මානව හිමිකම් කොමිසම සිය මානව හිමිකම් කඩකළ බවට එහි නිලධාරිනියක් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වූයේ ඇයි?

දෙසැම්බර් 10 වන දා කොළඹ මානව හිමිකම් කොමිසම් කාර්යාලය ඉදිරිපිට මානව හිමිකම් නිලධාරිනී අයෝමි ශිරන්තිකා එලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කළා ය

ඡායාරූප මූලාශ්‍රය, Ayomi Shiranthika

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 10 වන දා කොළඹ මානව හිමිකම් කොමිසම් කාර්යාලය ඉදිරිපිට මානව හිමිකම් නිලධාරිනී අයෝමි ශිරන්තිකා එලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කළා ය

මෙරට ජනතාවගේ මානව අයිතීන් සුරක්ෂිත කිරීමට පිහිටුවා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට එරෙහිව එහි සේවයේ නිරත නිලධාරිනියක් සත්‍යග්‍රහයක නිරත විය.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10 වන දා කොළඹ මානව හිමිකම් කොමිසම් කාර්යාලය ඉදිරිපිට මානව හිමිකම් නිලධාරිනී අයෝමි ශිරන්තිකා එලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කළා ය.

මාස 10ක සිට කොමිසම තමන්ට රාජකාරි නොපවරන බව, කොමිසමේ තරනතුරුවලට පත් කිරීමේදී අක්‍රමිතා සිදුව ඇති බව සහ ඥාති සබඳතා මත තනතුරුවලට පත් කිරීම සිදුකරන බව ඇතුළු චෝදනා කිහිපයක් ඇය එල්ල කරයි.

දෙසැම්බර් 11 වන දා අඛණ්ඩව දෙවන දිනටත් සත්‍යග්‍රහයේ නිරතව සිටි මානව හිමිකම් නිලධාරිනියගෙන් එම චෝදනා පිළිබඳව බීබීසි සිංහල සේවය විමසීමක් කළේ ය.

මේ අතර, ඇය ප්‍රකාශ කළේ, ඔම්බූඩ්ස්මන්වරයාගේ නිර්දේශය මත මානව හිමිකම් කොමිසමේ පරිපාලන අංශයට තාවකාලිකව අනුයුක්ත කරන බවට තමන්ට දැනුම් දීමක් කළ බව ය.

ඊට අමතරව, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ තීරණය මානව හිමිකම් කොමිෂන් සභාවට අද දිනයේ දැනුම් දෙන බවට ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු තමන්ට වාචිකව දැනුම් දුන් බව ද ඇය පැවසීය.

ඒ අනුව, ඇය සිය සත්‍යග්‍රහය තාවකාලිකව නතර කර තිබේ.

'මාස 10ක් තිස්සේ රාජකාරි පැවරීමක් නැහැ'

බීබීසී සිංහල සේවය සමග එම නිලධාරිනිය කියා සිටියේ, කිසිදු චෝදනාවක් හෝ අවවාද කිරීමක් ලිඛිතව ලබා නොදී මාස 10ක කාලයක් තිස්සේ තමන්ට රාජකාරි පැවරීමක් සිදු නොකරන බව ය.

"මම කොමිෂන් සභාවේ මානව හිමිකම් නිලධාරිනියක්, වසර 20ක සේවා කාලයක් තියෙනවා. මට කිසි ම චෝදනා පත්‍රයක් හෝ කිසි ම ලිඛිත ලියවිල්ලකින් නැතිව මගේ සේවය ලබා ගත්තාට මට රාජකාරි පවරලා නෑ. මට අවවාදත්මක ලිපියක්වත් යොමු කිරීමකින් තොරව මාස 10ක් තිස්සේ මට රාජකාරි පැවරීමක් කරන්නේ නැහැ, වැටුප් ගෙවනවා, මගේ හිතට හරි නෑ, මම වංචාවක් කරනවා, මොක ද මහ ජනතාවගේ බදු මුදල්වලින් තමයි මාස 10ක් තිස්සේ සල්ලි ගන්නේ. ලිඛිතව ඉල්ලීම් කරලා තියෙනවා 6 වෙනි මාසේ 9 වෙනිදා ඉඳලා මේ දක්වා මට කිසි ම සහනයක් ලැබිලා නැහැ."

'සැකයක් මතු කරගෙන ඉන්නවා ඒක කළේ මමයි කියලා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයක් සඳහා තෝරා ගැනීමට අදාළ ලකුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසුව ඇති වූ ගැටලුවක් මෙම තත්ත්වය උදාවීමට හේතු වන්නට ඇති බවට එම නිලධාරිනිය සැක පළ කරයි.

"මම නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට අයැදුම් කිරීමට අදාළව ඒකේ ලකුණු ලබා දීම සම්බන්ධව ප්‍රශ්න කළා. ඒක එක හේතුවක් කියලා මම හිතනවා. අනික දේශබන්දු තෙන්නකෝන් මහත්තයා සම්බන්ධව මම කරපු විමර්ශනයකදී දේශබන්දු මහත්තයාට විරුද්ධව පැමිණිලි කරපු පාර්ශවය මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිටදී සභාපතිතුමාට හරි කොමසාරිස්වරුන්ට හරි බැණ වැදීමක් කරලා තියෙනවා. ඒක යූටියුබ් නාලිකව හරහා ප්‍රචාරය කරලා තියෙනවා. යම් සැකයක් මතු කරගෙන ඉන්නවා ඒක කළේ මම යි කියලා."

"සභාපතිතුමා, කොමසාරිස් මණ්ඩලය එක පාර්ශවයකට විතරක් විශේෂ විදියට සැලකීමක් කරනවා. ශාඛා නිලධාරින්ටවත් කන් දීමක් කරන්නේ නැතිව අත්තනෝමතික කොමසාරිස් මණ්ඩලය තීරණ ගැනීම් කරනවා," ඇය සඳහන් කළා ය.

ඒවාට විරෝධය දැක්වීම ද මෙවන් තත්ත්වයක් ඇති වීමට හේතුවක් වන්නට ඇති බවට මානව හිමිකම් නිලධාරිනී අයෝමි ශිරන්තිකා විශ්වාසය පළ කළා ය.

'ජනාධිපති කමිටුවක් පත් කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ'

මානව හිමිකම් කොමිසමේ පවතින අධ්‍යක්ෂ ධූර පහෙන්, හතරක් ම රාජකාරි ආවරණ නිලධාරීන් කටයුතු කරන බව පැවසූ ඇය චෝදනා කළේ, වසර ගණනාවක් තිස්සේ එක ම නිලධාරියාට එසේ රාජකාරි ආවරණ තනතුරු ලබා දී ඇති බවට ය.

"කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ධූර 5ක් තියෙනවා, අධ්‍යක්ෂ ධූර පහෙන් 4ක් ම ඉන්නේ රාජකාරි ඉටු කරන නිලධාරීන් විදියට වසර 12ක්, 13ක් තිස්සේ වගේ. එක ම නිලධාරියාට ආවරණ නිලධාරියා විදියට දීලා තියෙනවා, ඒක නීත්‍යනුකූල වැරැද්දක් අවම කාලය මාස තුනක් හෝ හයක් වෙන්න පුළුවන්. මානව හිමිකම් කොමිෂන් සභාවේ එක ම නිලධාරියා වසර 12කට වැඩි ප්‍රමාණයක් රාජකාරි ආවරණ නිලධාරියා විදියට ඉන්නවා අධ්‍යක්ෂ තනතුරේ."

"මම ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරනවා, මානව හිමිකම් කොමිෂන් සභාව තුළ තියෙනවා ඥාති සම්බන්ධතා මත පත්වීම් ලබා දීම්, මට රාජකාරිය නොපැවරීම, රාජ්‍ය මුදල් අවභාවිත කිරීම, අනික තොරතුරු පනතින්, තොරතුරු ඉල්ලපුවා ම ඒ තොරතුරු නෑ අස්ථානගත යි, විගණන විමසුම් තියෙනවා ලක්ෂ ගණනින් ගෙවන්න ඕන නිලධාරින්ට, ඒවාට ව්‍යාජ තොරතුරු ලබලා දීලා මේ වෙනකොට ඒ විගණන විමසුම් කොමිෂන් සභාවෙන් අස්ථානගත වෙලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන්, කොමිෂන් සභාවේ මේ දූෂණ චෝදනා, අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කමිටුවක් පත් කරන්න කියලා තමයි මගේ ඉල්ලීම," යැයි එම නිලධාරිනිය බීබීසි සිංහල සේවයට කියා සිටියා ය.

'ඔම්බූඩ්ස්මන්වරයාගේ නිර්දේශය'

මාස 10ක් පුරා රාජකාරි නොපැවරීම සම්බන්ධව අවස්ථා ගණනාවකදී ලිඛිතව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බවත්, වාචිකව කොමිසමේ ලේකම්වරයා සහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු සමග සාකච්ඡා කළ බවත් ඇය සඳහන් කළා ය.

ඊට අමතරව මහජන පෙත්සම් කාරක සභාවට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව වෙත, ඔම්බූඩ්ස්මන්වරයා වෙත සහ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ද පැමිණිලි කළ බව නිලධාරිනිය පැවසුවා ය.

"ඔම්බූඩ්ස්මන්වරයාගෙන් විතරයි මට නිර්දේශයක් ලැබුණේ. තාවකාලික නිර්දේශයක් විදියට තිබුණා ආයතනය තුළ තියෙන වෙනත් අංශයකට මාව මාරු කිරීම සුදුසු යි කියලා. හිටපු ලේකම්වරයාගෙත් යම් ඉල්ලීමක් තිබුණා, අනිත් නිලධාරීන්ගෙන් තියෙන බලපෑම් එක්ක පරිපාලන අංශයට අනුයුක්තව කටයුතු කිරීම බොහෝදුරට මේකට විසඳුමක් වෙයි කියලා."

තම ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන මානව හිමිකම් නිලධාරිනි අයෝමි ශිරන්තිකා, බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ එතෙක් අඛණ්ඩව තම සත්‍යග්‍රහය පවත්වාගෙන යන බව ය.

'ස්වාධීන කමිටුවක් හරහා සියල්ල ම බලන එක තමයි අපිට කරන්න පුළුවන්'

මානව හිමිකම් කොමිසමේ නිලධාරිනිය එල්ල කර ඇති චෝදනා සම්බන්ධව බීබීසි සිංහල සේවය එම කොමිසමේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලකගෙන් විමසීමක් කළේ ය.

එම නිලධාරිනියට විරෝධය දැක්වීමේ භාෂණයේ අයිතිය ඇති බවත් ඊට බාධා නොකරන බවත් කොමසාරිස්වරයා කියා සිටියේ ය.

කොමිසමේ නිලධාරින්ට චෝදනා එල්ල වන විට කොමිසම විසින් පැමිණිල්ල විභාග කරනු ලැබීම නුසුදුසු බව පැවසූ ආචාර්ය ගෙහාන් ගුණතිලක, ස්වාධීන කමිටුවක් හරහා සියලු තොරතුරු සොයා බැලීමට පියවර ගන්නා බව සඳහන් කළේ ය.

"කොමිසමේ නිලධාරීන්ට චෝදනා එල්ල කරනකොට කොමිසම විසින් ම ඒ පැමිණිල්ල විභාග කරන එක හරි නෑ නේ. අපේ තීරණය මේක වෙන ම ස්වාධීන කමිටුවක් හරහා සියල්ල ම බලන එක තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. මොක ද අපි මොනවා හරි තීරණයක් ගත්තොත් අනාගතයේ කියන්න පුළුවන් අපි ස්වාධීනව නෙමෙයි ගත්තේ කියන එක."

'අපි ගත්ත තීරණය එතුමියට ලිඛිතව භාර දෙනවා'

එසේ ස්වාධීන කමිටුවක් පත් කිරීම සම්බන්ධව වාචිකව අදාළ නිලධාරිනියට මීට ඉහතදී දැනුම් දුන් බවත්, එය ලිඛිතව ලබා දීමට ප්‍රමාද වූ පසුබිමක ඇය මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, එම තීරණය නිලධාරිනිය වෙත ලිඛිතව ලබා දීමට කටයුතු කරන බව ද ඔහු බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය.

"වාචිකව අපි කියලා තියෙන්නේ මෙහෙම තීරණයක් අරන් තියෙනවා කියලා. මම හිතුවේ ඒ තීරණයට සෑහීමකට පත් වෙලා එතුමිය පොඩ්ඩක් ඉවසගෙන ඉඳියි කියලා. දැන් මෙතන සත්‍යග්‍රහයක් කරලා තියෙනවා, ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්න අපි අයිතිය දෙන්න ඕනේ. අපි ගත්ත තීරණය එතුමියට ලිඛිතව භාර දෙනවා. එතුමියගේ චෝදනා බලන්න ඕනේ. ඊට අමතරව එතුමියට විරුද්ධව කරලා තියෙන චෝදනා, නොයෙකුත් නිලධාරීන් එහෙම චෝදනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවත් බලන්න ඕනේ ස්වාධීන කමිටුවක් හරහා."

'අපි සාමාජිකයන් විදියට එයා වෙනුවෙන් පෙනී සිටිය යුතු යි'

අදාළ නිලධාරිනිය සිය පෞද්ගලික තීරණය මත සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති බව පැවසූ මානව හිමිකම් කොමිසමේ සේවක සංගමයේ සභාපති, ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරී පී. ඩබ්ලිව්. චන්ද්‍රසිරි බීබීසි සිංහල සේවයට කියා සිටියේ, ඇයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ය.

"එතුමිය තීරණය කරලා තිබුණා සත්‍යග්‍රහයකට වාඩි වෙනවා කියලා. පෞද්ගලිකව ඒ තීරණය ගත්තේ සේවක සංගමය විදියට අරගත්ත තීරණයක් නෙමෙයි. අපි එතුමියට කිව්වේ කොමිසම දැනුවත් කරලා අපි ගන්න තීරණ ගමු කියලා. නමුත් එතුමිය කිව්වේ සත්‍යග්‍රහය කරන එක එයා පෞද්ගලිකව තීරණය කරලා තියෙන්නේ කියලා. නමුත් අපි සාමාජිකයන් විදියට එයා වෙනුවෙන් පෙනී ඉන්න ඕන."

මේ සම්බන්ධ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් සමග මෙන් ම සිය සංගමයේ නිලධාරින් සමග ද සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ඔහු පැවසීය.