Tatoo ගහගෙන ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි කළ හැක්කේ කාට ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
''පච්චා'' එසේත් නැතිනම් ටැටූ ගැසීම කලාවක් ලෙස අද වන විට ලෝකය පුරා ජනප්‍රියව පවතින අතර ගැහැනු, පිරිමි භේදයකින් තොරව සිරුරේ ටැටූ නිර්මාණ සිය සිරුර මත සිතුවම් කර ගන්නා බොහෝ දෙනෙක් මෙරට සිටිති.
එමෙන් ම මතකයන්, විශේෂ සිදුවීම් සහ වෙනත් අර්ථ සහිතව හෝ රහිතව මෙන් ම විලාසිතා සඳහා ද බොහෝ දෙනෙක් ශරීරයේ විශාලතම අවයවය වන සමෙහි පච්චා නිර්මාණ සිතුවම් කර ගනිති.
අද වන විට සමට පමණක් සිමා නොවී දිව, ඇස් වැනි ශරීරයේ විවිධ අවයවවල ද පච්චා කොටා ගැනීම සිදුවෙයි.
ශරීරයේ පච්චා ගසා ඇති පුද්ගලයින්ට ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වීම සඳහා අවස්ථාව හිමි නොවන බවට පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන් අතර අන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇත.
"ශරීරයේ ලොකු ම අවයවය හම, ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඇගේ පච්චයක් කොටලා තිබුණොත් ලංකාවේ පොලිසියේ රස්සාවකට ගන්නේ නැහැ. ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඇඟේ ටැටූ එකක් තිබුණොත් කිසි ම ත්‍රිවිධ හමුදාවකට ගන්නේ නැහැ. ඇයි?, ශරීරයේ ලොකු ම අවයවය හම. ඒ හම විනාශ කර ගන්නවා කියන්නේ හොඳ වැඩක් නෙවෙයි," යැයි එම පොලිස් පරීක්ෂකවරයා සිය ප්‍රකාශයේදී පවසයි.
එම ප්‍රකාශය සහිත විඩියෝව ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ ද පළ කර තිබූ අතර එයට ද බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබූ අතර එම ප්‍රතිචාරවලට නිල ෆේස්බුක් පිටුවේ පහත පරිදි පිළිතුරු දී තිබිණි.
"කවුරුත් මේ අදහසට කලබල වෙන්න එපා. පච්චා ගහපු අයට කරන අපහාසයක් නෙමෙයි. පොලිසියෙත් සමහර අවශ්‍යතා අනුව පච්චා ගහපු අය ඉන්නවා. විශේෂයෙන් බුද්ධි අංශවල සේවය කරන නිලධාරීන්. මේ කියන්නේ බදවා ගැනීමේදී බලන දෙයක්. සමට හානි කර ගැනීම හා වීම ආරක්ෂක අංශවලදී බඳවා ගන්නකොට විශේෂයෙන් ම සලකා බලනවා. නැතුව පච්චා ගහගෙන ඉන්න අය නරක මිනිසුන් කියන අදහස මෙතන නැහැ."
'නිල ඇඳුමක් අඳින කෙනෙකුට ඒක සුදුසු නැහැ'
කෙසේ වෙතත් සමාජයේ කතා බහට ලක් වූ එම මතෘකාව සම්බන්ධව බීබීසී සිංහල විසින් තවදුරටත් කරුණු සොයා බැලීමක් සිදු කරන ලදී.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"අපි පොලිසිය විදියට ටැටූ එහෙම නැතිනම් පච්ච ගැසීම කියන එක හෙළා දකින්නෙවත් ඒක නරක ක්‍රියාවක් විදියටවත් අපි දකින්නේ නැහැ. හැබැයි නිල ඇඳුමක් අඳින කෙනෙකුට ඒක සුදුසු නෑ, ඒ ඇඳුමත් සමග සිටිම සුදුසු නෑ කියන තර්කයේ තමයි අපි දැනට ඉන්නේ. ඉදිරි කාලයේ අනාගතයේ දී ලෝකය වෙනස් වීමත් එක්ක ඒවා වෙනස් වෙන්නත් පුළුවන්." යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසුවේය.
පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයක් හරහා සියලුම පොලිස් නිලධාරින් පච්ච ගසා තිබුණහොත් විනයානුකූල පියවර ගන්නා බවට දැනුම් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
"පච්ච ගහලා තියෙනවා නම් එවැනි කෙනෙක් පොලිසියට බඳව ගන්නෙත් නැහැ. පොලිසියට බැඳීමෙන් අනතුරුව යම් කිසි කෙනෙක් ටැටූ ගැහුවොත් අපි ඔහු සම්බන්ධව විනයානුකූලව ක්‍රියා කරනවා. මේක පොලිස්පතිතුමා විසිනුත් නියෝගයක් විදියට පොලිස්පති චක්‍රලේඛයකින් සියලූම පොලිස් නිලධාරීන්ට දැනුම් දීලා තිබෙනවා"
ශරිරයේ නිල ඇඳුමට නිරාවරණය නොවන ස්ථානයක පච්ච ගසා ඇති බවට තොරතුරක් ලැබී ඒ පිළිබඳව අනාවරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පෙන්වා දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
පච්චා ගහගෙන පොලිසියේ ඉන්නේ කවුද?
කෙසේ වෙතත් නිල ඇඳුම් රහිතව විශේෂයෙන්ම බුද්ධි අංශයට අනුයුක්ත ඇතැම් පිරිස් ශරීරයේ පච්ච ගසා ගෙන ඇති අවස්ථා නිරීක්ෂණය වී ඇති බැවින් බීබීසී සිංහල විසින් ඒ පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසීමක් කරන ලදී.
"නිල ඇඳුමෙන් පරිබාහිර කණ්ඩායම් අපි ළඟ ඉන්නවා. අපි එක් එක් අරමුණු සඳහා ඔවුන් යොදවාගෙන ඉන්නවා. ඔවුන් සම්බන්ධයෙන් නිල ඇඳුම අඳින නිලධාරින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ."
"නිල ඇඳුම අඳින කෙනා කොණ්ඩය කොටට කපන්න ඕනේ, සපත්තු පළඳින්න ඕනේ. නමුත් ඒ ආකාරයට අපිට තොරතුරු ලබා ගැනීම වගේ අවස්ථාවක දී ඒ විදියට කෙනෙක් යැව්වොත් තොරතුරු ගන්න බැරි වෙනවා." යනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැහැදිලි කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පච්චයක් සහිතව පොලිසියට බඳවා ගත් පළමු පොලිස් පරීක්ෂකවරයා
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වූ කුසල් ජනිත් පෙරේරා (ප්‍රධාන පොලිස් පරීක්ෂක), චාමර සිල්වා (ප්‍රධාන පොලිස් පරීක්ෂක), නුවන් ප්‍රදීප් (පොලිස් පරීක්ෂක) සහ අශේන් බණ්ඩාර (පොලිස් පරීක්ෂක) 2024 ජනවාරි මාසයේ ශ්‍රී ලංකා පොලිස් සේවයට බඳවා ගනු ලැබිණි.
ඒ අතරින් පොලිස් පරීක්ෂක තනතුරට බඳවා ගත් අශේන් බණ්ඩාර ගේ වම් අතෙහි පච්චයක් දක්නට ලැබුණ අතර පොලිස් නිල ඇඳුමෙන් සැරසී පච්චයක් ප්‍රදර්ශනය කරන ශ්‍රී ලංකා පොලිසියේ පළමු පොලිස් පරීක්ෂකවරයා ඔහු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
"ක්‍රීඩා කොට්ඨාසයට ක්‍රීඩාවක් සඳහා අනුයුක්ත කරන කෙනෙක් පොලිස් රාජකාරියක් කරන්නේ නැහැ. ඔහු කිසිසේත්ම ක්ෂේත්‍රයේ ගිහිල්ලා පොලිස් නිලධාරියෙක් කරන විදියට අපරාධ මැඩලීම වැනි කර්තව්‍යයක් කරන්නේ නැහැ. ඔහු කරන්නේ ක්‍රීඩා කරන එක විතරයි. ක්‍රීඩාවකින් යම් කිසි ස්ථාවරත්වයක් ගත්ත කෙනෙක් බඳවා ගැනීමේ දී ඔහු නිල ඇඳුමක් අඳින්නේ නැහැ. ඔහු නිල ඇඳුමක් අඳින්නේ පළමු අවස්ථාවේ දී විතරයි නැතුව ඔහු සමාන්‍ය යුනිෆෝම් එකක් ඇඳගෙන පොලිස් රාජකාරි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ." යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම සිදුවීම සම්බන්ධව කළ විමසීමට පිළිතුරු දුන්නේය.
"සමාන්‍ය පුද්ගලයෙක් ඔහුගේ ඇගේ ටැටූ එකක් ගහගෙන ඉන්නවා නම් එවැනි කෙනෙක් හෙළා දැකීමක් හෝ එවැනි කෙනෙක්ව අඩු කොට සැලකීමක් අපි කරන්නේ නැහැ." යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේය.














