'යුක්තිය අතරතුර වැරදීමකින් පුද්ගලයෙකුට මාංචු දමා ප්‍රශ්න කළ' පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සමාව ඉල්ලති

The Sri Lankan Supreme Court Complex is pictured on November 11, 2018 in Colombo, Sri Lanka.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි සිතා 'යුක්තිය' මෙහෙයුම අතරතුර වැරදීමකින් නීතිඥවරියකගේ රියැදුරෙකු මහ මගදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අද (ඔක්තෝබර් 3) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ පුද්ගලයාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියහ.

කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ් රාජපාණ්ඩි නමැති එම පුද්ගලයා විසින් ගොනුකරනු ලැබ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ඉල්ලීම සිදුවිය.

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම කැඳවනු ලැබිණි.

මීගමුව පොලිස් ස්ථානයට සම්බන්ධ පොලිස් සැරයන්වරුන් වන දිසානායක, ප්‍රේමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන රත්නසිරි, සේනාධීර සහ නානායක්කාර යන නිලධාරීහු මෙලෙස සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගත්හ.

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් ජනවාරි මස 16 වන දා තමන් මීගමුව අධිකරණයට ගොස් යළි මෝටර් රථයෙන් පැමිණෙමින් සිටි අවස්ථාවේදී යතුරුපැදිවලින් පැමිණි, සිවිල් ඇඳුමින් සැරසී සිටි පිරිසක් තම මෝටර් රිය ඉදිරියෙන් මාර්ගය හරස්කොට නැවැත්වූ බව ය.

ඉන් අනතුරුව "අපි පොලිසියෙන්," යැයි සඳහන් කළ සිවිල් ඇඳුමින් සැරසි සිටි එම පිරිස තමන්ව පරීක්ෂා කර දෑත්වලට මාංචු දැමූ බව ත් තම දකුණු අතේ "පච්චයක්" තිබේදැයි පරීක්ෂා කළ බව ත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

තම අතේ "පච්චයක්" නොමැති බව තහවුරු වීමෙන් පසුව, "මෙයා නෙවෙයි.. වැරදීමක්," යනුවෙන් සඳහන් කර එම පිරිස පිටව ගිය බව ද පෙත්සම්කරු පැවසීය.

අදාළ නිලධාරීන් පිරිස මීගමුව පොලිසියට අනුයුක්ත පිරිසක් යැයි පසුව සිදුකළ සොයා බැලීම්වලදී කරුණු තහවුරු කරගත් බව ත් ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බව ත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබ තිබිණි.