පොලිස් රථවාහන නිලධාරීන්ගේ සහ රියැදුරන්ගේ වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සියලු ම පොලිස් රථවාහන නිලධාරීන් සඳහා සිරුරේ පැළඳිය හැකි කැමරා ලබා දීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වූ වහා ම රථවාහන පොලිසියේ නිලධාරීන් සඳහා සිරුරේ පැළඳිය හැකි කැමරා මිල දී ගැනීමට නියමිත බව ය.
පොලිස්පතිවරයාගේ සංකල්පයක් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
රථවාහන පොලිස් නිලධාරීන්ට කැමරා ලබා දෙන හේතුව
පොලිස් නිලධාරීන්ගේ රාජකාරිමය වගකීම තහවුරු කිරීම සහ දූෂණය වළක්වමින් විනිවිදභාවයෙන් යුක්තව රාජකාරි කිරීම සඳහා ඉඩ සැලසීමේ අරමුණින් සිරුරේ පැළඳිය හැකි කැමරා ලබා දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ ය.
"ගොඩක් වෙලාවට රියැදුරන්ගෙන් රථවාහන රාජකාරියේ නිරත වෙලා ඉන්න නිලධාරීන්ට චෝදනා එල්ල වෙනවා. දූෂණය වළක්වමින් විනිවිදභාවයෙන් යුතුව රාජකාරිය කිරීමට අවකාශය සැලසීම වෙනුවෙන් රථවාහන රාජකාරියේ යෙදී ඉන්න සියලු ම පොලිස් නිලධාරීන්ට මේ කැමරා ලබා දීමේ අරමුණ වෙන්නේ."
''සමහර වෙලාවට පොලිස් නිලධාරියා හරි වෙන්න පුළුවන්, රියැදුරා වැරදි වෙන්න පුළුවන්, රියැදුරා හරි ගිහින් නිලධාරියා වැරදි වෙන්න පුළුවන්. ඒ වගේ ම නිලධාරීන් අතින් සිදුවන වැරදිත් මෙම කැමරාවල පටිගත වීම හරහා සියලු දෙනාගේ වගවීම තහවුරු වනවා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිළි කළේ ය.
රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ලබා දෙන සිරුරේ පැළඳිය හැකි කැමරාවල පටිගත වන දර්ශන අදාළ පොලිස් ස්ථානවල ගබඩා කිරීම සහ ඒවා පරික්ෂා කරන්නේ කෙසේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට නියමිත බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Police
බීමත් රියැදුරන් සෙවීමේ උපකරණවල හිඟයක්
බීමත් රියැදුරන් සඳහා ශ්වසන පරීක්ෂණ සිදුකරන උපකරණ ඉදිරි සති 2-3 තුළදී පොලිස් ස්ථාන වෙත ලබාදීමට හැකි වනු ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ ය.
"බීමත් රියැදුරන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන්න අවශ්‍ය උපකරණවල හිඟයක් සමස්ත පොලිස් කොට්ඨාස 48 ම තියෙනවා. මේ වෙන කොට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වෙලා තියෙන නිසා ඉදිරි සති 2-3 වගේ ඇතුළත එම උපකරණ කට්ටල අදාළ පොලිස් ස්ථාන වෙත ලබා දෙන්න හැකියාව තියෙනවා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
මේ අතර, රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන්ට පැනවෙන දඩ මුදල් ගෙවීමේදී ඊට අදාළව රථවාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් සතුව ජංගම දුරකතන නොමැති බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ද බීබීසී සිංහල සේවය විමසීමක් කළ අතර එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"සමස්ත බස්නාහිර පළාත, දක්ෂිණ අධිවේගී මාර්ගය, කුරුණෑගල, අනුරාධපුර සහ දඹුල්ල යන ප්‍රදේශවල ඔන්ලයින් දඩ මුදල් ගෙවීමට අදාළ ක්‍රියාවලිය මේ වෙද්දී සම්පුර්ණයෙන් ම ක්‍රියාත්මක යි. ඒ වගේ ම ඉදිරියේදී අනෙක් ප්‍රදේශවල මෙම කටයුතු කරන්න අවශ්‍ය වට්ස්ඇප් පහසුකම් සහිත ජංගම දුරකතන ලබා දීමට පොලිස්පතිවරයාගේ අවධානය යොමු වෙලා ඒ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා."














