ඉහළ යන රිය අනතුරු නිසා රටේ ආර්ථිකයට ඇතිවන බලපෑම ගැන ඔබ දන්නවා ද?

 දිනෙන් දින මෙරට තුළ සිදුවන රිය අනතුරු නිසා සිදුවන පුද්ගල මරණ සහ තුවාලකරුවන් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යමින් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"වේගය මරුවා කැඳවයි" යන කියමන මෙරට ජනතාව අතර නිරතුරුවම මුවඟ රැදෙන කියමනකි.

එහෙත් දිනෙන් දින මෙරට තුළ සිදුවන රිය අනතුරු නිසා සිදුවන පුද්ගල මරණ සහ තුවාලකරුවන් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යමින් තිබේ. ඒ අතුරින් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන පිරිසද ඉහළ අගයක් ගනී.

වාර්ෂිකව මෙරට තුළ සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් අවම වශයෙන් 2,000 - 2,500ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වේ.

ගතවූ 05 වසර තුළ සිදුවූ රිය අනතුරු

2019 වසරේ සිට 2023 වසර දක්වා සිදුවූ රිය අනතුරු වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13,264ක් බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කළ දත්ත ඔස්සේ අනාවරණය වේ.

එමෙන්ම එම කාල සීමාව තුළදී සිදුව තිබෙන බරපතල අනතුරු සංඛ්‍යාව 33,470ක් බව එම වාර්තා පෙන්වා දෙයි.

‘මේක ආර්ථිකය ලොකු බලපෑමක් එල්ල වනවා’

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වැළැක්වීම පිළිබඳව විද්වත් කමිටු සභාපති සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමත් ධර්මරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙලෙස වාර්ෂිකව සිදුවන රිය අනතුරු නිසා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වන බව ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් විශාල ප්‍රමාණයක් රිය අනතුරු නිසා අහිමිවන බවයි.

"මේ රිය අනතුරු නිසා රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් ඇතිවනවා.ලෝක බැංකුව විසින් කලකට ඉහතදී කරපු ගණනය කිරීමකට අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් අහිමි වනවා"

"සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවාවන් සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව සමාන මුදල් ප්‍රමණයක් මේ රිය අනතුරු නිසා අපට අහිමි වනවා." මහාචාර්යවරයා පැවසීය.

ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත්තේ මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සහ තුවාල හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට වාර්ෂිකව ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3-5% අතර මුදලක් වැය විය හැකි බවය.

රටේ ශ්‍රම බලකායට ඇතිකරවන බලපෑම කුමක් ද?

රිය අනතුරු වලින් සිදුවන පුද්ගල මරණ මෙන්ම තුවාල ලබන පුද්ගලයින් නිසාද රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වන බව මහාචාර්ය සමත් ධර්මරත්න පැවසීය.

"මාර්ග අනතුරු වලින් බරපතල තුවාල ලබන පිරිසෙන් තුනෙන් එකක් පමණ මුළු ජිවිත කාලයටම බලපාන විදිහට ශාරීරක දුබලතාවයන්ට පත්වනවා."

"මෙතැනදී ගොඩක් මිය යන්නේ සහ තුවාල වෙන්නේ තරුණ වයසේ සිටින පිරිමි පුද්ගලයින්."

"ඒකෙන් අපේ ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල වනවා. මොකද මේ තරුණ පිරිස් තමයි ජාතික සංවර්ධනය සඳහා කෙලින්ම දායක වෙන සහ වෙන්න පුළුවන් අය."

"ඉතින් මේ විදිහට එහෙම තරුණ පිරිස් රිය අනතුරකින් තුවාල වෙලා හරි මියගියොත් නැත්නම් ජීවිත කාලයටම බලපාන අබාධයකට ලක්වුනොත් ඒකත් අපිට බලපානවා." ඔහු කියා සිටියේය.

ලෝක බැංකුවේ මහා මාර්ග ආරක්ෂාව පිළිබඳව නිකුත් කර තිබෙන වාර්තාවට අනුව රිය අනතුරු හේතුවෙන් විපතට පත්වන පිරිසෙන් තුනෙන් දෙකක් අවුරුදු 16-64ත් වන රටේ ශ්‍රම බලකායට දායකත්වය දක්වන වයස් කාණ්ඩයේ පසුවන අය බව දක්වා ඇත.

රිය අනතුරු වැඩි වීමට බලපාන හේතු මොනවාද ?

ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ 2011-2018 යන කාල සීමාව තුළ වාහන වල හිමිකාරිත්වය දරනු ලබන සංඛ්‍යාව සියයට 67ක ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව දැක්වේ.

එමෙන්ම මේ හේතුවෙන් වාහන වල විවිධත්වය සහ වේගය නිසා අවදානමට ලක්විය හැකි මාර්ග භාවිතා කරන්නන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිව බව ලෝක බැංකුව සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මෙරට සිදුවන රිය අනතුරු වලට ගොදුරු වූවන්ගෙන් 90% කට වඩා පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන් බව එම වාර්තා වේ සඳහන් ය.

එමෙන්ම මෙරට තුළ පවතින මාර්ග පද්ධතිය ද රිය අනතුරු බහුල වීමට හේතුවක් වන බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ දුර්වල මාර්ග ආරක්ෂණ කාර්ය සාධනයට හේතුව අඩු ආයෝජනය බව පෙන්වා දෙන ලෝක බැංකුව, ජාතික මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව සියයට 50 කින් අඩු කිරීම සඳහා ඉදිරි දශකය තුළ ඩොලර් බිලියන 2 ක පමණ අමතර ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි එම වාර්තාවේ සඳහන් කර තිබේ.

රටේ විදේශ විනිමයට සිදුවන බලපෑම

වාර්ෂිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් රටේ විදේශ විනිමය සංචිතයට ද බලපෑමක් එල්ල කරන බව මහාචාර්ය සමත් ධර්මරත්න පෙන්වා දුන්නේය.

ඔහු සඳහන් කළේ අනතුරු වලට ලක්වන මෝටර් රථ නැවත සකස් කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් විදේශ රටවලින් ගෙන ඒමට සිදුවන නිසා වාර්ෂිකව ඒ වෙනුවෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වන බවය.

"ඒ සඳහා අපිට ලොකු වියදමක් දරන්න වෙනවා වගේම රටේ තියෙන ඩොලර් සංචිතය ඒ සඳහා වියදම් වෙනවා. "

"මේක ලොකු ජාතික ප්‍රශ්නයක්. රිය අනතුරු සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යනවා කියන්නේ විදෙස් සංචිත ක්ෂය වනවා කියන එකට වඩා අහිමි වන ජිවිත සංඛ්‍යාව සහ සෞඛ්‍ය වියදම් එක්ක බලද්දී රටකට ඒක ලොකු පාඩුවක්." ඔහු කියා සිටියේය.

රිය අනතුරු වළක්වා ගැනීමට ගත හැකි පියවර මොනවාද ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රිය අනතුරු අවම කර ගැනීමට රටක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි බීබීසී සිංහල නගන ලද පැනයට පිළිතුරු දෙමින් මහාචාර්ය සමත් ධර්මරත්න කියා සිටියේ ඊට කෘතිම බුද්ධිය මෙන්ම ඩිජිටල් තාක්ෂණය ද උපයෝගී කර ගැනීම වැදගත් වන බවය.

"පහුගිය කාලේ අපේ රටේ පවා කෘතිම බුද්ධිය ගැන ලොකුවට කතාබහක් නිර්මාණය වෙලා තිබුණා."

"ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොකු කමිටුවක් දාලා තියෙනවා. රිය අනතුරු වලක්ව ගන්න AI තාක්ෂණයත් අපිට ප්‍රයෝජනයට ගන්න පුලුවන්."

"ඒ වගේම ගොඩක් රටවල දැන් රථවාහන වැරදි සඳහා දඩ පනවන්නේ ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන."

අපේ රටේ රථ වාහන පොලිස් නිලධාරින් සිටින පිරිස අඩුයි. උදාහරණයක් විදිහට උදේ පාසැල් සහ කාර්යාල වේලාවන් වලදී රියැදුරෙක් වැරැද්දක් කළොත් ඒකට දඩේ ලියන්න වාහනේ නතර කළොත් ඇතිවන මාර්ග තදබදය කොහොමද ?

"මේ නිසා CCTV කැමරා පද්ධති සවි කරලා මාර්ග නීති කඩ කරන අයගේ ගෙවල් වලට ෆොටෝ එකත් එක්ක දඩ කොලය යවන්න පුළුවන්. ඒක රටපුරා ක්‍රියාත්මක කළ යුතුයි.එතකොට රියැදුරන් අතර හික්මීමක් ඇති වෙයි."

"පොලිසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහා මාර්ග අමාත්‍යාංශය වෙනම වැඩ කරනවා. ඒ අය එකට එකතු වෙන්න ඕන මාර්ග ආරක්ෂාව වෙනුවෙන්. මේ නිසා ජාතික වෛද්‍ය සංගමය හැටියට අපි ඉල්ලීම් කරලා තියෙනවා බලය තියෙන ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න කියලා."

"ඒ වගේම මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කෙටි කාලින, මධ්‍ය කාලීන හෝ දිගු කාලීන වැඩසටහනක් මේ දක්වා නැහැ රටේ. ඒ නිසා වහාම අපි ඒ කටයුතු සිදුකරන්න අවශ්‍ය වෙනවා." මහාචාර්යවරයා පැවසීය.

'එකේ ප්‍රගතියක් තියෙනවා'

මේ අතර පසුගිය ජනවාරි මස 22 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිසිය විසින් මාර්ග නීති කඩ කරන රියදුරන් සොයා CCTV කැමරා යොදා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කය තුළ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදී.

එම මෙහෙයුම මැද කොළඹ, උතුරු සහ දකුණු කොළඹ ආවරණය වන පරිදි ක්‍රියාත්මක බව වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිලිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ බීබීසී සිංහල සේවයට පැවසුවේය.

වැඩිදුරටත් එම මෙහෙයුම ගැන අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ පැවසීය.

"මෙම මෙහෙයුම ආරම්භ කළ කාලයේදී දෛනිකව මාර්ග සංඥා අසලදී නීති කඩකරන රියැදුරන් 60-70ක් අතර ප්‍රමාණයක් අපට වාර්තා වුණා."

"නමුත් දැන් දැන් ඒ විදිහට වැරදි කරන පිරිසේ අඩුවක් දකින්න ලැබෙනවා. (මාර්තු 12 වැනිදා දවසේදී) ඒ ආකාරයෙන් මාර්ග නීති කඩ කරපු රියැදුරන් වාර්තා වුණේ 30 දෙනෙක් පමණයි." නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාවක්

අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලීමක් කරමින් කතානායකවරයා වෙත පසුගියදා ලිපියක් යොමු කරනු ලැබිය.

වර්තමානයේ සිදු වන මාර්ග අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත අකාලයේ අහිමි වීමත්, ඔවුන් පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන වශයෙන් ආබාධිත තත්වයට පත්වීමත් සම්බන්ධයේ එහිදී අමාත්‍යවරයා විසින් කථානායකවරයාගේ අවධානය යොමු කරවා තිබේ.

පොදුවේ රට තුළත්, එසේම පවුල් සංස්ථාව තුළත් බරපතළ ගැටලු ඇති කරන බව ද අධිකරණ අමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ, මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ අසාමාන්‍ය ලෙස මාර්ග අනතුරු ඉහළ යාම වළක්වා ගැනීම ජාතික වගකීමක් වශයෙන් සැලකිය යුතු බවයි.