Speed Gun: රියැදුරන්ගේ වේගය මට්ටු කරන පොලිසියේ අලුත් වේග මාපකය

ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA POLICE
මෙරට පැවති යුද්ධයෙන් මිය ගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූවන්ට වඩා වැඩි පිරිසක් දෛනිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට මෙන් ම ආබාධිත තත්ත්වයට පත් වන බව රිය අනතුරු පිළිබඳ වාර්තා නිරීක්ෂණය කිරීමේදී තහවුරු වේ.
මෙරට බහුලව සිදුවන මාරාන්තික රිය අනතුරුවලට, බීමතින් රිය පැදවීම, නොසැලකිලිමත්කම සහ අධික වේගයෙන් රිය ධාවනය හේතුවී ඇතැයි, පොලිස් සංඛ්‍යා දත්ත අනුව පෙනී යයි.
වසරේ මුල් මාස දෙකට ජීවිත 300කට වඩා අහිමි කළ රිය අනතුරු
2020 වසරේ සිට 2024 දක්වා කාලය තුළ මෙරටින් මාරක රිය අනතුරු 11,617ක් වාර්තා වී ඇති අතර බරපතළ රිය අනතුරු 33,259ක් වාර්තා වී තිබේ.
එම මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 12,322කට ජීවිත අහිමි වී ඇත.
2025 ජනවාරි 01 වැනි දා සිට පෙබරවාරි 28 වැනි දා දක්වා මාරක රිය අනතුරු 332ක් සහ බරපතළ රිය අනතුරු 843ක් වාර්තා වී තිබේ.
පොලිසිය පවසන පරිදි එම කාලය තුළ රිය අනතුරුවලින් මිය ගිය පිරිස 343කි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අධික වේගය බලන්න ඇමෙරිකාවේ නිෂ්පාදිත වේග මාපකයක්
මෙයට එක් විසඳුමක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් රථ වාහන වේග සීමා මැනීම දැනට පවතින වේග මාපකය වෙනුවට නවීන පහසුකම් වලින් යුත් 'ස්පීඩ් ගන්' (Speed Gun) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම වේග මීටරය පිළිබඳ වැඩිදුර විස්තර විමසීමට බීබීසී සිංහල රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල සම්බන්ධ කර ගත්තේ ය.
"මේක ටූ කෑම් කියලා තමයි හඳුන්වන්නේ. මේකෙ නයිට් විෂන් තියෙනවා. මේකෙන් කිලෝ මීටරයයි මීටර් දෙසියක් දුරට ස්පීඩ් එක චෙක් කරගන්න පුළුවන්."

ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA POLICE
අලුත් Speed Gun එක විශේෂ ඇයි?
දැනට භාවිත කරනු ලබන වේග මීටරයට වඩා නව වේග මාපකයේ ඇති නවීන තාක්ෂණය ගැන ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විස්තර කළේය.
"මේක එල්ල කළා ම වාහනේ අංකය සටහන් වෙනවා, රියැදුරාගේ ඡායාරූපය එනවා, වේගය එනවා."
මෙම වේග මාපකයේ වීඩියෝ දර්ශන ද ලබා ගත හැකිවීම මෙහි තවත් විශේෂත්වයක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල පැවසීය.
එමෙන් ම මෙහි රාත්‍රියේදී දර්ශන (Night Vision) ලබා ගැනිමේ පහසුකම ද පැවතීම තවත් විශේෂත්වයකි.
දැනට මෙම නවීන වේග මාපක 30ක් මෙරටට ගෙන්වා ඇති අතර ඒවා රිය අනතුරු බහුල යැයි හඳුනාගෙන ඇති පොලිස් කොට්ඨාස වෙත ලබා දී තිබේ.
"තව 15ක් ඕඩර් කරලා තියෙනවා. ඊට පස්සේ ඩිවිෂන් 45 ම හරි," යැයි රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොඨටාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල වැඩිදුරටත් කියා සිටියේය.
රථවාහන පොලිස් නිලධාරීන්ට දෙන ත්‍යාග මුදල ඉහළට
මේ අතර, රථවාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් සඳහා දැනට ලබා දෙන ත්‍යාග මුදල 25%කින් වැඩි කර තිබේ.
මාර්තු 01 වැනි දා සිට එය ක්‍රියාත්මක කර ඇති බව මාර්ග ආරක්ෂක කොට්ඨාසය සඳහන් කළේ ය.
රථවාහන නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවල කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, එම තීරණය ගත් බව වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.














