මාධ්‍යවේදී නිමලරාජන් ඝාතන විමර්ශනයේ අසාර්ථකත්වයන් ගැන නව හෙළිදරව්වක්

- Author, බීබීසී සිංහල
විසිපස් වසරකට ඉහතදී යාපනය අධි ආරක්ෂිත කලාපයක දී මරා දමා මේ තාක් යුක්තිය ඉටු නොවූ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය පිළිබඳ වාර්තාවක් අද (සැප්තැම්බර් 08 වැනිදා) කොළඹ දී එළිදක්වනු ලැබීය.
සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යපෘතිය (ITJP) සහ REDRESS හවුල විසින් භාෂා ත්‍රිත්වයෙන්ම සම්පාදනය කළ වාර්තාව එළිදක්වනු ලැබුවේ අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව විසිනි.
වාර්තාවේ ඇතුළත් මොනවාද?
පිටු 70කට ආසන්න වාර්තාව මගින් BBC යාපනය වාර්තාකරු ලෙස කටයුතු කළ මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් විමර්ශනය පිළිබඳ අධිකරණ විද්‍යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරන අතර, එමගින් මෙම විමර්ශනයේ අසාර්ථකත්වයට බලපෑ කරුණු ගැන දක්වා තිබේ.
අපරාධ ස්ථානය ආරක්ෂිත කිරීම හෝ ලේඛනගත කර නොතිබුණු අතර - ඡායාරූප ලබාගෙන හෝ අධිකරණ වෛද්‍ය සාක්ෂි එකතු කිරීම ද සිදුකර නොමැති බව මෙම වාර්තාව පවසයි.
"හමුදා මුරපොළවල් කිහිපයකින් වට වූ අධි ආරක්ෂක කලාපයක දැඩි ඇඳිරි නීතිය අතරතුර මෙම අපරාධය සිදු වුව ද, නිමලරාජන්ගේ නිවස කිසි විටෙකත් වට කර ආරක්ෂා කර තිබුණේ නැත. එදින රාත්‍රියේ රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු සම්මුඛ සාකච්ඡා කිරීමට වසර ගණනාවක් ගත වූ අතර බොහෝ දෙනෙකු හඳුනා ගැනීම හෝ ප්‍රශ්න කි රීම සිදු නොවීය. ගිනි අවි පිළිබඳ සාක්ෂි වැරදි ලෙස හැසිරවීම නිසා විශ්ලේෂණය පැහැදිලි කළ නොහැකි ලෙස ප්‍රමාද විය." යැයි වාර්තා එළිදක්වමින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඩග්ලස් දේවානන්දට එල්ල වන චෝදනා
නිමලරාජන්ගේ ඝාතනය ගැන චෝදනා එල්ල ලබන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) නායක ඩග්ලස් දේවානන්ද ගෙන් මෙම ඝාතනය පිළිබඳ කිසිවිටක පොලිසිය ප්‍රශ්න කර නොමැති බව මෙන්ම සෑම රජයක්ම පාහේ ඔහුව කැබිනට් ඇමැතිවරයකු ලෙස පත් කරනු ලැබ ඇතැයි වාර්තාව පවසයි.
"ඝාතනයට වගකිව යුතු බවට චෝදනා එල්ල වන ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) නායක ඩග්ලස් දේවානන්දගෙන් ශ්‍රී ලංකා පොලිසිය කිසිවිටෙකත් මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කර නොමැත. ඒ වෙනුවට, ඔහු 2000 සිට සෑම රජයක ම පාහේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස නැවත නැවතත් පත් කර ඇති අතර, 2024 දී පමණක් එම තනතුර අහිමි වූ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිගටම රැඳී සිට ඇත." යනුවෙන් වාර්තාවේ සඳහන් ය.
දශකයක් තුළ ඝාතනය වූ මාධ්‍යවේදීන්

ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව මාධ්‍යවේදීන්ගේ ඝාතකයන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බව, 2000 ඔක්තෝබර් මාසයේ දී සිදු වූ බීබීසී යාපනය වාර්තාකරු නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයේ අසාර්ථකත්වය කෙරෙහි මෙම වාර්තාව මගින් අවධානය යොමු කර තිබේ.
2000 සහ 2010 අතර සිවිල් යුද්ධය වාර්තා කිරීමේදී අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු මරා දමා ඇත. අද වන තෙක්, එම සිද්ධිවලට වගකිව යුතු කිසිදු අපරාධකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති බවටද වාර්තාවේ දක්වා ඇත.
"මේ මට්ටමේ දණ්ඩ මුක්තිය මගින්, නිතිපතා තම ජීවිත පරදුවට තබන, ස්වයං-වාරණ ක්‍රියාත්මක කරන හෝ පිටුවහල්ව සේවය කරන රටේ ඉතිරිව සිටින ප්‍රවෘත්ති වාර්තාකරුවන්ට බියකරු පණිවිඩයක් යවයි," ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂ යස්මින් සූකා පැවසුවා ය.
රටින් පලා ගිය නිමලරාජන්ගේ පවුලේ සාමාජිකයින්
"තිස් නම හැවිරිදි නිමලරාජන් මයිල්වාගනම්, ශ්‍රී ලංකාවේ ගැටුම පිළිබඳව වාර්තා කිරීම හේතුවෙන් දේශපාලනඥයින්ගේ සහ ආරක්ෂක හමුදාවන්ගේ අවශ්‍යතාවලට තර්ජනය වීම නිසා ඝාතනයට ලක් වූ ප්‍රමුඛ දෙමළ මාධ්‍යවේදීන්ගෙන් එක් අයෙකි. නිමලරාජන් මයිල්වාගනම්ගේ මුළු පවුලම කැනඩාවට පලා ගිය අතර කිසි දිනෙක ආපසු පැමිණියේ නැත." යනුවෙන් වාර්තාවේ දැක්වෙයි.
නිමලරාජන්ගේ මව සහ පියා තම පුතුගේ ඝාතනය පිළිබඳව යුක්තිය බලාපොරොත්තුව පිටුවහල්ව සිටියදීම මිය ගියහ.

එක්සත් රාජධානියේදී අත්අඩංගුවට ගත් සැකකරු
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධව එක්සත් රාජධානියේ පරීක්ෂණයක් ආරම්භ කළ බව මෙන්ම ඊට සම්බන්ධ නම් නොකළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් වාර්තාවේ දක්වා ඇත.
"ශ්‍රී ලංකාව තුළ විශ්වාසදායක දේශීය වශයෙන් වන වගවීමක් නොමැති බැවින්, එක්සත් රාජධානිය මෙම ඓතිහාසික අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ විය. 2022 පෙබරවාරි 25 වැනි දින, එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් යුද අපරාධ කණ්ඩායම විසින්, 2000 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකා සිවිල් යුද්ධයට සම්බන්ධ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් 'ක්‍රියාශීලී පරීක්ෂණයක්' ලෙස හැඳින්වූ විමර්ශනයකින් අනතුරුව, නිමලරාජන් ඝාතනය සම්බන්ධයෙන් එංගලන්තයේ නෝර්තැම්ප්ටන්ෂයර් හි නම් නොකළ 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නිවේදනය කළේය."
"යුද අපරාධ කණ්ඩායම ප්‍රසිද්ධ ආයාචනයක් නිකුත් කරමින් ඔවුන් තම පරීක්ෂණ දිගටම කරගෙන යන බවත් විමර්ශනයට සහාය විය හැකි සෘජු තොරතුරු ඇති ඕනෑම අයෙකුගෙන් ඇසීමට උනන්දුවෙන් සිටින බවත් ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍ය පොලිසිය විසින් සැකකරුගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියට පත් නොකළ නමුත් ඔහු 'නැපෝලියන්' ලෙස හැඳින්වෙන ඊපීඩීපී සාමාජිකයෙකු බවට පුළුල් ලෙස විශ්වාස කෙරෙන අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණද ඔහු අත්අඩංගුවට ගැනීම මගහැර රටින් පලා ගොස් තිබිණි."
"මෙම සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ අදාළ රට ක්‍රියා කිරීමට අපොහොසත් වන විට, බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු කරන අපරාධකරුවන් වගකිව යුතු බවට පත් කිරීම සඳහා එක්සත් රාජධානිය වැනි රටවලට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි ආකාරයයි," යැයි REDRESS හි අධ්‍යක්ෂ රූපට් ස්කිල්බෙක් පැවසීය.
නිමලරාජන්ගේ ඝාතනය පිළිබඳව සම්පාදනය කර ඇති වාර්තාව මගින්, ශ්‍රී ලංකා රජයට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට, සාමාජික රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත, එක්සත් රාජධානි රජයට, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය නිදහස් කණ්ඩායම් සඳහා මෙන්ම බීබීසී ය වෙත සිය නිර්දේශ විස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ.
අධි ආරක්ෂිත කලාපයකදී ඝාතනයට ලක්වූ නිමලරාජන්
BBC සහ වීරකේසරී ඇතුළු මාධ්‍ය ආයතන වෙත දෙමළ හා සිංහල දෙබසින්ම වාර්තා සැපයීමේ නිරත නිමලරාජන් 2000 ඔක්තෝබර් 19 රාත්‍රියේ යාපනයේ සිය නිවසේදී වෙඩි තබා මරා දමන ලදී.
හමුදා පාලනය යටතේ පැවති අධි ආරක්ෂක කලාපයක් තුළ නිවසකදී මරා දමන ලද ඔහුව ඝාතනය කරන අවස්ථාවේ දී නිවසට වෙඩි තබා පසුව එල්ලන කරන ලද අත් බෝම්බ ප්‍රහාරයකින් නිමරාජන්ගේ පවුලේ සාමාජිකයෝද තුවාල ලැබූහ.
නිමලරාජන්ට සිය නිවස තුලදී අත් බෝම්බ ගසා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඊපීඩීපී සාමාජිකයන් 2003 දී වව්නියා අධිකරණය විසින් පසුව නිදහස් කර තිබිණි.














