රිය අනතුරු: මිනිස් ජිවිතයකට හානියක් සිදුවිය හැකි මාරක වේගය කොපමණද ?

ඡායාරූප මූලාශ්‍රය, Facebook
වාහන අධික වේගයෙන් ධාවනය කිරීම සහ මාරක රිය අනතුරු සම්බන්ධයෙන් පසුගිය දිනවලදී මෙරට සමාජය තුළ විශාල කතාබහක් විය.
එයට හේතු වූ එක් ප්‍රධාන සිදුවීමක් වුයේ පසුගිය ජනවාරි මස 25 වෙනිදා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජිවිතක්ෂයට පත්වීමේ සිදුවීමයි.
එම අනතුර සිදු වී දිනකට පසුව එනම් පසුගිය ජනවාරි මස 26 වෙනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සිදු වූ තවත් රිය අනතුරකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු ජිවිතක්ෂයට පත්විය.
එමෙන්ම ඉකුත් ජනවාරි මස 27 වෙනිදා නාරම්මල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් ලොරියක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
රිය අනතුරු සම්බන්ධයෙන් රියැදුරන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳ බීබීසී සිංහල සේවය විසින් විශේෂඥ දැනුම සහිත පුද්ගලයින්ගෙන් තොරතුරු විමසීමක් සිදුකරන ලදී.
'උපරිම වේගය ආරක්ෂාව දෙන්නේ නැහැ'
බොහෝ රියැදුරන් තමන් ධාවනය කරන වාහනයේ තිබෙන වේග මාපකයේ පෙන්වා තිබෙන උපරිම වේගයට වාහනය ධාවනය කිරීමට උත්සුක වනවාදැයි ප්‍රශ්නාර්ථයක් සමාජයේ මතුව ඇත.
වාහනයක වේග මාපකයේ සඳහන්ව තිබෙන උපරිම වේගයට අනුව වාහනය ධාවනය කිරීම ආරක්ෂා සහිත දැයි බීබීසී සිංහල සේවය විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු සම්මානනීය මහාචාර්ය අමල් කුමාරගේ ගෙන් විමසීමක් සිදුකරන ලදී.
එහිදී ඔහු පැවසුවේ වාහනයක වේග මාපකයේ දක්වා තිබෙන උපරිම වේගයට වාහනය ධාවනය කිරිමේදී ඇතිවන අනතුරකින් ඒ තුළ ගමන් කරන පිරිසට ආරක්ෂාවක් ලැබෙන බවට සහතික කළ නොහැකි බවයි.
"වාහනයක වේග මාපකයේ පැයට කිලෝමීටර් 200ක වේගයෙන් යන්න පුළුවන් කියලා සඳහන් වුණාට ඒ වේගෙටම වාහනය ධාවනය කරන්න රියදුරුට හැකියාව තියෙනවා වෙන්න පුළුවන්."
"නමුත් එහෙම වේගයකින් ගිහිල්ලා වාහනය යම් අනතුරකට පත්වුනොත් එතැනදී ඒකෙ ගමන් කරන අයට ආරක්ෂාව ලැබෙනවා කියලා සහතික කරන්නේ නැහැ."
"මොකද උපරිම වේගයෙන් ධාවනය වෙන වාහනයක් අනතුරට ලක්වෙන වෙලාවේදී ඒකෙ තියෙන එයාර් බෑග්, කෑෂ් බාර් වලින් ලැබෙන ආරක්ෂාව අවම වෙන්න පුළුවන්." මහාචාර්යවරයා කියා සිටියේය.
මාර්ගය නිර්මාණය කර තිබෙන උපරිම වේගය
මේ අතර මහාචාර්ය අමල් කුමාරගේ සඳහන් කළ තවත් කරුණක් වුයේ මාර්ගයක් ඉදිකිරීමේදී එහි වාහනයක් ධාවනය කළ හැකි උපරිම වේගය පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බවයි.
"අධිවේගී මාර්ගය ගත්තොත් ඒක නිර්මාණය කරලා තියෙන්නේ උපරිමය පැයට කිලෝමීටර් 120ක කියන වේගයට."
"නමුත් වාහන වලට අධිවේගී මාර්ගයේ ගමන් කරන්න කියන වේගය පැයට කිලෝමීටර් 100ක්. නමුත් ඒ කියලා තියෙන වේගයට වඩා ගිහින් වාහනයක් අනතුරට ලක්වුණොත් ඇතිවෙන තත්ත්වය නිසා සිදුවෙන්න පුළුවන් හානිය විශාලයි." ඔහු පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මිනිස් ජිවිතයකට හානියක් සිදුවිය හැකි මාරක වේගය කොපමණද ?
වෛද්‍ය විද්‍යාව අනුව මිනිස් ජිවිතයකට හානියක් ඇතිවිය හැකි මාරක වේගය පැයට කිලෝමීටර් 30ක් බව මහාචාර්ය අමල් කුමාරගේ පවසා සිටියේය.
"වාහනයක් ආරක්ෂා වෙන වේගයක් වගේම මගියෙක් ආරක්ෂා වෙන වේගයක් තියෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාව සහ ඒ සම්බන්ධ පර්යේෂණ කරපු අය කියන්නේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරිරයක් පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ඝට්ටනයක් සිදුවුවොත් ජීවිතයට හානියක් වෙන්න පුළුවන් කියලා."
"වාහනයක් පැයට කිලෝමීටර් 80 - 100ත් අතර වේගයකින් ගිහිල්ලා අනතුරක් සිදුවුණොත් එයාර්බෑග්, ආරක්‍ෂිත බෙල්ට් වලින් ලැබෙන ආරක්ෂාව නැතිවුනොත් ජීවිත හානි වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි." මහාචාර්යවරයා පැවසුවේය.
එමෙන්ම මාර්ගවල රිය ධාවනය සඳහා උපරිම වේග සීමාවන් පනවා ඇති බවත් රියැදුරන් වාහන ධාවනය කිරීමේදී එම වේග සීමාවන්ට අනුකූලව වාහන ධාවනය නොකිරීම ද ගැටලු සහගත තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
රිය අනතුරක දී වේගය බලපාන ආකාරය
මෝටර් රථයක් අනතුරට ලක්වන විටදී එම මෝටර් රථය ධාවනය වන වේග සීමාව මත වැඩි අවධානමක් පවතින බව ජ්‍යෙෂ්ඨ මෝටර් රථ ඉංජිනේරු ලාල් අලවත්ත පවසයි.
"උදාහරණයක් විදිහට අපි බැලුවොත් ලොරි රථයක් හෝ ඕනෑම වාහනයක් පැයට කිලෝමීටර් 140ක් වේගයෙන් ධාවනය වෙනවා කියලා. "
"එතැනදී පසුපසින් පැමිණෙන වාහනය පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ඇවිල්ලා අර ඉදිරියෙන් ධාවනය වෙන වාහනයේ ගැටීමකට ලක්වුණොත් එතන සිදුවන අනතුරේ බලපෑම යම් තාක් අවම වෙන්න පුළුවන්. "
"හේතුව වාහන දෙකම ධාවනය වන වේගය එක්ක තියෙන ගැප් එක පැයට කිලෝමීටර් 40ක් වගේ වීම නිසා."
"අපි මෙහෙම බලමු ඉදිරියෙන් ගමන් කරන වාහනය ධාවනය වෙන්නේ පැයට කිලෝමීටර් 80ක වගේ වේගයෙන් නම් ඒකට පස්සෙන් එන වාහනය පැයට කිලෝමීටර් 140ක් වගේ වේගයෙන් ඇවිල්ලා ඝට්ටනයක් වුණොත් එතැනදී වැඩිම හානිය වෙන්නේ පස්සෙන් ආපු වාහනයට." ඔහු පැවසීය.
අනතුරකදී බලය බෙදී යන ආකාරය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වාහනයක් අනතුරට පත්වන ස්වභාවය ද මෙහිදී වේගයට සාපේක්ෂව වැදගත් වන බව ජ්‍යෙෂ්ඨ මෝටර් රථ ඉංජිනේරු ලාල් අලවත්ත පෙන්වා දුන්නේය.
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ ජීප් රථයේ ඉදිරිපස කෙලවර කොටස ඉදිරියෙන් ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථයේ ගැටී තිබුණු බවත් එහිදී වාහනයට ඇතිවන ඝර්ෂණයේ බලපෑම එම කොටසට පමණක් එල්ල වන බව ඔහු පෙන්වා දුන්නේය.
"ඇමතිවරයාගේ වාහනය දැක්කම පේනවා ඒකෙ මුල්ලක් තමයි ඉස්සරහින් ධාවනය කරමින් තිබුණු කන්ටේනර් රථයේ වැදිලා තිබුණේ."
"එතැනදී ඇතිවෙන ඉම්පැක්ට් එක නිසයි අර විදිහට ජීප් රථයේ එක පැත්තකට විතරක් ලොකු හානියක් වෙලා රියැදුරා බේරුණේ."
"හැබැයි අපි හිතමු වාහනය කෙලින්ම ගිහින් ඉදිරියෙන් ගමන් කරපු කන්ටේනර් රථයේ වැදුණානම් එතැනදී අර ඇතිවෙන ඉම්පැක්ට් එක බෙදිලා යනවා. "
"එතකොට අර මුලින් වගේ හානියක් වීම සහ රථයේ ගමන් කරන මගීන්ට ඇතිවෙන බලපෑම යම් මට්ටමක අවම වීමක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි."
"ඉම්පැක්ට් පොයින්ට් එක, ස්පීඩ් එක මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ." ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම රිය අනතුරක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක කිහිපයක් පවතින බව මෙහිදී මෝටර් රථ ඉංජිනේරු ලාල් අලවත්ත පෙන්වා දුන්නේය.
වාහනයේ වේගය, වාහනය කාර්මික දෝෂයකට ලක්වීම, රියැදුරුගේ නොසැලකිල්ල සහ ගනු ලබන වැරදි තීරණ යන එම කරුණු වන බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම වාහනයක් කෙතරම් නවීන පන්නයේ එකක් වුවත් එහි මගීන්ට ලැබෙන ආරක්ෂාව මේ යැයි කියුවද යම් අනතුරක් සිදුවූ විට එහිදී රථයේ ගමන් කරන මගීන්ට හානියක් සිදුනොවන බවට වන සහතිකයක් කිසිදු අයෙක් ලබා නොදෙන බව ද ඔහු මෙහිදී කියා සිටියේය.
"උදාහරණයක් විදිහට බලන්න, ඩයනා කුමරිය ගමන් කරපු බෙන්ස් රථය. ඒ කාලය වෙද්දී ආරක්ෂාව අතින් තිබුණු හොදම මෝටර් රථය. අනතුරෙන් ඒ රථය කුඩු පට්ටම් වෙලා ගියේ නැද්ද ? "
"වාහනයක මොන තරම් නවීන තාක්ෂණය තිබ්බත් අනතුරකදී වාහනේ ගමන් කරන මගීන්ට ඒකෙන් හානියක් වෙන්නේ නැහැ කියලා කවුරුත් සහතිකයක් දෙන්නේ නෑ." ඔහු පැවසිය.
'අධික වේගයෙන් ගිහින් හප්පලා තියෙන්නේ'
මේ අතර සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ජිවිතක්ෂයට පත්වූ රිය අනතුරේදී කන්ටේනර් රථයේ රියැදුරු අත වරදක් නොමැති බව පෙනී යන බව රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිලිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ බීබීසී සිංහල සේවයට පැවසුවේය.
"කන්ටේනර් රථයේ පසුපස ලයිට්, සංඥා ආදිය සියල්ලම නිසි පරිදි වැඩ කරනවා."
"කන්ටේනර් රියැදුරුගේ වැරැද්දක් නැහැ. ජීප් රථයේ රියැදුරු තමයි අධික වේගයෙන් ඇවිල්ලා ලොරි රථයේ හැප්පිලා තියෙන්නේ."
"මෙතැනදී ඇමතිතුමාගේ ජීප් රථය පදවපු රියැදුරුම පොලිසියට දුන්න ප්‍රකාශයේ තියෙනවා ඔහු වාහනය පැයට කිලෝමීටර් 160ක වේගයෙන් ධාවනය කළා කියලා."
"ඒ වගේම මෝටර් රථ පරීක්ෂකවරයා ඇමතිවරයා ගමන් කරපු ජීප් රථය පරික්ෂා කරද්දී ඒකෙ වේග මාපකය පැයට කිලෝමීටර් 130කට නතර වෙලා තිබුණා කියලා."
"අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යන්න පුළුවන් වුනාට රියදුරන් දැන ගන්න ඕන තමන්ට වාහනය පාලනය කර ගන්න පුළුවන් වේගයකින් වාහනය ධාවනය කරන්න." නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
එමෙන්ම අධිවේගී මාර්ගයට වාහන ඇතුල් කිරීමේදී එම වාහනවල ගුණාත්මකභාවය ගැන නිරන්තර අවදානයෙන් පසුවන ලෙස අධිවේගී මාර්ගයේ සේවය කරන පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ද මෙහිදී නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කියා සිටියේය.








