත් ගල්කිස්ස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කරන ලදී.

සිද්ධියට අදාළ නීතිඥවරුන් දෙදෙනා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අද දින ගොනු කරන ලද නඩුවට අදාළව නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ විසින් නොතිසි භාරගනු ලැබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා පෙනී සිටි අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න පෙනී සිටියේය.

සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සම්බන්ධ නඩුව ද නොවැම්බර් මස 17 වන දින නැවත කැඳවීමට නියමිතයි.

අධිකරණ භූමියේදී සිදු වුණේ කුමක් ද?

නඩු කටයුත්තකට සහභාගි වී අධිකරණ භූමියෙන් පිටත් වීම සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් පිරිසක් රැගත් මෝටර් රථය ධාවනය කිරීමේදී අධිකරණයේ ප්‍රධාන දොරටුව අසල රාජකාරීයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බන්ධනාගාර බස් රථය අවහිර නොවන අන්දමට මෝටර් රථය පැදවූ නීතිඥවරයාට මෝටර් රථය ඉදිරියට ගැනීමට දුන් උපදෙස් සමඟ ඇතිවූ කතාබහක් දුරදිග යාමේදී නීතිඥ ගුණරත්න වන්නිනායකගේ මුහුණ ඉදිරියට පොලිස් කොස්තාපල්වරයාගේ අත යොමු කරන අවස්ථාවේ දී මෝටර් රථයේ සිටි නීතිඥවරයෙකු විසින් පොලිස් කොස්තාපල්වරයාගේ අත ඉවතට තල්ලු කල බවත් ඒ සමගම පොලිස් කොස්තාපල්වරයා විසින් එකී නීතිඥවරයාගේ මුහුණට අත මිට මොළවා පහර දුන් බවටත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මඩුල්ල සැකකාර පොලිස් කොස්තාපල්වරයා පසුගිය ඔක්තෝම්බර් 10 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී අධිකරණය හමුවේ කියා සිටියේ ය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා එදින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටිය අතර තමන් විසින් පහර දීමක් නොකළ බවට කොස්තාපල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ නිල නිවේදනයක දැක්වෙන්නේ 2025 ඔක්තෝබර් 10 වන දින ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇතිවූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට පැමිණිල්ලක් ලැබීමෙන් පසුව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ය.

එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඔක්තෝබර් 11 වන දින ය.

එමෙන් ම සමාජ මාධ්‍යයේ හුවමාරු වූ වීඩියෝවක නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් ඒ මොහොතේ පොලිස් නිලධාරීන් හට බැණ වදින ආකාරය දැක්වේ.

එහිදී එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු පොලිස් නිලධාරීන්ට පවසන අතර, පොලිස්පතිවරයා විය හැකි අයෙකු ඇමතීමට උත්සහ කරන ආකාරයක් දැක්වේ.

ඒ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරන බවට පවසමින් ය.

අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනුණේ ඒ අනුව ය.

ඉන්පසුව ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔක්තෝබර් 12 වන දින නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කිසිඳු මැදිහත්වීමක් සිදු කර නොමැති බව යි.

"මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිඳු විටෙක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිතුමා විසින් නියෝගයක් ලබාදී නොමැත. නමුත් පොලිස්පතිතුමන් විසින් ඉහත නිලධාරින් අමතන විට ත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි," යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ගුණරත්න වන්නිනායක නීතිඥවරයාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවසට ද ඊයේ දින පොලීසිය විසින් පැමිණ තිබිණි.

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇප ලැබූ පොලිස් කොස්තාපල් පිළිගෙන ජනතාව කර මතින් රැගෙන යයි

අපක්ෂපාතී පරීක්ෂණයක්

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ත්‍රිකුණාමලයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කරන ලදී.

"ඔබ දන්නවා අපි බලයට පත් වුණාට පස්සේ පොලිසිය දේශපාලනීකරණයෙන් නිදහස් කරලා පොලිසියට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් පරිසරය උදා කරලා දුන්නා. ඒ නිසා පොලිසියෙ සියලු දෙනා ධෛර්යසම්පන්නව තමන්ගේ වැඩ කරමින් ඉන්නවා," ඔහු පැවසුවේ ය.

"පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විදිහට උසාවි භූමිය තුළ රාජකාරී සඳහා ඔවුන්ව යොදවලා තිබුණා. එවැනි රාජකාරියක දී සිටි නිලධාරියෙකු සම්බන්ධයෙන් මේ වෙනකොට ඔහුගේ පාර්ශවයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. අපි පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කියන්න කැමතියි ඒ පොලිස් නිලධාරියාට අගතියක්, අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පොලිසිය භාර ඇමතිවරයා හැටියටත් පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් පෙනී සිටින්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් මැදිහත්වීමක් කරනවා."

එමෙන් ම ඒ වන විට පොලිස් නිලධාරියා බන්ධනාගාර ගත කර ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන නමුත් ඒ මොහොතේ නීතිඥවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව ඔහු පැවසුවේ ය.

"කොහොමවුණත් ඒ වෙලාවේ ඒ ආරවුලට මුල් වුණ නීතිඥවරයාගේ හැසිරීම පිළිබඳව අපි මේ වෙලාවේ දැඩි කනස්සල්ල පළ කරනවා."

ඒ මොහොතේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර, ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව ය.

"පොලිසියේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා ඒ අවස්ථාවේ පොලිසිය හරියට කටයුතු කරලා තියෙනවද කියලා බලන්න. ඒ වගේ ම දැනට අපක්ෂපාතී අපරාධ විමර්ශනයක් සිදු කරනවා," පොලිස්පතිවරයා පැවසුවේ ය.

එමෙන් ම පොලිස්පතිවරයා එදින සිදුවීමට සම්බන්ධ නීතිඥවරයා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේ ය.

"නීතියට උඩින් කිසිවක් නෑ. ආප්තයක් තියෙනවා ඔබ කොච්චර උස වුණත් ඔබට ඉහළින් තමයි නීතිය තියෙන්නේ කියලා. එම නිතිඥවරයාගේ හැසිරීමෙන් එම නීතිඥවරයා නිරුවත් වුණා පමණක් නෙවෙයි සමස්ත නීතිඥ ප්‍රජාවම නිරුවත් වුණා. එවැනි නිරුවත් නීතිඥවරයෙකු වෙනුවෙන් සමස්ත ගුණගරුක, නීතිය අගය කරන නීතිඥවරුන්ට පෙනී ඉන්න බෑ. අශෝභනයි, අසික්කිතයි," පොලිස්පතිවරයා පැවසුවේ ය.

මේ අතර මේ වන විට ගල්කිස්ස පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත මාරු කර තිබේ.