අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායකට ඇප

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
    • Author, බීබීසී සිංහල

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ (ඔක්තෝම්බර් 10 වන සිකුරාදා) පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දින (15) අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර නීතිඥ ගුණරත්න වන්නිනායක රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් හා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 15වැනිදා) නියෝග කළේය.

නඩුවට අදාළ කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් කිරීමක් කළ බවට කරුණු අනාවරණය වුවහොත් සැකකරුගේ ඇප අවංලගු කිරීමට පියවර ගන්නා බව පවසා සිටි මහේස්ත්‍රාත්වරයා, සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට ඇප තැබීමෙන් පසු හෙට දින (16) පෙරවරු 9ට බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද නියෝග කර සිටියේ ය.

සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය පෙනී සිටිමින් "ස්වාමීනී, ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව නෙමේ මේ පොලිස් නිලධාරීන් නීතීඥවරුන් හට පහර දීමක් සිදුකළ. නමුත් මේ සිද්ධිය බරපතල තත්ත්වයක් දක්වා උත්සන්න වුණා. පොලිසියේ සිටින නිළධාරීන් 95%ක් පමණ සිටින්නේ වැදගත් නිලධාරීන්. ඉතුරු සුළු නිළධාරීන් පිරිසකගේ තමා මේ වගේ කනගාටුදායක හැසීරීම් දකින්නට ලැබෙන්නේ."

"වසර 35ක නීතිඥවරයෙකු ලෙස පළපුරුදු නීතිඥ ගුණරත්න වන්නිනායක සහ ඔහුගේ කනිෂ්ඨ නීතී‍ඥ සංජීව ඇන්තනී සහා නීති ශිෂ්‍ය ගුණරත්න වන්නිනායකගේ පුත් විහඟ වන්නිනායක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කර ඔවුන්ගේ මෝටර් රථයෙන් මේ උසාවි භුමියෙන් පිටව යන අවස්ථාවේ මේ පහර දීම සිදුවී තිබෙන්නේ. ගුණරත්න වන්නිනායකගේ කණිෂ්ඨ නීතීඥ සංජීව ඇන්තනී මහතාට තමා පහර දීම සිදු වන්නේ. ඒ පහර දීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා හා ගුණරත්න වන්නිනායක මහතා අතර වචන හුවමාරුවක් සිදුව තිබෙන්නේ. මේ සිද්ධිය ස්වාමීනී අපේ වෘත්තීය ගරුත්වයට සිදු වූ විශාල හානියක්. ගුණරත්න වන්නිනායක මහතාට දණ්ඩ නීතී සංග්‍රහයේ 183, 187, 344, 287, 486යන වගන්ති යටතේ බී වාර්තාවේ චෝදනා ගොනු කරලා තිබෙනවා." යැයි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය සඳහන් කළේය.

'පොලිසිය සහ නීතීඥවරු කියන අපි දෙපිරිසම ඉන්නේ එකම පද්ධතියේ'

"දණ්ඪ නිතී සංග්‍රහයේ 287 කියන්නේ අසභ්‍ය ගීත ගායනා කිරීම. මේ නීතීඥ මහතා ගීත ගායනා කිරීමක් නම් ඒ අවස්ථාවේදී සිදු කළේ නෑ. ගීත ගායනයයි රාජකාරියට බාධා කිරීමයි එකට යන්නේ නැහැ ස්වාමීනි. ඒ වගේම ස්වාමීනී බරපතල ගණයේ පතාලේ පිරිස් අලන්න තියෙද්දී මොහුව අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 3,4ක්ම දාලා. පොලිස් නිලධාරින් ඔවුන්ගේ රාජකාරී බලතල අවභාවිතා කිරීමක් ස්වාමීනි. මේක පොලිසිය සහ නීතිඥවරු අතර ගැටුමක් නොවේ. මේක අපගේ වෘත්තීය ගරුත්වය පිළිබඳ ගැටළුවක්. අපි මීට පෙර නඩු දින කිව්වා ඊළඟ නඩු දිනයේදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් කරන බව. එහෙම තියෙද්දී සර්ච් වොරන්ට් එකක් නැතුවම මෙතුමාගේ ගෙදරටත් ගිහින් පොලිසිය. කවදාවත් නැතුව අද ගාලු පාරේ තැන් දෙකක විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යන එන වාහන චෙක් කරනවා. ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගන්න ඒ චෙක් කලේ. මේක ඉතා දරුණු තත්වයක් . අපි ඉතා සංයමයකින් ක්‍රියා කළ යුතුයි. රාජ්‍ය නිලධාරීන් මේ ආකරයෙන් හැසිරවිය යුතු නෑ. ගුණරත්න වන්නිනායක මහතාට පහර දීමක්, අත්අඩංගුවට ගැනීමක් සිදුවීමේ සම්භාවිතාවක් තිබුණා. ඒ නිසයි නිතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිතීඥවරු පිරිසක් එක්ක ඔහු අද අධිකරණයට ඉදිරිපත් වුණේ. " යැයි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය වැඩිදුරටත් පැවසීය.

එසේම නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජීව් අමරසූරිය ඒ අවස්ථාවේදී සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධව සලකා බලන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

"පොලීසිය සහ නීතීඥවරු කියන අපි දෙපිරිසම ඉන්නේ එකම පද්ධතියේ. ස්වාමීනී මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ පද්ධතිය ඇතුලේමයි. මේ සිද්ධියෙන් මේ පද්ධතියට විශාල හානියක් සිදුවුණා. අනවශ්‍ය ලෙස මේ ප්‍රශ්නය ඉදිරියට ගෙනියන්න හොඳ නෑ.. ඒක නොවිය යුත්තක්. ඇත්තම කිව්වොත් ස්වාමීනී මේක ගෙදර ප්‍රශ්නයක්. ඒ නිසා මේක දැන් සමථයකට පත්විය යුතුයි. මම නිතීඥ සංගමයේ සභාපති. ඇත්තටම මේ සිද්ධිය සම්බන්ධව මට කණාගාටුයි. සැකකරුගේ ඇප ඉල්ලීම සලකා බලන ලෙස මම ඉල්ලා සිටිනවා ස්වාමීනී." නීතිඥ රජීව් අමරසූරිය සඳහන් කළේය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඒ අවස්ථාවේදී පොලිස් නීති කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ සැකකාර ගුණරත්න වන්නිනායකට ඇප ලබා දීමට විරෝධය දැක්වූවේය.

"ස්වාමීනී අද මේ නඩුව කැඳවූවේ, පසුගියදා ගල්කිස්ස උසාවිය භූමිය තුළ පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීම, බැන තර්ජනය කර සාපරාධි බිය වැද්දවීමේ සිද්ධිය සම්බන්ධවයි. නීතිඥවරු පැවසූ පරිදි මෙය පොලීසිය සහ නීතිඥවරු අතර ගැටුමක් නොවේ. සිද්ධිය වු දින පොලිස් නිලධාරීන් බොහාම ඉවසීමෙන් කටයුතු කළා ස්වාමීනී. එදා අපිට මේ නීතිඥ මහතා අත්අඩංගුවට ගැනිමේ හැකියාවක් නැහැ. සාධාරණ ලෙස විමර්ශනයක් සිදුකර කරුණු අවධාරණය කරගෙන තමා බී වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කළේ. මේ විමර්ශනයට මෙම සැකකාර නිතීඥවරයා සහය ලබා දුන්නේ නෑ. සිද්ධිය වූ දිනට පසු දින බොරලැස්ගමුව පොලිසිය හරහා පොලීසිය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්න කිව්වා. මොහු ආවේ නෑ. පසුව මොහුව සොයන්න පදිංචි ස්ථානයට ගියා මොහු පදිංචි ස්ථානයේ සිටියෙත් නෑ. ඒ වගේම සිද්ධිය වූ අවස්ථාවේ මොහු ප්‍රියන්තට කොල් එකක් ගන්න, වටවලට කොල් එකක් ගන්න කියනවා. ඒ තුළින් පේනවා මොහුගෙන් සාක්ෂිකරුවන්ට වුවත් බලපෑමක් වෙන්න පුළුවන්. මේ නඩුව සම්බන්ධව විශාල මහජන අවධානයක් යොමුව තිබෙනවා. ඇප ලබා දීමෙන් මහජන කැළඹීමක් ඇති විය හැකියි. එම නිසා සැකකරු රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනී."

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් සැකකරු හට ඇප නියම කරමින් සැකකරු හට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට නියෝග කළේය.

නඩුව නොවැම්බර් 17 වන දින යළි කැඳවීමට නියමිතය.

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා රිට් පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා අද (ඔක්තෝම්බර් 15 වැනිදා) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණය හමුවට ඉදිරිපත් වීමට සූදානම් බවයි.

එහිදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සඳහන් කළේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතිඥවරයා විසින් ඉල්ලා සිටින අතුරු ඉල්ලීම ප්‍රදානය කිරීමට තම අධිකරණයට නොහැකි බවයි.

පෙත්සම්කාර නීතිඥවරයා මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සුදුසු බවත් මෙහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

නීතිඥ ගුණරත්න වන්නිනායක අද (පස්වරුවේ) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත් (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.

දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් එහිදී නියෝග කරනු ලැබීය.

නීතිඥ ගුණරත්න වන්නිනායකට එරෙහි නඩුව

මෙම සිද්ධියේදී නීතිඥ ගුණරත්න වන්නිනායක පොලිසියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සහ පොලිස් විමර්ශනවලට දායක වී නොමැති බවට කරුණු වාර්තා කරමින් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් නීතිඥවරයාට එරෙහිව ( ඔක්තෝම්බර් 13 වැනිදා) මෙම නඩුව ගොනු කරන ලදී.

සාපරාධී බලහත්කාරය පෑම, රාජකාරියට බාධා කිරීම , ප්‍රසිද්ධ ස්ථානයක පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරීම, ආදී සියලුම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අවශ්‍ය කරුණු ඉදිරිපත්ව ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේදී අධිකරණ භූමියේ රැදී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇති බවත් සැකකාර නීතිඥවරයාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා නීතිඥවරයාට පසුගිය 12 වන දින ගල්කිස්ස පොලිසියේ පෙනී සිටින ලෙසට දන්වා තිබුණද මේ වන තෙක් ම නීතිඥවරයා පොලිසියේ පෙනී නොසිටි බවත් නීතිඥවරයාගේ දුරකථනය පවා මේවන විට ක්‍රියාවිරහිතව ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා රටින් පලා යෑමට කටයුතු කරන බවට බුද්ධි අංශ වෙත කරුණු වාර්තා වී ඇති බවත් ගල්කිස්ස පොලිසිය ( ඔක්තෝම්බර් 13 වැනිදා) අධිකරණය හමුවේ පැවසීය.

'ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක යනු අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් බවත්, රටින් පලා යෑමේ අවශ්‍යතාවයක් ඔහුට නොමැති බවත්' පවසමින් නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මෙහිදී චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේය.

කෙටි දිනක් ඇතුළත ගල්කිස්ස පොලිසියට පැමිණ විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීමට සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට නියෝග කරන ලෙසට ගල්කිස්ස පොලිසිය කරන ලද ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර නීතිඥවරයා විමර්ශනවලට සහයෝගය ලබා නොදෙන්නේ නම් අත්අඩංගුවට ගැනීමක් කරන බවට ගල්කිස්ස පොලිසිය පැවසු අවස්ථාවේදී ඒ සඳහා තමාගේ විරුද්ධත්වයක් නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දන්වා සිටියේ ය.

සැකකාර නීතිඥවරයාගේ දුරකථන වාර්තා ලබා ගැනීමටත්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසත් ගල්කිස්ස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කරන ලදී.

සිද්ධියට අදාළ නීතිඥවරුන් දෙදෙනා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අද දින ගොනු කරන ලද නඩුවට අදාළව නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ විසින් නොතිසි භාරගනු ලැබිණි.

පොලිසිය තර්ජන කරන බවට සාක්ෂිකරුවෙකුගෙන් චෝදනාවක්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී නීතිඥ සංජීව අනුරාධ ඇන්තනීට පොලිස් කොස්තාපල්වරයා විසින් පහර දෙනු දුටු බවට පොලීසිය වෙත සාක්ෂි ලබාදුන් පුද්ගලයා වන ජෝන් සිඩ්නි පීටර්ස් නැමැත්තාට පොලිසියෙන් තර්ජන කරන බවට පවසමින් ඔහු අද ( ඔක්තෝම්බර් 15 වැනිදා) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ගල්කිස්ස නීතිඥ සංගමය දැනුවත් කළේය.

ඒ සම්බන්ධයෙන් ඔහු ගල්කිස්ස පොලිසියටත් ,මානව හිමිකම් කොමිසම වෙතටත් පැමිණිලි කරන බව පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් සාක්ෂි ලබාදුන් දිනයේ පටන් වරින් වර පොලිසිය තම නිවසට පැමිණෙන බවත් දුරකථනයෙන් කතා කොට මරදාන පොලිසියට පැමිණෙන ලෙසට තමන්ට බලපෑම් කරන බවත් එසේ නොපැමිණියහොත් තමුන්ට ඉදිරියට කරදර සිදු වෙයි යනුවෙන් පවසන බවත් හෙතෙම මාධ්‍යයට පැවසීය.