ලලිත් - කූගන් නඩුවට අදාළව ගෝඨාභය රාජපක්ෂට නොතීසි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලලිත් - කූගන් නඩුවට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන දෙසැම්බර් 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්තෝබර් 19 වැනිදා) පෙත්සම්කාර පාර්ශවයට අවසර දෙනු ලැබීය.
යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යාපනය අධි ආරක්ෂක කලාපය තුළදීම අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂට නිකුත් කර තිබූ සිතාසි නියෝග ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයකට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අවසරය දුන්නේ ය.
2011 වසරේ දෙසැම්බර් මස 10 වන දා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබුණි.
එහෙත්, හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් දක්වා තිබුණේ, තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බැවින් යාපනය මහේස්ත්‍රාත්වරයාගේ තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසය.
එය විභාග කළ අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය නොහැකි බවට තීන්දු කළේය.
අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවත්, ගෝඨාභය රාජපක්ෂ වර්තමානයේ ජනාධිපතිධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ නීතීඥ නුවන් බෝපගේය.
ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද පෙත්සම කැඳවනු ලැබිණ.
වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ අද (19 වැනිදා) අධිකරණයට කැඳවමින් නොතීසි යැවීමට මින් පෙර ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිලිකාර පාර්ශවයට අවසර ලබාදී තිබූ නමුත් ඔහු මිරිහාන නිවසේ පදිංචිය අතහැර යෑම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බව දැනගන්නට ලැබී ඇති බැවින් මේ වනවිට පදිංචි විජේරාම නිවස වෙත ගොස් නොතීසි භාර දීමට අවසර ලබාදෙන ලෙස නීතීඥ නුවන් බෝපගේ කළ ඉල්ලීම සලකා විනිසුරු මඬුල්ල එම අවසරය ලබා දුන්නේ ය.
2019 ජනාධිපතිවරණයට මාස දෙකකට පමණ පෙර යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂ සාක්ෂිකරුවෙකු ලෙස නම්කර තිබූ නොතීසි නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ජනාධිපතිවරණය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කර තිබුණේය.
පසුව 2020 නොවැම්බර් 24 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය බල රහිත කරමින් ස්ථිර අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබිණි.
රටේ විධායක ජනාධිපතිවරයා ලෙස ඔහු තේරී පත්වීම පදනම් කරගෙන අභියාචනාධිකරණය නිකුත් කර තිබූ එම නියෝගය අභියෝගයට ලක්කර අගතියට පත් පාර්ශවය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ගොනුකර තිබුණේය.
කවුද මේ ලලිත් - කූගන්?
2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදහන් වූයේ යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයාදෙන මෙන් රජයට බල කරමින් මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය.
මොවුන්ගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මොවුන් පැහැරගෙන ගිය බවට තමන්ට දැනගන්නට ලැබුණු බවය.
පසුව ඔවුන් ගමන්ගත් යතුරුපැදිය කෝපායි පොලිසියේදී සොයා ගැනිණි
ජනතා විමුක්ති පෙරමුණට එක්වී දේශපාලන කටයුතුවල නිරතව සිටි ඔවුහු එම පක්ෂය කොටස් දෙකකට කැඩීමෙන් පසු පෙරටුගාමී පක්ෂයට සහාය දැක්වූහ.












