මාධ්‍යවේදීන්ට එරෙහි නොවිසඳුණු අපරාධ පිළිබඳ නඩු හා විමර්ශන නතර වී ඇත්තේ කොතැන ද?

- Author, බීබීසී සිංහල
2000 වසරේ සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැර ගැනීම් හා පහරදීම් ඇතුළු අපරාධ පිළිබඳ සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇතත්, ඒවාට යුක්තිය ඉටු වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි.
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකොට ඊට වගකිවයුත්තන් අධිකරණයට ඉදිරිපත් නොකළ බවට ද දිගින් දිගට ම චෝදනා එල්ල වී තිබේ.
මාධ්‍යවේදීන්ට එරෙහි නොවිසඳුණු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව ද පොරොන්දු ලබා දී ඇත.
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය නිමා කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදෙන අද (නොවැම්බර් 2) දිනයේ එවැනි අපරාධ පිළිබඳ විමර්ශන හා නඩු විභාග මෙතෙක් නතර වී ඇත්තේ කොතැනදැයි, බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ
2010 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් එම වකවානුවේ පැහැදිලි විමර්ශනයක් සිදු නොවු බවට චෝදනා එල්ල වී තිබිණි.
එහෙත් ඉකුත් යහපාලන රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව ගිරිතලේ පිහිටා තිබූ යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව නීතිපතිවරයා එම විත්තිකරුවන් එරෙහිව ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පැවරීමට පියවර ගත්තේ ය.
එම නඩුව මේ වන විට කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ විභාග වෙමින් පවතී.
මාධ්‍යවේදී කීත් නොයාර්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2008 වසරේ මැයි මස 22 වන දා රාත්‍රීයේ මාධ්‍යවේදී කීත් නොයා සිය රාජකාරී අවසන් කර නිවසට පැමිණෙමින් සිටියදී ඔහුගේ නිවස පිහිටි දෙහිවල පොලිස් වසම තුළ සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහු පැහැර ගන්නා ලදී.
ඉන් පසුව පහර දී වධ හිංසාවලට භාජනය කර පසුව ඔහු දොම්පේ ප්‍රදේශයේදී මුදාහැර තිබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වකවානුවේ විධිමත් පොලිස් පරීක්ෂණයක් නොවූ බවට චෝදනා එල්ල විය.
නමුත් යහපාලන රජය සමයේ එම සිද්ධිය පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කොට එම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු බුද්ධි අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පසුව ඇප මත මුදාහැර තිබිණි.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඊට අදාළ ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත භාරදී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නියමිතව ඇත.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය
2009 වසරේ ජනවාරි මස 8 වන දා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ නීතිඥ ලසන්ත වික්‍රමතුංග සිය කාර්යාලයට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනය කෙරිණි.
එම සිද්ධියට අදාළව මුල් අවස්ථාවේදී ගල්කිස්ස පොලිසිය සහ ත්‍රස්ත මර්දන කාර්යාංශය විමර්ශන ක්‍රියාත්මක කළත් ඊට වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවිය.
යහපාලන රජය සමයේ මෙම සිද්ධියට අදාළව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර මෙම අපරාධයට වගකිවයුතු බවට සැක කෙරෙන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
ඉන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.
මෙසේ ඇප මත මුදා හැර සිටි සැකකරුවන් වන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු වන ප්‍රේමානන්ද උදලාගම, සිද්ධිය වූ අවස්ථාවේ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල, ගල්කිස්ස ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රසන්න නානායක්කාර යන අය එම නඩු කටයුතුවලින් මුදා හරින ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් පෙබරවාරි මස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙමින් ලිපියක් යොමු කර තිබිණි.
පසුව නීතිපතිවරයාගේ එම ලිපිය සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වීමෙන් පසුව එම තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්, ස්වේච්ඡා සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරීන් මතුකළ දැඩි විරෝධය හේතුවෙන් එම ලිපිය ඉවත් කර ගැනිණි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ විමර්ශන කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇති අතර එම විමර්ශන ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.
මාධ්‍යවේදී නාමල් දමයන්ත පෙරේරා
මාධ්‍යවේදී නාමල් දමයන්ත පෙරේරා 2008 වසරේ ජූනි මස 30 වන දා සිය මිතුරෙකු සමග වාහනයකින් ගමන් කරමින් සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් ඔහුට පහර දී බරපතල තුවාල සිදු කර තිබිණි.
නාරාහේන්පිට යුද්ධ හමුදා කඳවුර ඉදිරිපිට මෙම පහර දීම සිදු විය.
2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ ය.
ඒ අනුව සැකපිට යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ මේජර් ප්‍රභාත් බුලත්වත්ත ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පසුව අධිකරණය විසින් ඔවුන් ඇප මත මුදාහරින ලදී.
මේ අතර, අධිකරණය හමුවේ පැවැති හදූනා ගැනීමේ පෙරෙට්ටුවේදී නාමල් පෙරේරා විසින් සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගන්නා ගන්නා ලදි.
මෙම විමර්ශනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තවදුරටත් පැවැත්වෙයි.
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්
2009 වසරේදී රිවිර පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ පාලිත තෙන්නකෝන් උදෑසන සිය රාජකාරි කටයුතු සඳහා සිය බිරිඳ සමග වාහනයෙන් කොළඹ දෙසට එමින් සිටියදී පහරදීමකට ලක් විය.
එම සිද්ධියට අදාළව ද ඉකුත් යහපාලන රජය සමයේ විමර්ශනයක් ආරම්භ විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ කටයුතු කළ ප්‍රේමානන්ද උදලාගම ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පසුව 2016 වසරේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳ විසින් සැකකරුවන් කිහිපදෙනෙකු හඳුනා ගත් අතර ඉන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබේ.
2000 වසරේ සිට 2015 දක්වා ප්‍රධාන සිදුවීම්
මේ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් 2000 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යවේදීන්ට හා ජන මාධ්‍ය ආයතනවලට සිදුවූ ප්‍රධාන සිදුවීම් 30 ක් හඳුනාගෙන ලේඛන ගත කොට තිබේ.
- මයිල්වාගනම් නිමලරාජන් - ඝාතනය [2000.10.19]
- රුෂාන්ගන් කෝඩිස්වරන් - පහරදීම [2002.08.08]
- අයියාතුරෙයි ජී නඬේෂන් - ඝාතන [2004.05.01]
- නන්දසාමි අයියර් - ඝාතන [2004.08.16]
- ධර්මරත්නම් සිවරාම් - ඝාතන [2005.04.28]
- රේලන්ගී සෙල්වරාජා - ඝාතන [2005.08.12]
- සුඩර් ඔලි පුවත් ආයතනය - බෝම්බ ප්‍රහාරය [2005.08.29]
- සුබ්‍රමනියම් සුගීර්දරාජන් - ඝාතන [2006.01.24]
- සම්පත් ලක්මාල් ද සිල්වා - ඝාතන [2006.07.01]
- සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් - අතුරුදහන් කිරීම [2007.02.15]
- සුභාෂ් චන්ද්‍රබෝස් - ඝාතන [2007.04.16]
- සෙල්වරාසා රජිව්වර්මන් - ඝාතන [2007.04.29]
- සහදේවන් නිලක්‍ෂන් - ඝාතන [2007.08.01]
- ටී.එම්.ජී. චන්ද්‍රසේකර - පහරදීම [2007.12.27]
- ලාල් හේමන්ත මාවලගේ - පහරදීම [2008.01.25]
- කීත් නොයාර් - පැහැරගෙන යාම හා පහරදීම [2008.05.22]
- පරණිරූපසිංහම් දේවකුමාර් - ඝාතන [2008.05.28]
- නාමල් පෙරේරා - පහරදීම [2008.06.30]
- රදිකා දේවකුමාර් - පහරදීම [2008.09.08]
- සිරස MTV/MBC මැදිරි සංකීර්ණය විනාශ කිරීම [2009.01.06]
- ලසන්ත වික්‍රමතුංග - ඝාතන [2009.01.08]
- උපාලි තෙන්නකෝන් - පහරදීම [2009.01.23]
- එන්. විද්‍යාදරන් - පැහැරගෙනයාම හා පහරදීම [2009.02.26]
- පෝද්දල ජයන්ත - පැහැරගෙනයාම හා පහරදීම [2009.06.01]
- ප්‍රගීත් එක්නැලිගොඩ - අතුරුදන් කිරීම [2010.01.24]
- සියත ආයතනය - පහරදීම [2010.07.30]
- ලංකා ඊ නිවුස් ආයතනය - ගිනි තැබීම [2011.02.01]
- ඥානසුන්දරම් කුගනාදන් - පහරදීම [2011.07.29]
- උදයන් පුවත්පත් ආයතනය - ගිනි තැබීම/ප්‍රහාර [2006.05.02/ 2013.04.13]
- මන්දනා ඉස්මයිල් - තර්ජනය කිරීම [2013.08.23]














